IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා

(*** නිමන්ති රණසිංහ)

දෙමටගොඩ මහවිල උද්‍යානයේ තෙමහල් නිවසේ බෝම්බකාරිය  බෝම්බය පොළවේ තබා සිය දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය පුපුරුවා ගෙන ඇති බව තමාට නිරීක්ෂණයවිනැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ස්ථානවල පිපිරුණු බෝම්බ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකළ සොකෝ අංශයේ එවකට නිලධාරියකුව සිට මේ වන විට වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පේදුරුආරච්චි මහතා සාක්ෂි දෙමින් එලෙස ප්‍රකාශ කළේය.

මෙහිදී අදළ ස්ථානයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් සාක්ෂිකරු කොමිසම  හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එම ඡායාරූප අතර මරාගෙන මැරුණු බෝම්බකාරියගේ හිස කොටස දැක්වෙන ඡායාරූපයක් ද  තිබිණී. එසේම, බෝම්බකාරිය සහ දරුවන් එදින ආහාරයට ගැනීම සඳහා සූදානම් කොට තිබූ දහවල් ආහාර වේල දැක්වෙන ඡායාරූපයක්ද එහි විය.

මෙම ස්ථානයේ පිපිරුම් දෙකක් සිදුව තිබූ අතර එහි තිබී කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර සහ අනෙක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබූ බවත්, බෝම්බකාරියගේ සහ දරුවන්ගේ ශරීර කොටස් සොයා  ගත නොහැකි වූ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

තෙමහල් නිවෙසක් වූ එහි පළමු පිපිරීම දෙවැනි මහලේ කාමරයක් තුළ සිදුව තිබූ අතර එම පිපිරීමෙන් එම මහලේ පොළොවේ සිදුරක් නිර්මාණය වී තිබූ අතර, ඉන් එය කඩාවැටීමේ අවදානමකට ලක්වූ බවද සාක්ෂිකරු පැවසීය. එසේම, මෙම නිවසේ දෙවැනි පිපිරීම සිදුව තිබුණේ එක් පුද්ගලයකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා ස්ථානයකදී බවද සාක්ෂිකරු සදහන් කළේය.

මඩකළපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිතීඥ සමන් වීරසිංහ මහතා ද ජනාධිපති කොමිසම හමුවේ සිය සාක්ෂිය ලබා දුන්නේය.

මඩකළපුව සියෝන් දේවස්ථානයේ ස්වයංඝාතකයා වූ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැත්තාට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින මඩකලපුව වෙත යෑමට සුඛෝපභෝගී බසයක ආසනයක් වෙන් කර දී ඇත්තේ කොච්චිකඬේ දේවස්ථානයේ ස්වයංඝාතකයා වූ අලව්දීන් අහමද් මුවාත් නමැත්තා බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

මඩකළපුව සියෝන් දේවස්ථානයේ ස්වයංඝාතකයා වූ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා සහ ඔහුගේ බිරිඳ වන අබ්දුල් රහීම් ෆෙරෝසා නැමැත්තිය ද සමග 2019 අප්‍රේල් මස 19 දින අලුයම වෑන්රියකින් කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ ආරක්ෂිත නිවස්නයට පැමිණ ඇති බවත්, එම නිවසේ සහ්රාන් හෂීම්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා, කටුවාපිටිය දේවස්ථානයේ ස්වයංඝාතක අහමදු මොහොමදු හස්තුන්, ඔහුගේ බිරිඳ සහාරා, ඇතුළු පිරිසක් සිට ඇති බවත් සාක්ෂිකරු සදහන් කළේය.

පසුව එදින දහවල් ආහාරය ගැනීමෙන් පසු වෑන් රථයට ගොඩවන සියලු දෙනාම පානදුර පිහිටි ආරක්ෂිත නිවස්නය වෙත ගොස් ඇති බවත්, එහිදී සහ්රාන් හෂීම්, මොහොම්මදු හස්තුන් සහ මොහොමඩ් අසාද් යන අය එම නිවසේ රැඳී සිටියදී අනෙක් පිරිස සමග සහ්රාන්ගේ සහෝදරයා වූ රිල්වාන් නමැත්තා ද අම්පාර සයින්දමරුදු වෙත පිටත්ව ගොස් තිබූ බවද සාක්ෂිකරු කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සයින්දමරුදු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් පසු මෙම පිරිස් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩී එන් ඒ මගින් තහවුරු වී ඇති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

මඩකළපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් පසු එම ස්ථානයේ තිබී ජංගම දුරකතන කොටස් කිහිපයක් හමුවූ බවත් ඒවායේ එමි අංක භාවිතයෙන් ලබාගත් දුරකතන විශ්ලේෂණ වාර්තාවන්ට අනුව එය බෝම්බකරු භාවිත කළ ජංගම දුරකතනය බවට හදුනාගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ඒ අනුව මෙම විශ්ලේෂණ වාර්තාවන්ට අනුව තොරතුරු රාශියක් අනාවරණය වී ඇති බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ස්ථාන අටක බෝම්බ පුපුරුවා හැරීම සඳහා මෙම බෝම්බකරුවන් සියලු දෙනාම එකින් එකට සම්බන්ධ වී ඇති බවට ද තහවුරු වන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙසේ පැවසීය.

මා 1996 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණු අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට පත්වූයේ 2017 මාර්තු මස 17 වැනිදාය. නිතීඥවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ 2018 අප්‍රේල් මාසයේදීයි. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී මා වෙත භාරවූ රාජකාරිය වුණේ මඩකළපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම. මා විමර්ශන කණ්ඩායමත් සමග මඩකළපුව වෙත ගොස් මුලින්ම සිදුකළේ දේවස්ථානය අවට ගොඩනැගිලිවල තිබූ සි සී ටී වී දර්ශන පරීක්ෂාවට ලක් කිරීමයි. සියොන් දේවස්ථානය අසල පාරේ තිබූ වෛද්‍ය සාර්වතී රවීචන්ද්‍රන් කියන වෛද්‍යවරියගේ නිවසේ සවිකර තිබූ සි සී ටී වී දර්ශන සම්බන්ධයෙන් විමර්ශනය කළා. එහිදී අපි දුටුවා බෑගයක් කරේ දමාගෙන සිටින තොප්පියක් සහ රතු පැහැති ටී ෂර්ටයක් හැඳි පුද්ගලයෙක් දේවස්ථානයට ඇතුළු වෙනවා. ඒ වන විට වේලාව සටහන් වන්නේ 2019 අප්‍රේල් මස 21 වැනිදා උදෑසන 8. 27 ලෙසයි. මෙම පුද්ගලයා දේවස්ථානයට ළඟා වනවිට ඒ අසල යතුරුපැදි හසුරුවන පුද්ගලයකු ඔහුගෙන් යමක් අසන අයුරු සි සි ටී වී දර්ශනවලින් අපි දුටුවා. පසුව එම තැනැත්තාගෙන් අපි ප්‍රකාශ සටහන් කර ගන්නවා. එහිදී ඔහු කියන්නේ “බෑගයක් කරේ දමාගෙන අමාරුවෙන් කොහේද යන්නේ කියලා ඔහු අදාළ පුද්ගලයාගෙන් ඇහුවා කියලා. ඒ අවස්ථාවේදී බෝම්බකරු කියලා තියෙන්නේ “අම්මා පල්ලිය ඇතුළේ අසනීප වෙලා ඉන්නේ එයා බලන්න යනවා” කියලා. ඒ වෙද්දි වෙලාව උදැසන 8. 40 ලෙස සටහන්ව තිබුණා.
 
පසුව උදේ 9.03ට බෝම්බය පුපුරා යන ආකාරය සී සි ටී වී දර්ශනවලින් පෙනෙන්නට තිබුණා. ඉන්පසු මෙම සැකකරු බසයකින් පැමිණෙන දර්ශන සහ තවත් ස්ථාන කිහිපයකින් ලබාගත් සී සී ටී වී දර්ශන අපි විමර්ශනය කරනු ලැබුවා. (මෙහිදී අදාළ සී සී ටී වී දර්ශන කොමිසම හමුවේ ප්‍රදර්ශනය කරමින් සාක්ෂිකරු සාක්ෂි ලබා දෙනු ලැබුවේය.) මෙම සැකකරු බස් රථයකින් පැමිණ ත්‍රිරෝදයකට ගොඩවී මුලින්ම මඩකළපුව ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත යනවා. බෝම්බකරු රැගත් බසය කොළඹින් පිටත් වෙලා තිබෙන්නේ 2019 අප්‍රේල් මස 20 වැනිදා රාත්‍රී 8.51ට. බෝම්බකරු මරදාන සහිරා විද්‍යාලය අසලින් බසයට ගොඩවෙන්නේ. ඒ අවස්ථාවේදී බොම්බකරු කරේ සහ අතේ බෑග දෙකක් එල්ලාගෙන හිසට තොප්පියක් දමාගෙන සිටින අයුරු පෙනෙන්නට තිබුණා.

කොමිසම: මේ ස්වයංඝාතකයා පුපුරන ද්‍රව්‍ය රැගෙන යන්නේ කොළඹ සිට කියලා අනාවරණය වුණා නේද?
සාක්ෂිකරු : ඔව් ස්වාමිනි, මෙම බෝම්බකරු කොළඹ සිට තමයි පුපුරන ද්‍රව්‍ය රැගෙන මඩකළපුවට මගී ප්‍රවාහන බසයෙන් එන්නේ. ඊපීඑම්ඩී 2664 දරන කොළඹ සිට කල්මුණේ බලා යන සුඛෝපභෝගී බසයට ගොඩවන බෝම්බකරු සිය අත රැඳී බෑගය බසය තුළ බඩු රඳවනය මතත් කරේ දමාගෙන පැමිණි බෑගය බස් රථයේ පිටුපස ලැගේජ් කොටසේත් රඳවා තැබූ බවට එම බස් රථයේ කොන්දොස්තරගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා.

සියෝන් දේවස්ථානයේ පිපිරීමෙන් පසු එම ස්ථානයේ තිබු ජංගම දුරකතනයක කොටසක තිබූ එමි අංකයක් උපයෝගී කරගෙන එම දුකතනය සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තා. එම ජංගම දුරකතන සිම් කාඩ්පත ලියාපදිංචි වෙලා  තිබුණේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මොහම්මදු ඉම්රාන් ලෙබ්බේ අහමඩ් ෆයිසාල් කියන පුද්ගලයෙකුගේ නමින්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පැවසුවේ තමන්ගේ ජාතික හැදුනුම්පත ලබාදී එවන් සිම් කාඩ්පතක් ලබා ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් එම සිම් කාඩ්පත 2018 දෙසැම්බර් මස 28 වැනිදා සක්‍රීය වී ඇති බවට කරුණු අනාවරණය වුණා. එම දුරකතන සිම් කාඩ්පත උපයෝගී කරගෙන 2019 ජනවාරි මස 13 වැනිදා ඇමතුම් දෙකක් අරගෙන තිබෙනවා. පසුව අනාවරණය කරගත් පරිදි එය වැරදි නොම්මරයකට ලබා ගත් ඇමතුම් දෙකක්. මේ අංකයෙන් නැවත දුරකතන ඇමතුම් ලබා ගෙන තිබෙන්නේ 2019 අප්‍රේල් මස 20 වැනිදා. ඒ කොළඹ සිට කල්මුනේ බස් රථවල ආසන වෙන්කරන පුද්ගලයකුට. එම පුද්ගලයාත් සයින්දමරුදු ප්‍රදේශයේ ජීවත්ව මේ වන විට දෙහිවල වාසය කරන අයෙක්.  එම අංකය ඔස්සේ කළ පරීක්ෂණවලින් අනාවරණය වුණා මෙම සියොන් දේවස්ථානයේ බෝම්බකරුට ආසන වෙන්කර දී ඇත්තේ කොච්චිකඩේ ස්වයංඝාතක අලව්දීන් අහමද් මුවාත් නැමැත්තා විසින් බවට. අහමඩ් මුවාත් අහලා තිබෙන්නේ අප්‍රේල් 20 වැනිදා කල්මුණේ බලා යන්න සීට් එකක් බුක් කරගන්න පුලුවන් ද කියලා. එහිදී ආසනය වෙන් වෙනවා. බස් රථයේ පිටුපස ආසනයක් තමයි වෙන් වෙන්නේ. එහිදී නැවතත් දෙහිවල පුද්ගලයාට කතා කොට ඉදිරි පස අසුනක් එනම් දෙවැනි සීට් එක ලබා දෙන  ලෙසට මුවාත් විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහිදී තවත් අංකයක් සම්බන්ධ වෙනවා. ඒ කල්මුණේ බස් ආසන වෙන් කරන පුද්ගලයා. පසුව ඔහු තමයි ඉදිරි පස ආසනයක් වෙන් කරලා දෙන්නේ. නැවතත් මුවාත් ආසන වෙන්කරන්නාට කතා කරලා අසාද් (සියොන් බොම්බකරු) යන අය බසයට ගොඩ වෙන්නේ මරදානේ සහිරා විද්‍යාලය අසලින් නොව ආමර්වීදියෙන් බව පවසනවා. මෙහිදී දෙහිවල පුද්ගලයා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් නැවතත් දෙහිවල පුද්ගලයාට ඇමතුමක් ලබා ගන්නා මුවාත් සඳහන් කරන්නේ පෙර පරිදිම තම මිත්‍රයා මරදානේ සහිරා විද්‍යාලය අසලින් බසයට ගොඩවන බවයි. මේ වන විට එම පුද්ගලයන් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා. මේ අවස්ථාවේදී මුවාත් කතා කළ ජංගම දුරකතන කුලුණු වාර්තා අනුව ඔහු රැඳී සිට ඇත්තේ රාවතාවත්ත, කල්දෙමුල්ල, රත්මලාන, හුලුදාගොඩ පාර සහ අනුර මාවත ගල්කිස්ස යන ස්ථානවලදීයි. බෝම්බකරු මඩකළපුවට ඇවිත් තිබෙන්නේ උදෑසන 2.12ට පමණ. මොහු ත්‍රීරෝද රථයකින් කෙළින්ම යන්නේ මඩකළපුව ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත. පැය දෙකකට වැඩි වේලාවක් මුස්ලිම් පල්ලියේ ගේට්ටුව අසල මේ පුද්ගලයා රැඳී සිටින්නේ ගේට්ටුව වසා තැබීම නිසා. එදින උදෑසන 4.30ට පල්ලියේ දෙවැනි මවුලවිතුමා ඇවිත් ගේට්ටුව අරිනවා. එතෙක් ඔහු බෑග් දෙක පල්ලියේ ගේට්ටුව ළඟ බිම තබා තිබුණා. පසුව ඔහු පල්ලිය ඇතුළට යනවා.


කොමිසම : පැය දෙකකටත් අධික වේලාවක් මේ පුද්ගලයා ගේට්ටුව ඉදිරිපිට සිටිනවා’ මේ අවස්ථාවේ එකදු හෝ පොලිස් නිලධාරියකු හෝ පොලිස් ජීප් රථයක් හෝ ජංගම සංචාරයේ ගියේ නැහැ නේද? එහෙම ජංගම සංචාරයක හරි නිරත වුණා නම් මේ අපරාද වළක්වා ගන්න තිබුණා නේද?

සාක්ෂිකරු : ස්වාමිනි, එවන් අවස්ථාවක් දිස් වුණේ නැහැ. බෝම්බකරු පල්ලියට ඇතුළු වෙලා පැය තුනක් පමණ එහි රැඳී සිටිනවා. ඔහු පල්ලිය තුළ යාඥාවේ නිරත වන්නේ උදෑසන 5.03ට පමණ. අනෙක් පුද්ගලයන් මෙන් නොව ඔහුගේ හැසීරිම වෙනස් ආකාරයක් දිස්වුණා. ඔහු කලබලයෙන් කම්පනයෙන් සිටින බවක් දිස්වුණා. ඔහු නැවත එයින් එළියට එන්නේ එතෙක් හැඳ සිටි නිල් පැහැති ටී ෂර්ටය වෙනුවට රතු  පැහැති ටී ෂර්ටයක් ඇඳගෙනයි. මේ පල්ලියේ සිට සියොන් දේවස්ථානයට පයින් යන්න ගතවෙන්නේ විනාඩි 10ක් විතර කාලයක්. මෙම බෝම්බකරු 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය තෙක් විදෙස් ගතව වරින් වර ලංකාවට ඇවිත් ගිහින් තිබෙනවා. අබුඩාබි දෝහා කටාර් ආදී රටවල මෙම පුද්ගලයා ගිහින් තිබෙන්නේ. කාත්තන්කුඩි ප්‍රාථමික විද්‍යාලයෙන් සහ කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් මොහු ඉගෙනීම කර තිබෙනවා. මොහු විවාහ වෙලා සිටියේ අබ්දුල් රහීම් ෆෙරෝසා නමැති කාන්තාව සමග 2012 ජුලි මස 19 වැනිදා. එම තැනැත්තිය පාස්කු ප්‍රහාරයෙන් සයින්දමරුදු ප්‍රදේශයේදී මියගියා කියලා ඩී එන් ඒ මගින් තහවුරු වුණා. මොවුන්ට දරුවන් නැහැ. මෙම බෝම්බකරුගේ මව වන අලියා ලතීෆා බිබී නැමැත්තිය තම පුත්‍රයාගේ ඡායාරූප කිහිපයක් පුළුස්සා දමා තිබුණා. සාක්ෂි වසන් කිරීමේ හේතුවට එම තනැත්තිය අත්අඩංගුවට ගත්තා. මේ බෝම්බකරු අවසන් වරට එම මව බලන්න යන්නේ 2014 අප්‍රේල් මස 18 වැනිදා. එදින බෝම්බකරුගේ බිරිඳත් මේ ගමනට සහභාගී වෙනවා. පසුව එදින රාත්‍රීයේ මොවුන් දෙදෙනා කොළඹ බලා වෑන් රථයකින් පිටත් වෙලා එනවා. මේ සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම්වලිදී කරුණු කිහිපයක් හෙළි දරව් වුණා.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව විමර්ශනය කරන කොමිසම හමුවේ සාක්ෂි දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (48948) වසන්ත සිසිර කුමාර විජේසිංහ මහතා සඳහන් කළේ, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි තෙමහල් නිවෙස තුළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචිව සිටි සියලු දෙනාම දැනුම්වත්ව සිටි බව තමන්ට හැඟීගිය බවය.

බෝම්බ පිපිරීම් දෙකක් එම ස්ථානයේදී සිදුවූ අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවන් සහ ඊබ්‍රාහිම් හාජ්ජියාර් කිසිදු බියවීමක් හෝ කිසිදු කම්පනයකට පත්ව තිබූ බවක් ඔවුන්ගෙන් දිස් නොවුණ අතර, කිසිවක් සිදුනොවූ ආකාරයෙන් ඔවුන් හැසුරුණු බව සාක්ෂිකරු සිය සාක්ෂි අවසානයේදී සඳහන් කළේය.

උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් මත තමන් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතුව එම ස්ථානයට ගිය බවත් තමන් නිවසේ පහළ මාලය පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ නිලධාරීන් තිදෙනකු උඩු මහලේ කාමරයක් පරීක්ෂා කරමින් සිටියදී බෝම්බයක් පුපුරා ගිය බව ද සාක්ෂිකරු පැවසීය.

මෙම පිපිරීමේ කම්පනයෙන් තමන් සහ පහළ මාලයේ සිටි කාන්තාවන් ඇතුළු සැවොම විසිවී ගොස් බිම වැටුණු බවත් පසුව ඔවුන් සමග වහාම නිවෙසින් එළියට දිව ආ බවත් තමන් දැඩි ලෙස කම්පනයෙන් සිටියද නිවැසියන් එසේ නොමැතිව සාමාන්‍ය ආකාරයෙන් සිටි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණි පසු උඩුමහලට ගොස් බැලූ අවස්ථාවේ තමන් සමග පැමිණ සිටි උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර, පොලිස් කොස්තාපල් දුලංජන සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර යන නිලධාරීන් මියගොස් සිටි බවත් පොලිස් සැරයන් වසන්ත සිසිර කුමාර විජේසිංහ මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් සිය සාක්ෂිය ලබාදුන් පොලිස් සැරයන් වසන්ත කුමාර මහතා මෙසේ ද කීය.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මා අනුයුක්තව සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ. එදින මා දෛනික පෙරට්ටු රාජකාරියේ යෙදී සිටියදී නිවෙසක් පරීක්ෂා කරන්න කියලා උපදෙස් ලැබුණා. ඒ වෙද්දි කොළඹ සහ අවට බෝම්බ පිපිරීම් සිදුවෙලා තිබුණේ. මා පිටත් වුණේ උප පෙලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතා සමගයි. අපි ගියේ නො. 658/90 මහවිල උද්‍යානය දෙමටගොඩ යන ලිපිනයේ පිහිටි නිවස පරීක්ෂා කර බලන්නයි. අපි නිවෙසට ගොස් ගේට්ටුවට තට්ටු කළා. එහිදී වයස අවරුදු පනහක පමණ පුද්ගලයෙක් ගේට්ටුව ඇරියා. අපි පසුව දැනගෙත්තේ ඒ ඊබ්‍රහිම් හාජ්ජියාර් කියලා අපි නිවෙසට ඇතුළුවන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ලොකු හෙට්ටි මහත්තයා ඇවිත් හිටියා තවත් නිලධාරින් කණ්ඩායමක් එක්ක. රෝහණ බණ්ඩාර මහත්තයා ඇහුවා ඒ කවුද කියලා. අපි මුලින්ම ගෙට ගියා. මමත් තවත් නිලධාරියෙකුත් බිම් මහල සෝදිසි කරමින් සිටියෙ. එහි සිටියේ ගැහැනු අය. ඔවුන් ගොඩක් අය අඬ අඬ හිටියේ. අපි පහළ සෝදිසි කරද්දි රෝහණ බණ්ඩාර මහත්තයා තවත් නිලධාරින් දෙන්නකුත් එක්ක උඩු මහලට ගියා.

මට ඇහුණා රෝහණ බණ්ඩාර මහත්තයා දොරකට තට්ටු කරලා “දොර අරින්න” කියලා කිහිප සැරයක් ම දොරට ගැහුවා. ඒත් එක්කම විශාල පිපිරුම් හඬක් ඇහුණා. මාත් එක්කම එතන හිටිය ගැහැනු ඔක්කොම බිම වැටුණා. ඊට පස්සේ මම කෑ ගහලා ඒ අය ඔක්කෝටම එළියට යන්න කියලා කිව්වා. මමත් එළියට දුවගෙන ආවා. මම රෝහණ මහත්තයාගේ නම කියලා කෑ ගැහැවුවා ඒත් කිසිම සද්දයක් ආවේ නැහැ. ඊට පස්සේ මම ජංගම දුරකතනයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට සිද්ධිය කිව්වා.

ඊට පස්සේ ආරක්ෂක අංශ ගොඩක් එතනට ආවා. විනාඩි විස්සකින් විතර පස්සේ තවත් පිපිරුමක් වුණා. ගේ ඇතුළ ගිනි ගත්තා. මුලින්ම එස් ටී එෆ් එකෙන් ඇතුල සෝදිසි කරලා කිව්වා ඇතුළේ කවුරුත් නැහැ කියලා. මම කෑ ගහලා කිව්වා මගෙත් එක්ක ආපු මහත්තයලා ඇතුළේ මට ඒ අය හොයලා දෙන්න කියලා. ඊට පස්සේ බිත්තිවලට යටවෙලා ඉඳලා මහත්තයලා හම්බවුණා.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති), අභියාචනාධිකරණ විනිසුර බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවන් වන සුනිල් රාජපක්ෂ සහ බන්දුල අතපත්තු යන මහත්වරුන් සමග අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව් මංගලිකා අතපත්තු මහත්මිය කොමිසමේ විනිසුරුමඬුල්ල වෙති.



අදහස් (6)

දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා

සේන Sunday, 07 June 2020 10:03 AM

මේවා චිත්‍රපටි වගේ සමාජෙට කියකියා ඉඳලා වැඩකුත් නෑ. අවුරුදු ගණන් කතන්දර අහ අහා ඉඳලා වැඩකුත් නෑ. හැකි ඉක්මණින් වැරදිකරුවන්ට ලැබිය යුතු දඬුවම් දියයුතුයි.

:       3       190

ධම්ම Sunday, 07 June 2020 10:13 AM

දැන් එයාට ලැබෙන්නේ රූමත් පිරිමි 72ක්ද?

:       2       46

RaveendraSunday, 07 June 2020 12:40 PM

" වල් ඊරියකට රූමත් වල් ඌරන් 72ක් ලැබුණාද "ලෙස ඔබගේ අදහස් නිවැරදි වන්නේ නම් අප කෘතඥ වන්නෙමු.

:       0       28

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 10:25 AM

" දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා " අනේ ! මෙහෙමත්, ගොන් තකතීරු අන්තවාදියෝ.

:       0       6

isurandi Sunday, 07 June 2020 11:09 AM

ගිය ආණ්ඩුවෙන් රියසල් තිබ්බ එවුන් ගෙදර යනකම්... දැන් මෙයාලත් එ්කට දෙවෙනි නැහැ. තාජුදීන්ගේ, මහබැංකුවේ, අැවන්ගාඩ්, මේවගේ රස කතා කොච්චර නම් පහුගිය වකවානුවේ අහන්න ලැබුණාද? සහාරන් නාටකයක් එක්තරා ජවනිකාවක් විතරයි අපේ එවුන්ට මේවා අප්‍රිය වෙනකම්ම..

:       0       6

de silva berlin Tuesday, 09 June 2020 06:37 AM

මේ මිනිස්සු මානසික ලෙඩ්ඩු, ඉදිරියට තව විනාශ සිදුවෙන්න ඉස්සෙල්ලා, මොවුන් ගැන සොයලා බලලා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 17 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 19 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1124 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2541 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2962 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1450 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site