විනීතා එම් ගමගේ

 
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇතිව සිදු කරන පර්යේෂණ තුළින් නව මාවත් හෙළි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දේශීය විද්‍යාඥයින් හා පර්යේෂකයින් ගෙන් ඉල්ලීමක් කළේය. 


පර්යේෂණ සඳහා දැනට ජාතික ආදායමෙන් වෙන් කරන මුදල ඉතාමත්ම සුළු මුදලක් බවත් ඉදිරි අයවැයේ දී ප‍්‍රමාණවත් මුදලක් වෙන් කරන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරින්ට හා ආර්ථික විශේෂඥයින්ට තමන් උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය. 


ජනාධිපතිවරයා මේ අදහස් පළ කලේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ අද (19) පැවැති විද්‍යාත්මක පර්යේෂණ උදෙසා වූ ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමිනි.


ජාතික පර්යේෂණ සභාව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී පර්යේෂණවල නියැලි විද්වතුන් 309 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබීය. 


එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපතිවරයා සභාව අමතමින් මෙසේ ද කියා සිටියේය. 
‘‘විද්‍යා තාක්ෂණ පර්යේෂණ අංශ ලෝකයේ මානව පරිණාමය සංවර්ධනයත් සමඟ ඉදිරියට ආ අංශයක්. එදා ගල් යුගයේ සිට අද අධිතාක්ෂණික යුගය දක්වා පැමිණීමට ඉවහල් වූ ප‍්‍රධානම අංශය වන්නේ මේ පර්යේෂණයි.


ඉතාමත්ම නොදියුණු යුගයේ සිටි සිවුපාවෙකු ලෙස ජීවත්වූ මිනිසාට අද ඉහළම නව තාක්ෂණික ලෝකය නිර්මාණය කිරීමට ඉතිහාසය පුරාම ශක්තිය වුණේ ඔබ වැනි පර්යේෂකයින්, විද්‍යාඥයින් හා තාක්ෂණිකඥයින්. ඒ නිසා ලෝකයේ දියුණුවට වගේම අන්තර්ජාතික දියුණුව, ස්වභාවික සම්පත් සුරැකීම, ආදියේ දී අපි රටක් වශයෙන් ගත්තොත් අපට සංවර්ධනයේ වැදගත්ම කොටස ලෙස සැලකිය යුත්තේ පර්යේෂකයින් විද්‍යාඥයින් හා තාක්ෂණිකඥයින්.


මේ කටයුතු තව තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය මම දකිනවා. මම හිතන්නේ වෙන්කරන මුදල ඉතාමත් ප‍්‍රමාණවත් මදි. ඉහළම සංවර්ධනයක්  තිබෙනව රටවල ජාතික ආදායමෙන් සියයට විසිපහකට වඩා පර්යේෂණවලට වියදම් කරනවා. අපේ රට මධ්‍ය ආදායම් ලාභී රටක් ලෙස බොහෝ විට වාර්ෂික අයවැය සකස් කිරීමේ දී බෙදාහරින ක‍්‍රමවේදයේ අඩුපාඩු තිබෙනවා.  


ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා මහතා මෙහි දී පිළිගැනීමේ කථාව කළ අතර සම්මාන ලබා දීමෙන් පසුව උත්සව සභාව අවසන් කරමින් ස්තූති කතාව කරන ලද්දේ එම සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරි මනීෂා රාජපක්ෂ මහත්මිය විසිනි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර