(මනෝජ් හර්ෂික, කාන්චන කුමාර ආරියදාස සහ මැදිරිගිරිය චාපා මධුභාෂිණී)

පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් විසිනැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.

එම නිරුවත් ඡායාරූප මුහුණු පොතේ පළ වීමත් සමග ශ්‍රී ලාංකික තරුණ පිරිසක්ද ඒ ආකාරයෙන් නිරුවත් ඡායාරූප ගෙන අන්තර් ජාලයට මුදාහැර ඇති බවත් ඒ අතර කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍යයකුද සිටින බවත් හෙළිවූ බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර අසභ්‍ය ලෙස හැසිරුණු බවට හඳුනාගෙන ඇති එක් පුද්ගලයකු තම මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් තබමින් මෙම සිද්ධිය නොදැනුවත්කම මත සිදු වූවක් බවත් සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධයෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් තමා අතින් සිදුවූයේ නොවිය යුත්තක් බවත් සඳහන් කර ඇත.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සංසරණය වීමත් සමග ලාංකික තරුණ තරුණියන් රැසක්ද මෙම ස්ථානයට ගොස් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගෙන ඓතිහාසික සීගිරිය බලකොටුව සහ පිදුරංගල පර්වතයට අපහාස වන අන්දමින් එම ඡායාරූප මුහුණු පොතේ පළ කර ඇති බවද හෙළිවී ඇත.

සීගිරි කාශ්‍යප රජතුමන් සීගිරිය රාජධානිය ගොඩනගද්දී එහි මහරහතන් වහන්සේලා 500 කට වැඩි පිරිසක් වැඩ සිටි බවත් රජමාලිගය ඉදිකිරීමේදී ඉන් නිකුත් වූ ශබ්දය  රහතන්වහන්සේලාට බාධාවක් වූ නිසා සීගිරි ගලට උතුරු දෙසින් පිහිටි මෙම මහා පර්වතයේ විහාරස්ථානය ඉදිකර එය මහ රහතන් වහන්සේට පූජා කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

එයට විහාර මන්දිර, පිළිම හා සංඝාවාස ඇතුළු අංගවලින් සම්පූර්ණ විහාරයක් බවට පත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. විහාරයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් රනින් සාදවා නෙළුම් මලක් පූජා කළ බවත් එය මූලික කරගෙන රනින් පිදූ ගල පිදුරංගල වූ බවත් ඉතිහාසයේ දැක්වෙයි.

රාවණා රජ්ජුරුවන්ගේ දඬු මොණරය අහසට නැග්ගීමට පිදුරංගල ගල උපයෝගී කළ බවටද ජනප්‍රවාදයක් පවතී. පිදුරංගල පර්වතය දෙස බැලුවොත් ගුවන් යානයක් පියාසර කරවීමට සුදුසු ආනතියක් හා අංශක 45 ක බෑවුම් ස්ථානයක් වීමත් එක සාධකයක් විය හැකි බවටද මතයක් තිබේ.

පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටඹුන් ඊට සාක්ෂි දරයි. එහි ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ඇති අතර සංඝ උපෝෂථාඝාරය බව කියවෙයි. මෙය මුගලන් කුමරුන් විසින් කරවා මහානාම භික්ෂූන් වහන්සේ වෙත පිදූ බවත් මහාවංශයේ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතී.

පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර වන්නට ලෙන තුළ නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙම විහාස්ථානයේ ඇති වැදගත්ම අංගයකි. එම පිළිමය මැටි ගඩොල් හා හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇත. දිග අඩි 49 1/2 කි. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැලකෙයි. මෙම පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව පුරාවිද්‍යා විද්‍යාඥයන් වූ එච්.සී.පී. බෙල් සහ සෙනරත් පරණවිතානයන් සඳහන් කර ඇතැයි පොත්පත්වල සඳහන්වේ.

පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයටය.

කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බවද ජන වහරේ කියැවෙයි. එවැනි වූ පූජනීය ස්ථානයක මේ ආකාරයට නිරුවත් හැසිරීම් ඉතාමත් අශෝභන හා නින්දිත බව පිදුරංගල රාජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ පවසති. 
1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනතට අනුව මෙම පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව සීගිරි පොලිසිය පවසයි.