(හර්ෂණ තුෂාර සිල්වා)

සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500කට මෙන්ම සයිටම් ආයතනයේ සිසුන්ට  ද බරපතල අපරාධයක් සිදු ව ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

දේශපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින්නේ අර්බුද අධිකරණයට බාර දීමට හෝ ළමයි පාර දීගේ ඇවිද්දීමට නොවන බව ද අමාත්‍යවරයා කියයි.

කොළඹ ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

“සයිටම් අර්බුදය නිසා අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට ජාතික අපරාධයක් වෙලා. රජයේ විශ්ව විද්‍යාවල වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500ක් මාස පහකින් දේශනවලට ගිහින් නැහැ. බලාපොරොත්තු ඇතිව සයිටම් ආයතනයට ඇතුළත් වූ දරුවන්ට යන එන මං නැතිවෙලා. මේ ළමයි මොන වරදක් කරල ද? සීමාවාසී කණ්ඩායම් දෙකක් පැමිණීම නැවැතිලා. වෛද්‍යවරු දාහක් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පැමිණීම නැවැතිලා. රටට වෛද්‍යවරු බිහිවීම නැවැතිලා. කථිකාචාර්යවරු දේශනවලට යන්නේ නැහැ. මේ ළමයි මොන වරදක් කරල ද?“    

“මැති ඇමැතිවරු ඉන්නේ දොගොල්ලෝ බෙදිලා කෑ ගහගන්න නෙමෙයි. අද කවුරුවත් පිළියම් සොයන්නේ නැහැ.  මමත් උසස් අධ්‍යාපනය ඇමැතිධුරය දැරුවා. මගේ කාලයේත් පිළියන්දල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න ආවා. මම එක පාරින් බෑ කිව්වා. “

“පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍ය නැද්ද කියන එක ගැන ප්‍රතිපත්තිමය තීරණ අරගෙන, නෛතික ආයතනවලින් අවසර අරගෙන, ඒ ක්‍රියාවලියට ගමන් කළ යුතුයි. එය නීතිමය ප්‍රතිපාදන සකස් කරගෙන, ආයතන හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රශ්න කල් දාන්න බැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.