(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු යැයි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි අද (11) පැවැසීය. 

මෑත වසරවලදී ශ්‍රී ලංකාව විශේෂයෙන්ම සාමය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍රවලින්  පෙන්නුම් කර ඇති මූලික වෙනස්කම් අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කරන ලද මුදල්වලින් පෙන්නුම් කරන්නේ ද යන්න පිළිබඳව විවෘත සාකච්ඡාවක් කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා කීවේය.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත මෙරටට පැමිණි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉහත කරුණු සඳහන් කළේය. 

සැප්තැම්බර් 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි දින නවයක කාලයක් මෙරට රැඳි සිටියේය.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා මෙසේ ද පැවැසීය.

       “වසර 2000 සිට 2009 දක්වා කාලයේදී ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය දෙගුණ වී තිබෙනවා. 2009 පසුවත් විදේශ ණය වැඩි වී තිබෙනවා. 2017 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 28.7ක් බවට පත්ව තිබෙනවා.

2009 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.2ක් වූ ණය 2017 දී සියයට 77.4ක් දක්වා පහත වැටී තිබෙනවා. එසේ වුවත් අතිවිශාල ණය ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුයි.

එකතු කළ අගය මත බද්ද (වැට්) සැලකිය යුතු වැඩි කිරීම සම්බන්ධයෙන් මා වැඩි සැලකිල්ලක් දක්වනවා. වසර 2016 දී එය සියයට 11 සිට 15ක් දක්වා වැඩි වී තිබෙනවා. එවැනි බදුවල පිරිවැය දරන්නේ ජනගහනයේ සිටින දුප්පත්ම ජන කොටස්. එකතු කළ බදුවලින් ලබාගත් ආදායම 2017 වසරේදී සියයට 56.5ක් දක්වා වැඩි වී තිබෙනවා. එහෙත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

අද රටේ අයවැය බැලුවොත් එහි වඩාත් වැදගත්ම වියදම බවට පත්ව තිබෙන්නේ ණය නැවත ගෙවීමයි. ඒ සඳහාත් ණය ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව 2012 වසරේදී මැදි ආදායම් රටක් බවට පත්වුණා. වසර 2006 දී සහනදායී නොවන විදේශ ණය සියයට 7ක් වූ අතර එය 2012 වසරේදී සියයට 50ක් දක්වා වැඩිවුණා.

අදාළ ණය සේවාවලට වැදගත් බලපෑමක් සිදු කර තිබෙනවා. ඒවායේ පොළී අනුපාත ඉතා ඉහළ අතර කල් පිරෙන්නේ ඉතා කෙටි කාලයකින්. සංචිත මැදිහත් මට්ටමක පැවැතී තිබෙනවා. රටේ ණය අවදානම දැඩි සැලකිල්ලකින් යුතුව කළමනාකරණය කළ යුතුයි.

ග්‍රාමීය ආර්ථික තුළ ආයෝජන කිරීමේදී කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. 

ශ්‍රී ලංකාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියේ නිරත වී සිටිනවා. ඊට ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළත් කළ යුතුය. ජාතික නෛතික පද්ධතියට එම අයිතිවාසිකම් ඇතුළත් විය යුතුයි.  සමාජ ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව බැඳි සිටින ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නෛතික පොරොන්දු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි මම නිර්දේශ කරනවා. 

2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව කොළඹ බාහිර වටරවුම් අධිවේගී මාර්ගය, විදුලි උත්පාදන කම්හල්, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ඇතුළත් මහා පරිමාණ ව්‍යාපෘති රට පුරා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති රාමුවෙන් මෙවැනි මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක මානව අයිතිවාසිකම් බලපෑම් තක්සේරු කිරීමක් සඳහා මානව අයිතිවාසිකම් ප්‍රමිති පදනම් කරගනිමින් එම ගැටලු පිළිබඳ ශක්තිමත් සහ සවිස්තරාත්මක නීති සම්මත කිරීමට මම ආණ්ඩුවට උපදෙස් දෙනවා. 

ණය ලබා ගන්නන්ට තම ජීවන මාර්ග පවත්වා ගැනීමට හැකි කරවීමෙන් බොහෝ දෙනා දුප්පත්කමින් මුදා ගැනීමට ඉවහල් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ගැන මම අවධානය යොමු කළා. එහිදි බොහෝ කරුණු අනාවරණය වුණා. ණය දෙන්නන් කරන අයථා ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙන බව මගේ අවධානයට ලක්වුණා. ශ්‍රී ලංකා රජය කඩිනමින් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි.

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ලබාගන්නන් විශාල පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා පීඩාවට පත්වූ ප්‍රදේශවල ජනතාව සහ අනෙක් ප්‍රදේශවල ස්ත්‍රීන්. ණය ගන්නන්ගෙන් වැඩි දෙනා ස්ත්‍රීන්. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය දෙන්නන්ගේ විශේෂ ඉලක්කයක් වී තිබෙනවා.

ණය දෙන ආයතන ඔවුන්ගේ ණය සඳහා සියයට 220 ක පොළී අනුපාත අය කරන අවස්ථාව බොහෝමයක් වාර්තා වී තිබෙනවා. එය වැල් පොළී අනුපාතයක්. මේ යාන්ත්‍රණය ණය දෙන්නන්ට විශාල වාසි අත්පත් කරදෙනවා. එහෙත් ණය ගන්නන් විශේෂයෙන්ම කාන්තාවන් මත විශාල බරක් පටවනවා. 

ණය ගෙවීමට යෑමේදී ණය ගන්නන් විශාල වශයෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ණය ලබාගත් කාන්තාවන් මානසික සහ කායික පීඩාවන්ට පත්ව තිබෙනවා. ඔවුන් ලිංගික බලපෑම්වලට ද ගොදුරු වී තිබෙනවා. ණය ගෙවීමට බැරිව වකුගඩු විකිණීමට සූදානම් වූ පිරිස් පිළිබඳ මට තොරතුරු වාර්තා වුණා.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් සීමා කරමින් අයවැය සැකසීමට උත්සාහ කිරීම දීර්ඝ කාලීන සංවර්ධනයට බාධා පැමිණවිය හැකියි. එමෙන්ම සමාජ සහ ආර්ථික ස්ථාවරත්වය මත ඍණාත්මක බලපෑම් ඇති කළ හැකියි. 

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි මෙම ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.  

ඡායාරූප - සමන්ත පෙරේරා