විනීතා එම් ගමගේ

 

ශ්‍රී ලාංකිකයන් නීත්‍යනුකූල නොවන අයුරින් සංචාරක වීසා මත විදේශ රැකියාවලට යැවීම නැවැත්වීම සඳහා වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් ගුවන්තොටුපලේ  විවෘත කළ යුතු බවට බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය (ඇල්ෆියා) යෝජනා කරයි.

රටින් පිටවන හා රටට ඇතුළු වන පුද්ගලයින් පිළිබඳව පරික්ෂාකර බැලීමේ නෛතික බලය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමි බැවින් සැකසහිත පුද්ගලයින් පරික්ෂා කර බලා සංචාරක වීසා මත රැකියාවලට යන බව තහවුරු වුවහොත් ආපසු හැරවීම ඔවුන්ට කළ හැකි යැයි ඇල්ෆියා සභාපති ඒ ඒ හසන් මහතා පැවැසීය.

සංචාරක වීසා වලින් විදේශ ගත වන අය පිළිබඳ පුළුල්ව පරික්ෂා කිරීමේ නෛතික බලය විදේශ සේවා නියුක්ති කාර්යංශයට නොමැති බැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉක්මණීන්ම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද හසන් මහතා සඳහන් කළේය.

සංචාරක වීසා මත විදේශ ගත වන්නන් වැඩි වීමෙන් විදේශ රැකියා කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා මේ කර්මාන්තය තවදුරටත් යහපත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් රජය ඉක්මන් පියවරක් ගත යුතු යැයි ද කියා සිටියේය.

නිත්‍යනුකූලව විදේශ රැකියාවකට යාමට නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ ගත විය යුතු අතර ඒ සඳහා පුහුණුව ලබා තිබිය යුතුවේ.