(රොමේෂ් මධුෂංඛ)

විල්පත්තු රක්ෂිතය හා ඒ  අවට සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය  සන්නිවේදනය තුළින් යළි ජාතිවාදය ඇවිස්සීමේ  අවදානමක් ඇති හෙයින්,  එවැනි උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති.

වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේලා මෙසේ කීහ.

එහිදී අදහස් දැක්වූ  සියඹලාගස්වැව විමලසාර හිමියෝ මෙසේද කීහ.

  ‘පටු දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් දකුණේ ඇතැම් පිරිස් විසින් විල්පත්තු වනය හෝ එහි අතීතය පිළිබඳව නොසොයා පදනම් විරහිතව කරනු ලබන චෝදනා මගින් රටේ අනවශ්‍ය ව්‍යාකූල තත්වයක් ඇති විය හැකියි. 

 විල්පත්තු වනය ආසන්නයේ හිටපු ජනතාව මීට වසර 30 කට අධික කාලයකට පෙරයි ඒ ප්‍රදේ වලින් ඉවත් වුණේ. යුද්දෙන් පසුව දැන් ඒ අය හිටපු පළාත්වලට ආවහම මේ කැලෑ එළි පෙහෙළි කරන්න ඕනේ. අනිත් කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අයගේ දරු මුණුබුරෝ ඉන්නවා. ඒ අය දැන් පදිංචි වෙන්න ඕන. මේ නැවත පදිංචි කිරීම් රාජ්‍ය අනුග්‍රහය යටතේ වෙලා තියෙන්නේ. මේ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමටයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න රජය පියවර අරන් තියෙන්නේ.

 මේ කරුණු දෙස සියලු දෙනාම මානුෂීය පදනමෙන් බලා මේ පළාත් වලට පැමිණ ජනතාව විඳින දුක ගැන සොයා බලලායි කරන චෝදනාවක් කරන්න ඕන. වෙනම ආකල්ප ඇතිව මේ දෙස බලනවානම් මෙය ජාතිවාදී ස්වරූපයකට ගමන් කරනවා. මේ ගැන රටේ නායකයින් අවධානය යොමු කළ යුතුයි.‘

වැලිඔය කිරිඉබ්බන්වැව විහාරාධිපති  පොළොන්නරුවේ විජිතාලංකාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.