( අංජුල මහික වීරරත්න )
‘තාක්ෂණය උවමනා නැහැ, අපිට ගමේ වවාගෙන කාලා ඇති‘  යනුවෙන් කවුරුන් හෝ කියනවානම් එය රට කන අදහසක් මිස  වෙන එකක් නොවේ යැයි  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා   කොළඹදී අද පැවසීය.
 

තාක්ෂණය නැතිව රටක් දියුණු  වන්නේ නැති බව කී අගමැතිවරයා  අපගේ කීර්තිමත් යුගය වන අනුරාධපුර  යුගයේ පාලකයින්ටත් ඒ කාරණය වැටහී තිබූ බව  සඳහන් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මේව කීවේ තාක්ෂණ අමාත්‍යංශයේ ‘ශිල්ප සේනා‘ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය  විවෘත කරමිනි.
 
එදා ලංකාව තරම් ඉංජිනේරු  තාක්ෂණයෙන්  දියුණු වු රටක්   නැහැ. ඒ දැනුම පදනම් කරගනිමින්  එදා යෝධ ඇළ හැදුවා මින්නේරිය, කලාවැව හැදුවා. සීගිරිය, රුවන්වැලි සෑය අභයගිරිය, ජේතවනාරාමය දාගැබ් ඉදිකළා. නෞකා ශිල්පය ගැන ගැන දැනුමක් තිබුණා. ඒ නිසා ඉන්දියන්  සාගරය චීනය දක්වා  යන නැව්  ලංකාවේ නිෂ්පාදන  කටයුතු  සඳහා මෙහි පැමිණියා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
 
‘ශිල්ප සේනා ‘ ප්‍රදර්ශන ශක්තිමත් දෑතකින් පොහොසත් රටක් යන තේමාවෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (18) සිට ලබන ඉරිදා (21) තෙක් පැවැත්වෙයි. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.