(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීමට නොහැකිව රාජපක්ෂ පවුල කුලල් කා ගනිමින් සිටින බව එක්සත්  පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අද(24) පැවැසීය.
 
එක්සත් ජාතික පක්ෂයට  ජනාධිපති අපේක්ෂකයා ගැන කිසිදු ගැටලූවක් නොමැති බවත්  සුදුසුකම්, දක්ෂකම් ඇති  ජයග‍්‍රහණය කළ හැකි  අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බවත් අමාත්‍යවරයා සඳහන් කලේය. 
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි ජාතික යොවුන් පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කීය. 
 
 ‘‘අපේ තරුණ  සංවිධාන ජාලය ක‍්‍රියාශිලී මට්ටමක තිබෙනවා. මැතිවරණයක්  එන විට  ඒවා තවදුරටත් පුළුල් කරනවා. මූලික සාකච්ඡා වට කිහිපයකින් පසු අපි ජාතික යොවුන් පෙරමුණු කාර්යාලය  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ස්ථාපිත කළා. යොවුන් පෙරමුණු කාර්යාල  හැම දිස්ත‍්‍රික්කයකම හැම ආසනයකම  මේ මාසය තුළ පිහිටුවීමට අපේක්ෂා කරනවා.

ජනාධිපති අපේක්ෂකයා ගැනත් දැන් විශාල කතාකාවක්  ඇති වෙලා තියෙනවා.  අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි සජිත් පේ‍්‍රමදාස මහතාගේ  නම සඳහන් වුණා. නමුත් එය මූලික සාකච්ඡාවක් පමණයි. ඒ ගැන අභ්‍යන්තරව තව සාකච්ඡා වාර රාශියක් කරන්න  වෙනවා. අපේ පක්ෂයේ  නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස  මහතාගේ නම් ජනාධිපතිවරණයට  යෝජනා වෙලා තියෙනවා. එතනදි පක්ෂය තුළ නානාවිධ පුද්ගලයන්  නානාවික කමිටු හරහා අපේ පක්ෂයේ හොඳම අපේකෂකයා තෝරන්න වෙනවා. එකපාර තීන්දු ගන්න බැහැ. එතනදි ජනාධිපති කවුද අගමැති කවුද කියන  එක රටට ඉදිරිපත් කළ යුතුයි. ඒ විදියට තමයි මේ ප‍්‍රශ්ණය අපි විසඳගන්න  ඕන.
 
රනිල් වික‍්‍රමසිංහ මහත්තයටත්  බලාපොරොත්තුවක් තියෙනවා  ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒක සාධාරණ බලාපොරොත්තුවක්. එතනදි අපේක්ෂකයා තීරණය කරන්නේ  පාර්ලිමේන්තු කන්ඩායමයි  කෘත්‍යාධිකාරී මන්ඩලයයි  එකතු වෙලායි. ඒ තීරණය පවුලකට සීමා වෙන්නේ නැහැ. අපි සියලූ දෙනාම සාමුහිකව ඒ තීරණය ගන්නවා.
 
මම පක්ෂයේ ජාතික  සංවිධායක. මට මෙතනදි සමබර වෙන්න තියෙනවා, අපක්ෂපාති වෙන්න තියෙනවා. ඒ වගේම පක්ෂයේ  සියලූම දෙනාගේ හඬට  සවන්දෙන්න මට යුතුකමක් තියෙනවා. මට අවුරුදු 50ක  මධ්‍යම වයසේ පුද්ගලයෙක්. මට හරියට තීරණය  කරන්න පුලූවන් මගේ දේශපාලන රෝල් එක මොකද්ද කියලා. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවෙන්  පක්සයේ සියලූම ජවය සහ ශක්තිය  යොමුකරලා  ඒ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරන්න අපි කටයුතු කරනවා.
 
අද අපිට ජනාධිපති අපේක්ෂකයා ගැන කිසිදු ගැටලූවක් නැහැ.  සුදුසුකම් දක්ෂකම් තියෙන ජයග‍්‍රහණය කරන්න පුලූවන් අපේක්ෂකයො ඉන්නේ අපේ පැත්තේ. අද ජනාධිපති අපේක්ෂකයා තේරීමේදි ගැටලූව වෙලා තියෙන්නේ. පොදු විපක්ෂයටයි. අද ඔවුන්ට අපේක්ෂකයෙක් තෝර ගැනීමට නොහැකිව සිටිනවා.
 
දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න ගිහින් රාජපක්ෂ පවුල  අතර විශාල ගැටුමක් ඇති වෙලා තියෙනවා. ගෝඨාභය  රාජපක්ෂ මහතා දැන් 11 වනදා නම් කරනවා කිව්වටත්  ඒ ගැනත් අපිට සැකයක් තියෙනවා. ඒ වගේ ගැටලූ ගොඩක් එයාලටත්තියෙනවා. 
 
මිනිස්සු මේ එක පවුලේ  දේශපාලනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක සහෝදරයෙක් ජනාධිපති,  අනෙක් සහෝදරයා අගමැති කියා පිළිගන්න  ජනතාව ලැස්ති නැහැ. කවුද  එහෙනම් ඒ අයගේ අගමැති අපේක්ෂකයා කියලත් ඒ අය නම් කළ යුතුයි.  එක පවුලකට සීමා නොවී අපිට ජනාධිපති අපේක්ෂකලා අගමැති අපේක්ෂකයො ඉන්නවා.
 
දැන් ඇත්තටම තියෙන්නේ දේශපාලන සෙල්ලමක්.  එක පැත්තකින්  අපි බලාගෙන ඉන්නවා ඒ අය පත් කරන්නේ කවුද කයලා. ඒ අය  බලාගෙන ඉන්නවා අපි කවුද පත් කරන්නේ කියලා.  අන්තිමට සුදුස්සාට සුදුසු තැන ලැබේවි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
 
මෙම අවසථාව සඳහා එක්සත් ජාතික පපක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.