(ජයන්ත සමරකෝන්)

ජනමත විචාරණයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන බවට ජනතාව නොමඟ යැවීම ජනමත විචාරණයේ එකම අරමුණ බව මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා කීය.

ජේ.ආර්ගේ ලාම්පු කළගෙඩි සෙල්ලම මෙන් ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර ජනමත විචාරණයකට යාමේ සුදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2/3 බහුතරයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ලබන දෙසැම්බර් 10 දාට පෙර ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු යැයි ද ඔහු කීවේය.

පුංචි බොරැල්ල වජිරාග්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මහාචාර්යවරයා මෙම කරුණු අනාවරණය කළේය.