(සිරාජ් හසීම්)

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් හෝ සන්ධානය හා එක්ව මැතිවරණවලට තරග නොකිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට කිසිදු බලපෑමක් හෝ පාඩුවක් සිදු නොවන බව එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් මහතා පැවසීය.

මඩකලපුවේ පිහිටි කාර්යාලයේ අද (14) මාධ්‍ය හමුවක් කැදවමින් යෝගේෂ්වරන් මහතා මේ බව කීවේය.

දෙමළ ජනතා සංසදය දෙමළ දේශපාලන පක්ෂ අතර සමගියක් ගොඩනගන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. අද වනවිට දෙමළ ජනතාව සහ නියෝජිතයින් එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුවෙලා තියෙනවා.බෙදී වෙන්වෙලා කටයුතු කිරීම තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට විසදුම් ගෙන ඒමේ උත්සහය අසීරු වෙනවා මිස වෙන දෙයක් සිදුවෙන්නේ නැහැ. දෙමළ ජනතාව හා දේශපාලන නියෝජිතයින් තුළ ඇතිවන ගැටුම් හා බෙදීම් සිංහල මහ ජාතියේ දේශපාලන බලවේග සිය වාසියට හරවා ගන්න පුළුවන්.ඊට ඉඩ නොතැබිය යුතුයි.

දෙමළ ජනතා සංසදයත් වෙනම දෙශපාලන ස්ථාවරයක නොසිට දෙමළ ජාතික සන්ධානය සමගින් එක්විය යුතුයි.ඒවගේම සෙසු දෙමළ දේශපාලන නායකයොත් එක ස්ථාවරයකට ගේන්න ඕනෑ.දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන බව සහ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය යටතේ තරග නොකරන බව එහි නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කලා.ඔහු එවන් ක්‍රියාමාර්ගයක් ගත්තත් දෙමළ සන්ධානයට කිසිදු ප්‍රශ්නයක් හෝ බලපෑමක් නැතැයි වැඩිදුරටත් කීවේය.