(නිමල කොඩිතුවක්කු)
 
තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස තවුහිත් ජමාන් සංවිධානය පිළිබඳ 2016 වසරේදී පාර්ලිමේන්තුවේදී හෙළි කළ අවස්ථාවේදී එය සමච්චලයට ලක්කරමින් තමන් ජාතිවාදියෙකු යැයි හංවඩු ගැසූ කැබිනට් ඇමතිවරුන් මෙම බෝම්බ ප‍්‍රහාරයේ වගකීම බාරගෙන වන්දි ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද(23) පැවැසීය.
 
සියලුම ජීවිත බේරා ගැනීමට  හැකියාව තිබියදී රජයේ වරදින් මෙම ඛේදවාචකය සිදුවූ බව පෙන්වා දුන් මන්ත‍්‍රීවරයා ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවද සඳහන් කළේය.
 
නාවල විජයබා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය.
 

‘‘දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවූ ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාර පිළිබඳ ශෝකවීමට  වැඩිය දහස් ගුණයකින් අපි සියලුම දෙනා ශෝක විය යුතුව තිබෙනවා. එයට  හේතුව මේ සියලූ ජීවිත බේරා ගැනීමට  හැකියාව තිබියදී රජයේ වරදින් මේ වගේ ඛේදවාචකයක්  අපේ රටේ සිදුවීමයි. 

ලෝකයේ දුර්වලම පාලනයක් තියෙන රටක වුනත් මෙවැනි ඛේදවාදකයක් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීම සඳහා ප‍්‍රමාණවත් කාල වේලාවක්  නීතිය ක‍්‍රියාත්මක කරන අංශවලට සහ රජයට තිබුණා.
 
තවුහිත් ජමාද් කියන සංවිධානයට අයත් ත‍්‍රස්තවාදි කල්ලියක් අපේ රටේ ක‍්‍රියාත්මක වන බවට 2016 වසරේ නොවැම්බර් මස 18 වනදා මම පාර්ලිමේන්තුවේදි හෙළිදරවු කලා. මේ රටේ ප‍්‍රභූ පවුල්  විදියට ඉන්න මුස්ලිම් පවුල් 04ක සාමාජිකයන් මේකට සම්බන්ධයි කියළා  මම ප‍්‍රකාශ කළා.
 
සමහර මුස්ලිම් විද්‍යාලවලටත් පල්ලිවලටත් අන්තවාදය දේශනා කරන්න ඇෆ්ගනිස්තානයෙන් පකිස්ථානයෙන්  සංචාරක වීසා මත මිනිස්සු එනවා කියලා මම එදා පැවැසුවා.
 
එදා  ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මට වටකරගෙන ප‍්‍රහාර එල්ල කලා. ආණ්ඩුවේ  මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පහුවෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එය අසත්‍යයක් බව පැවැසුවා. විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කිවුවේ සම්පූර්ණ බොරුවක්  කියලා එක්සත් ජාතික  පක්ෂයේ සමහර ඇමතිවරු මහනායක හිමිවරු  බැහැ දැකලා කිවුවා.
 
එහෙම කතා කරපු ඇමතිවරුන් අද මේ මියගිය ජීවිතවලත් විනාශ වෙච්ච දේවස්ථාන  සම්බන්ධයෙනුත් වගකීම බාර ගත යුතුයි.  ඒ අයට වන්දි ගෙවිය යුතුයි.
 
මේ  ජඩ දේශපාලන  සංස්කෘතිය ඇතුළේ අද අපිට ඇත්ත කතා කරන්න බැහැ. එදා මුජුබර්  රහුමාන්, හිස්බුල්ලා වගේ මන්ත‍්‍රීවරු මම තමයි ජාතිවාදය හදන්නේ කියලා කිවුවා. මම අද කියනවා ඒ මුජුබර්, හිස්බුල්ලා  වගේ අය මේ මිනීමැරුම්වලට  වගකිව යුතුයි කියලා. මේ ත‍්‍රාස්තවාදීන් ආරක්ෂා කළේ ඒ අයයි’’යැයිද ඔහු එහිදී සඳහන් කළේය.
 
(ඡායාරූප - ගයාන් ලසන්ත)