නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බව පැවසෙන අයකු ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට පත්වීම සිදුව ඇත්තේ පසුගිය සතියේ වන අතර ඉතාලි මාධ්‍යය කිහිපයක්ම ඒ බව වාර්තා කර තිබිණි. 

රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන අත්අඩංගුවට ගත් පනස් හැවිරිදි පුද්ගලයා දෝහා සිට ඔහුගේ බිරිඳ සහ තරුණියන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු සමඟ ඉතාලියට පැමිණ ඇත. එම තරුණ තරුණියන් සිවුදෙනා අවුරුදු 20ට ආසන්න බව පැවසේ. 

ආගමන විගමන නිලධාරීන්ට තමන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස හඳුන්වා දී ඇති අත්අඩංගුවට ගත් පුද්ගලයා  රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇතැයි පැවසේ. එමෙන්ම ඔහුගේ බිරිඳ සතුව ද රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් තිබී ඇතැයි වාර්තා වේ. ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික අධිකාරිය නිකුත් කළ ෂෙනගන් වීසා සටහන් ද එම ගමන් බලපත්‍රවල සටහන් වී තිබී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් එහිදි තරුණ තරුණියන් සිවුදෙනාගේ ගමන් බලපත්‍රවල සත්‍ය අසත්‍ය බව පිළිබඳව සැකයක් මතුව වී ඇත.

තරුණියන් දෙදෙනා තම දියණියන් දෙදෙනා බවත් තරුණයන් දෙදෙනා තම බැණනුවන් දෙදෙනා බවත් රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන පුද්ගලයා මෙහිදි ඉතාලි දේශසීමා/ගුවන් තොටුපොළ පොලිසියට පවසා ඇත.

මෙහිදි මොවුන් සියලු දෙනා කැඳවා ගුවන් තොටුපොළ පොලිසිය විශේෂඥයන්ගේ සහාය ඇතිව විශේෂ විමර්ශනයක් කර ඇත. තරුණයන් දෙදෙනාගේ සහ තරුණියන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බව එහිදි අනාවරණය වී ඇත.

මෙම අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියගේ ගමන් මල්ලේ තිබූ තරුණ තරුණියන් සිවුදෙනාගේ සත්‍ය ගමන් බලපත්‍ර හමු වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටවී ඇත්තේ එම ගමන් බලපත්‍ර භාවිත කරමින් යැයි ද ඉතාලියේ වරීස්ප්‍රෙස් වාර්තා කර තිබිණි.  

ඬේලිමිරර්

055