(නිමන්ති රණසිංහ,ලහිරු හර්ෂණ සහ පුෂ්පකුමාර ජයරත්න  )

කුරුණෑගල ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ්  සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා  නොමැතිවීම  හේතුවෙන් නඩුව විමසීම   සවස 1 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ  වෛද්‍ය සාෆි මහතා සම්බන්ධ පැමිණිල්ල කැඳැවිණි.

ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා  මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක පෙනී සිටින බැවින් නඩුව කල් තබන ලෙස අගතියට පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව  සවස 1 දක්වා නඩුව කල් තැබිමට මහෙස්ත්‍රාත් නියෝගය ලැබිණි.

 රජයේ වෛද්‍ය නිලධාරීවරයාගේ  නීරීක්ෂයට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා  මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබිණි.
 නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිටර් ජනරාල්  තුසිත් මුදලිගේ මහතා  පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළව  කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතීපති දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී පැමිණියා නම් ඉතාමත් යහපත් බව  මහෙස්ත්‍රාත්වරයා එහිදී  සඳහන් කළේය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්  අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.  භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මේ වන විට අධිකරණ භූමියෙන් පිටත රැදී සිටිති.

අධිකරණය තුළ  හා පිටත ආරක්ෂක අංශ යොදවා  විශේෂ ආරක්ෂාවක් සලසා තිබේ. 

 (ඡායාරූප - ලහිරු හර්ෂණ)