(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන යැයි කියන වෙලේ සුදාගේ බිරිඳට අයත් නුගේගොඩ මහජන බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කොට ඇති රුපියල් කෝටි ගණනක රන් ආභරණ ඇයට මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන අපේ‍්‍රල් 27 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (13) දැනුම් දුන්නේය.

රුපියල් කෝටි 17ක මුදල් හා දේපල උපයාගත්  බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරි නඩු දිනයකදී මෙම චෝදනා කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි කියමින් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලිගේ මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

2010 ජනවාරි පළමු වැනිදාත් 2012 අපේ‍්‍රල් 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප‍්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපල උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප‍්‍රියදර්ශණී සහ ඔහුගේ  ඥාති නැගණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ය.