(නාලක සංජීව දහනායක)

විදේශ විනිමය පාලන පනත සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විසුද්ධිකරණයට හා විදේශ වෙළෙඳපොළ දේශපාලනීකරණයට ලක්වීම සිදුවන හෙයින් මෙය නරීන්ට කුකුළන් භාරදීමකට සමාන වෙනවා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අඟහරුවාදා (9) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිණි.

එහිදී මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

මෙරට භාවිතා වන මුදල් නෝට්ටුවට මුදල් අමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා විසින් අත්සන් තබනවා. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු මහබැංකු අධිපති ධුරය සමහර ඇමැතිවරුන්ගේ විරෝධය නොතකා අග‍්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු පුරවැසියෙක් පත් කළා. නමුත් සිංගප්පූරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සිංගප්පූරුවේ පුරවැසියකුට ද්විත්ව පුරවැසිභාවය ලබන්න බැහැ. සිංග්ප්පූරු පුරවැසියෙක්ට  ක‍්‍රියාකරන්න පුළුවන්කම තිබෙන්නේ එම රටේ ආර්ථික දියුණුව සඳහා පමණයි. මෙරට ඉහළ තනතුරු දරන සෑම තැනැත්තෙක්ම ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම්දීමක් කළ බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තිය සඳහන් වෙනවා ඒකතමයි නීතිය.

තමන් එවැනි දිවුරුම් දීමක් නොකළ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුවට ප‍්‍රකාශකර තිබෙනවා. එලෙස දිවුරුම්දීමක් නොකළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා රුපියල් 500 නෝට්ටුවට පමණක් නෙමෙයි රුපියල් 100 යේ මුදල් නෝට්ටුවලට ඔහු ඉංග‍්‍රීසියෙන් අත්සන් තබා තිබෙනවා. සිංගප්පූරු පුරවැසියෙක්ට මුදල් නෝට්ටුවට අත්සන් තබන්න නීත්‍යනුකූල බලයක් තිබෙනවාද කියන බරපතළ ප‍්‍රශ්නය රට හමුවේ තිබෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙදි මතුකළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට පුරවැසිභාවය ලබා තිබෙන නිසා රුපියල් 5000 හේ නෝට්ටු අවලංගු නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශකර තිබුණා. තමන් එලෙස දිවුරුම් දීමක් නොකළ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුවට ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා මුදල් නෝට්ටුව වලංගුද නැද්ද කියන කාරණය පිළිබදව ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාටවත්, මටවත් තීරණය කරන්න බැහැ. මේකට තිබෙන හො`දම විස`දුම ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකතනය ලබා ගැනීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මුදල් පිළිබඳව සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා වෙසක් නිවාඩු නිමවූ වහාම මුදල් නෝට්ටුවට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්සන් තැබීම වලංගුද නැද්ද ගැටලූව විසඳාගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු වූ මහබැංකු මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශනය කරන්න ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළා. එහිදී හෙළිදරව් වන කරුණු දැක්කාම ඇඟ කිළිපොළා යනවා. බැංකු ක‍්‍රමය, ණය ක‍්‍රමය හා මුදල් ක‍්‍රමය පිළිබඳව ඇතිවී තිබෙන ප‍්‍රශ්න අපි ඔක්කොම දකිනවා. ඒ නිසා එවැනි පුද්ගලයෙක්ට මුදල් නෝට්ටුවට අත්සන් කරන්න බලයක් තිබෙනවාද. සිංගප්පූරු පුරවැසියෙක්ට මහබැංකු අධිපති ධුරය දරන්න පුළුවන්නම් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීම නුසුදුසු වෙනවද? විදේශීය පුරවැසියන්ට ඉහළ තනතුරු දරන්න පුළුවන්කමක් තිබෙනවද? නැද්ද? කියන කාරණය පිළිබඳව තිබෙන නීතිමය තත්ත්වය විසඳාන්න  ඕන. මුදල් ක‍්‍රමය රඳාපවතින්නේ මහජනයාගේ විශ්වාසය මතයි. මේවනවිට ශ්‍රී ලංකා මහබැංකුව සම්බන්ධව පසුගිය වසර දෙකේදී මහජන විශ්වාසය බරපතළ කඩාවැටීමකට ලක්වෙලා තිබෙනවා.

එමෙන්ම විදේශ විනිමය පාලන පනත සංශෝධනය කරන්න රජය පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා. කවරාකාරයෙන් මුදල් ඉපයුවත් ඒ මුදල් නිදහසේ රට තුළට ගලා ඒමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශකර තිබෙනවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියා තුළින් උපයන ලද මුදල් නිදහසේ රට තුළට ගලා ඒමට අවස්ථාව ලබාදෙන්න තමයි මේ උත්සාහ කරන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විශුද්ධිකරණයට හා විදේශ විනිමය වෙළෙ`දපොළ දේශපාලණීකරණය වෙනවා. අපි එයට විරුද්ධයි. මේ පනත අනුව අමාත්‍යවරයාට තමන් කැමැති  ඕනෑම කෙනෙක් විදේශ විනිමය වෙළෙන්දෙක් කරන්න පුළුවන්.  මෙය නරින්ට කුකුළන් බාරදීමක් වගේ දෙයක් වේවි. දැනටමත් මහබැංකුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය රටක් වශයෙන් අපිට අහිතකර යැයි පැවසීය.      

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පිරිස් මහතා,

ශී‍්‍ර ලංකා ආර්ථිකය කෙතරම් දුර්වල ද කියන දේ මේ වසර සඳහා නිකුත් වූ මහ බැංකු වාර්තාවෙන් පේනවා. රටේ ආර්ථික වර්ධනය ක‍්‍රම ක‍්‍රමයෙන් පහළ බසින තත්ත්වයකුයි පේන්න තියෙන්නේ. රටේ 2015 වසරේ බිලියන 7ක් වූ විදේශ සංචිත 2016 දී බිලියන 6යි. මේ වසරේ ජනාධිපති කියන විදියට මිලියන 5ට බැහැලා. අපනයන 2%කින් අඩුවෙලා. උද්ධමනය දෙගුණයක් වෙලා. ජිවන වියදම 6%කින් වැඩිවෙලා. අපේ කාලයේ 7% වූ පොලී අනුපාතය 13ක් වෙලා. ව්‍යාපාරික කටයුතු කර ගෙන යාම අතිශයින් දුෂ්කරයි.

රජය කියන්නේ මේ සියල්ලම වෙන්නේ රාජපක්ෂ යුගයේ ගත් ණය නිසා කියන කතා අසත්‍යභාවය මේවායින් ඔප්පු වෙනවා. මේ විදියට පීඩනයකට ජනතාව පත්වෙද්දි ඇමැතිවරුන්ගේ සුඛෝපභෝගී ජිවිතයට වියදම් කරන මුදල් කන්දරාව ගැන අපි කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවට රුපියල් මිලියන 329 ක අතිරේක අයවැය ඉදිරිපත් කර තිබෙනවා ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීමට. 

ඇමැතිවරුන් පස් දෙනකුට, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුට, එක නිලධාරියකුට වාහන නවයක් සඳහායි මේ වෙන් කිරීම කර තියෙන්නේ. අගමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් කියලා අලූත් තනතුරක් හදලයි මේ රාජ්‍ය නිලධාරියෙකුට ලක්ෂ 430ට වාහනයක් ගෙන්වන්නේ. මේ වසරේ විතරක් රුපියල් මිලියන 1620ක අතිරේක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබෙනවා ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට. මාර්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 361 හා 494 ඇස්තමේන්තු ඉදිරිපත් කරලා.

ජනතාව මොන තරම් පීඩාවට පත්වුණත් කමක් නැහැ මේ විදියේ ප‍්‍රතිපත්ති නිසා ජනතාව තුළ විශාල විරෝධතා ඇති වෙනවා. එ්වා මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ සදාචාර විරෝධීයි. නීති විරෝධීයි. මීතොටමුල්ල සිද්ධියෙන් පස්සේ කුණු ගේනවාට ජනතාව විරුද්ධයි. කුණු කඳු නිසා ඩෙංගු රෝගය බෝවිමත් සිදුවෙනවා.

එකාබද්ධ විපක්ෂයේ හඩ නැගීමට පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබෙන ඉඩ සීමිතයි. මැතිවරණ පවත්වන්නේ නැහැ. ජනතා මතයට බය නිසා පැවැත්වුවොත් අන්ත පරාජයට ලක් වෙන බව දන්න නිසා මැතිවරණ පවත්වන්නේ නැහැ. මිනිස්සු පාරට බහින කොට එවා මර්දනය කරන්න විශේෂ නීති ගේන්න හදන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කරන්නයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන ආරක්ෂාව කප්පාදු කරනවා. මැයි දිනයේ ජන ගංගාව දැකපු ආණ්ඩුව පහුවෙනිදා ආරක්ෂක නිලධාරීන් 42ක් ඉවත් කළා. ඊට දින පහකට පස්සේ තව 50ක් ඉවත් කරන්න නියෝග කරලා. එකට ඇති වුණු විරෝධතාව නිසා නියෝගය නිශේධ කළා. ඉවත් කරපු ආරක්ෂක නිලධාරීන් අතර පළපුරුද්දක් සහිත විශේෂ පුහුණුව ලත් අය හිටියා.