බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාජ ගුවන් ගමන් බලපතක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික මවක සහ දියණියක අද (21) කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ඉරාන ජාතික මව (65) සහ දියණිය (37) ගල්ෆ් ගුවන් සේවයට අයත් GF- 138 ගුවන් යානයෙන් බහරේනයේ සිට  ශ්‍රී ලංකාවට පැමිණි ඇත.

ඔවුන් දෙදෙනා විසින් ආගමන විගමන නිලධාරී ඩබ්.ජී.එච්. මධුසිත් මහතා වෙත ඉදිරිපත් කරන ලද ගුවන් ගමන් බලපත් පරීක්ෂා කිරීමේදී ඒවා කූට ලෙස තැනූ ව්‍යාජ ගමන් බලපත් බව හඳුනා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන් බ්‍රිතාන්‍ය ජාතිකයන් නොව ඉරාන ජාතිකයන් බව තහවුරු කරගෙන තිබේ.

පසුව ඔවුන්ගේ ගමන්මලු සෝදිසි කිරීමේදී ඔවුන්ගේ සැබෑ ඉරාන ගමන් බලපත් දෙක ද සොයා ගැනුණි.

ශ්‍රී ලංකාවට පැමිණ නවාතැන් ගන්නා තැනක් පිළිබඳ නිශ්චිත තොරතුරු සහිත ලියකියවිලි  ද මොවුන් සතුව නොතිබූ අතර මෙරටින් පිටත්වන දිනයක් ගැන සඳහන් ගුවන් ගමන් ටිකට්පත් ද මොවුන් සතුව නොතිබිණි.

යුරෝපා රටක සරණාගතභාවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණ එම කටයුතු සිදු කරගැනීමේ අරමුණින් මොවුන් මෙසේ සංචාරක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණි බවට සැක කරන බව ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීහු පවසති.

(28535)