(පුෂ්පකුමාර ජයරත්න)

මුදල් දෙගුණ කිරීමේ ජාවාරම් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන රුපියල් පන්දහසේ  නෝට්ටු සහ ව්‍යාජ මුදල් නෝට්ටු විශාල තොගයක්ද සමඟ කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු අද (03) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි.

කුරූණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි එම ව්‍යාපාරිකයාට අයත් නිවෙසක් අද අලුයම වටලා මෙම මුදල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් පන්දහසේ නියම නෝට්ටු සමඟ  මෙරට භාවිතයේ නොමැති ව්‍යාජ රුපියල් පනස් දහසේ නෝට්ටු තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් අසුරා තිබු පෙට්ටියේ යටට ව්‍යාජ මුදල් නෝට්ටු දමා එම මුදල් වැසී යන අයුරින් නියම පන්දහසේ මුදල් අසුරා තිබු බව පැවසු පොලීසිය එසේ ව්‍යාජ නොට්ටු යොදා සැකසු මුදල් බණ්ඩල් 07 ක්,  ව්‍යාජ පනස් දහසේ මුදල් යොදා සකස් කළ බණ්ඩල් 414 ක්ද සොයාගත් බව සඳහන් කරයි.