(කාංචන කුමාර ආරියදාස )

රජරට ප්‍රදේශවල ව්‍යාප්තව ඇති සේනා දළඹු විශේෂය  නුවරඑළිය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට බෝවීමේ ඇති ප්‍රධානතම අවස්ථාවක් මඟ හැර දැමීමට අද (15)  දඹුල්ල පොලිසිය සමත් විය. 

දඹුල්ල නගරය හරහා බඩඉරිඟු ගස් විශාල ප්‍රමාණයක් පිරවූ ලොරි රථයක් ධාවනය වෙමින් පවතින බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ලොරි රථය පරීක්ෂා කිරීමෙන් පසුව එය පොලිස් බාරයට ගෙන තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට තොරතුරු ලැබී තිබුණේ  සේනා දළඹුවන් විශාල වශයෙන් පැතිර සිටින මරදන්කඩවල ප්‍රදේශයේ සිට  අස්වැන්න නෙලා නැති බඩඉරිඟු ගස් පිටින්  නුවරඑළිය වටවල ප්‍රදේශයේ   කිරි ගවයන්ගේ ආහාර සඳහා රැගෙන යන බවයි.  

මෙම සතුන්ගේ බිජු  සහිත බඩ ඉරිඟු ගස් කන්ද උඩරට ප්‍රදේශයට රැගෙන ගිය හොත් එම ප්‍රදේශයේ එළවළු වගාවන් තේ වගාවන් වලට හානි විය හැකි බවද දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරෙහි සඳහන්ව තිබුණු බව පොලිසිය කියයි.

බඩඉරිඟු ගස් පිටින් පිරවූ ලොරිය දඹුල්ල පොලිසියට රැගෙන විත් පරික්ෂා කිරීමේදී විශාල වශයෙන් එහි සේනා  දළඹුවන් මෙන්ම බීජ රැසක් දක්නට ලැබුණු බවද දඹුල්ල පොලීසිය කියයි.

මේ පිළිබඳව සොයා බලා කෘෂිකර්ම අංශ දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් බඩ ඉරිඟු ශාක ප්‍රවාහනය කළ පිරිස් කියා සිටින්නේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. 

බඩඉරිඟු අස්වැන්න නෙලීමට පෙර කිලෝවක් රුපියල් 13 බැගින් සත්ව ආහාර  සඳහා ලබා ගන්නා  අයට අලෙවි කළ බවත් ගොවීහු කියති.  මේ හේතුව නිසා තමන්ගේ අස්වැන්නෙන් එක් පැත්තකින් පාඩු දෙකක් සිදුව ඇති බව ගොවීහු පවසති.