(ඩයනා උදයංගනී)
 
පාස්කු ඉරිදා දින සිදුවූ ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ මර්දන ක‍්‍රියාවේ සහ යැදුමේ ඉරුදිනයක් ලෙස ලබන ඉරිදා (26)  දිනය නම් කිරීමට තමන් ඇතුළු කතෝලික රදගුරු මණ්ඩලය තීරණය කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
 
එබැවින් ලබන ඉරිදා දිනය තුළ පවුල් වශයෙන් ජපමාලය උච්ඡාරණය කරමින්ද, රට වෙනුවෙන් දේවමාතාවන්ට පුරුදු ලෙස යදින යාඥාව උච්චාරණය කරමින්ද, දේවස්ථානවල ඉරුදින දේව මෙහෙය අවස්ථාවේදී මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් යාඥා කරමින්ද දිනය ගත කරන ලෙස කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
නිවෙස්වල, දේවස්ථානවල හා කතෝලික ආයතනවල ජාතික කතෝලික කොඩිය අඩකුඹු කිරීම, මියගිය අය සිහිකර දෙව්මැදුරුවල ඉටිපන්දම් දැල්වීම, අඩුවෙන් ආහාර ගැනීම, ආහාර ගැනීමෙන් වැළකීම, ඉතුරුවන දෙයක් ඇත්නම් එයින් දිළිඳුන්ට ආහාර වේලක් ලබාදීම, පුන්‍ය කටයුතුවල යෙදීම, ඉවසීමෙන්, කරුණාවෙන් හා යහපත් හැසිරීමෙන් දිනය ගතකිරීම, හමුවන අය සමඟ ආචාරශීලීව කතා කිරීම, දෙව් මැදුරේ සීනුව නාදවන විට තුන්කාලේ ආරාධනාව උච්ඡාරණය කිරීම ආදී කටයුතුවල යෙදෙමින් දිනය යහපත් හා ශුද්ධවන්ත ලෙස ගතකරන ලෙස ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සිය නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබේ.