රොමේෂ් මධුෂංඛ

 

යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම  වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලිස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත්පැන් පානය කර පහර දී ගැනීමක් සිදුව ඇති අතර අදාළ නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් පසුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජිප් රථයෙන් අදාළ ස්ථානයට ගොස් ඇත.

පහරදී ගැනීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තත්වය පාලනය කර කෝලාහල සිදු කළ තිදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතරතුර කෝලාහල සිදුකළ බීමත් තවත්  පුද්ගලයකු විසින් පොලිස් නිලධාරීන් පැමිණි ජිප් රථය රැගෙන පලා ගොස් ඇත.

එහිදී පොලිස් නිලධාරීන් ජිප් රථය පසුපස ලුහුබැඳ ඇති අතර ජිප් රථය පැහැරගෙන කිලෝමීටර් 09 ක් පමණ ධාවනය කර යාපනයේ වැලි ගොඩ දමන ස්ථානයක් වූ කට්ටායි නැමති ප්‍රදේශයේ ජිප් රථය දමා සැකකරු පලා ගොස් තිබේ.

පසුව  අද අළුයම 5ට පමණ කෝපායි පොලිස් නිලධාරීන් විසින් ජිප් රථය පැහැරගත් බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමඟ අත්අඩංගුවට ගත් සිව් දෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිටි බවටද කෝපායි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය වැඩිදුරටත් කීය.