ඉන්දියාවේ යමුනා ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් ගිලීමෙන් 19 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

යාත්‍රාව උත්තර ප්‍රදේශයේ බැග්පට් සිට හර්යානා දක්වා ගමන් කරමින් තිබී ඇති අතර එහි 50 දෙනෙක් පමණ ගමන් කර ඇ‍ත.
10 දෙනකු පිහිනා ගොඩට පැමිණ ඇති බවත් වාර්තා වේ.

එහි සිටි පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවත් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසේ.
පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. බෝට්ටුවේ ගෙන යා හැකි මගීන් ප්‍රමාණය 35ක් බවත් උවමනාවට වඩා මගීන් පැටවීම හේතුවෙන් බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කෝපයට පත් ගම්වැසියන් පොලිසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර වාහන කිහිපයක් ද ගිනි තබා ඇති බව වාර්තා වේ.

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)