(මනෝප‍්‍රිය ගුණසේකර)
 
දිවයිනපුරා විහිද ඇති සුපිරි වෙළඳ ජාලයක සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 80කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වු එම සුපිරි වෙළඳ ජාලයේ ගිණුම් සහකාරවරයකුට මාස 18ක බරපලත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද  (11) නියම කළේය.


සුපිරි වෙළඳ ජාලයෙන් සාවද්‍ය ලෙස පරිහරණය කළ රුපියල් ලක්‍ෂ 80ක මුදල වන්දියක් ලෙස එම ආයතනයට ගෙවීමට නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවුවහොත් අමතර මාස 20 ක බරපලත වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.


චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ එම සුපිරි වෙළඳ ජාලයේ කොළඹ කොටුවේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශයේ ගිණුම් සහකාරවරයකු ලෙස සේවය කළ මොහොමඞ් මොහිදීන් කාසිම් හසීම් නමැත්තකුටය.


2003 ජුනි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රුපියල් ලක්‍ෂ 80කට අධික මුදලක් සාවද්‍ය ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළුම චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ අතර එම දඬුවම් වලට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළේය.