රොමේෂ් මධුෂංඛ
 
උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය ආරම්භ වී උතුරු මහඇමැති අසුන් ගන්නා විට සභාවේ සිටිය යුතු අමාත්‍යවරු පිළිබඳ විමසා සිටීමත් සමඟම සභා ගර්භය තුළ නොසන්සුන් තත්වයක් ඇති විය.


ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා අසුන් ගන්නා අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් ''මේකේ ඇමැතියෝ කවුද? ඇමැතියෝ කවුද? උසුලු විසුලු කරමින් කෑකෝ ගසන්නට පටන් ගැනීමත් සමඟ නොසන්සුන් වී ඇත.


එහිදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිළිතුරු දී ඇත්තේ ලබන පළාත් සභා සැසිවාරයේ දී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් කවුරුන් දැයි යන්න හෙළි කරන බවයි.


පළාත් සභා පනතට අනුව මහ ඇමැති ඇතුළු අමාත්‍යවරු පස් දෙනකු පමණක් සිටිය යුතු නමුත් මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හය දෙනකු සිටීම මෙම ගැටලුවට හේතු වී ඇත.

ඩෙනීස්වරන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ලිපියක් මගින් ඉවත් කර ඒ වෙනුවට පත් කරන ලද අමාත්‍යවරයා ඉවත් නොකිරීම නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිව තිබේ.

මේ තත්ත්වය විසදීමට පියවර නොගැනීම නිසා පළාත් සභා සැසිවාරය ආරම්භ වූ මොහොතේ සිට එය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගත් නමුත් එය පාලනය කර පළාත් සභාවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට උතුරු පළාත් සභවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පියවර ගනු ලැබීය.