(ක.ග කරුණාරත්න)
 
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුලු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණයේ ගොනු කළ  නඩුවක් අද (18) දිනයේ කැඳවූ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් 25000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා නියෝග කළේය.
 
ඉකුත් ජනාධිපති මැතිවරණ සමයේ 2015 ජනවාරි මස 03 වෙනි දින පොලොන්නරුව, අරලගංවිල නගරයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහරදී, වෙඩි තබා මිනී මැරීමට තැත්කිරීම, සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා ගොනු කර තිබිණි.
 
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහ ආරච්චිගේ රොෂාන් අනුරුද්ධ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ජයන්ත මාරසිංහ, හල්නෙත්ති ධම්මික නිශාන්ත කුමාර, සේනක රාළලාගේ ආනන්ද විජේරාජා, රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න අනුරාධ කුමාර රත්නායක, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිංහලගේ ජගත් සමරවික්‍රම, පැලැටියාවේ දේවමිත්තාලංකාර හිමි යන 07 දෙනාය.
 
රජයේ නීතිඥ විරාජ් වීරසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ආරියසේන ගාල්ලගේ, අරවින්ද හබක්ගල, ගාමිණී ගුණතිලක, දිනූෂා රණසිංහ, ජයන්ති රුද්‍රිගූ යන මහත්ම මහත්මීහු ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.