(ඩී.ජී.සුගතපාල සහ ඉන්දිකා රාමනායක)

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපී අනතුරට පත්වීමෙන් එහි සිටි ධීවරයින් හතර දෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වී ඇතැයි වරාය පොලිසිය පවසයි.

යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු ගොස් ඇති අතර ඉන් එක් ධීවරයකු දිවි බේරාගෙන ඇත.

මලිඳු පුතා නමැති බහුදින යාත්‍රාව ඊයේ (11) ධීවරයින් හය දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති අතර ගාල්ලේ සිට නාවික සැතපුම් 30ක පමණ දුරින් ඈත මුහුදේදී නැවක හැපී අනතුරට පත්ව ඇත.

මියගිය ධීවරයින්ගේ සිරුරු ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට ගෙන ඒම සඳහා  නාවික හමුදා යාත්‍රාවක් පිටත්කර තිබෙන අතර සිරුරු මේ වනවිට ගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසයි.

සිරුර ගොඩබිමට ගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන යාමට නියමිතය.