(මනෝප්‍රිය ගුණසේකර , රන්ජන් කටුගම්පොළ)

බැදුම්කර වෙන්දේසියකදී ඵලදායිතා අනුපාතයට වඩා උපරීම සීමාව වඩා වැදගත් බවත් එම උපරීම සීමාව පිළිබඳ සියලු තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන් මෙම උපරීම සීමාව දන්නා බවත් මේ තොරතුරු ඉදිරි කාර්යාලයේ නිලධාරීන්ට මේ තොරතුරු පිටත සිටින යම් අයකුට දීමට හැකියාව ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසු ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා මෙම කොමිසමෙන් නිර්දේශ ලැබුණු පසු මහා බැංකුවේ ඉදිරි, මැද හා පසු කාර්යාල වෙන් කිරීම ආදිය පිළිබඳව පියවර ගැනීමට හැකියාව ඇතැයිද කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙන අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා මෙසේද කීය.

මාණ්ඩලික නිලධාරීයකු ලෙස ශ‍්‍රී ලංකා මහා බැංකුවට එක් වු මා මේ වන විට එහි නියෝජ්‍ය අධිපති ධුරයට පත්ව සිටිනවා.

ප‍්‍ර. මෙම කොමිසමට සම්බන්ධිත සිදුවීම වන සමයේදීත් ඔබ සේවය කළේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙසද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඒ කියන්නේ 2015 පෙබරවාරී මස 27 වැනිදා.

පිළි. ඔව්.

ප‍්‍ර. 2015 පෙබරවාරී මස 27 වැනිදා පැවැත්වු බැදුම්කර වෙන්දේසියේ ටෙන්ඩර් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඔබද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඔබට ඒ සමයේ වෙනත් කටයුත්තක් පැවරී තිබුණද?

පිළි. ඔව්. මා ඒ සමයේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළා. මේ නිසා නිල බලයෙන් මා ටෙන්ඩර් කමිටු සභාපතිවරයා ලෙස පත් වෙනවා. ඒ අනුවයි මා එම ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ

ප‍්‍ර. ඊට අමතරව ඔබට පැවරී ඇති වෙනත් රාජකාරී මොනවාද?

පිලි. ප‍්‍රධාන පැමිණිලි නිලධාරීයා ලෙස කටයුතු කළා. ඒ අනුව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මා යටතේ තියෙන දෙපාර්තමේන්තු නීතීයට අනුව කටයුතු කරනවාදැයි සුපරීක්‍ෂා කිරීමත් මා කළා.

ප‍්‍ර.  ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා හැටියට ඔබ එහි මුල්‍ය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කළාද?

පිලි. ඔව්.

ප‍්‍ර. ඔබ මහා බැංකුවේ ප‍්‍රාදේශිය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කළාද?

පිලි. ඔව්.

ප‍්‍ර. ඔබ මහා බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කළාද?

පිලි. ඔව්.

ප‍්‍ර. ඔබ මහා බැංකුවේ මුල්‍ය බුද්ධි දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කළාද?

පිලි. ඔව්.

ප‍්‍ර. ඔබ මහා බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කළාද?

පිලි. ඔව්. මා මහා බැංකුවේ ආරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවත් අධීක්‍ෂණය කළා.

ප‍්‍ර. ඔබ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හැර අනෙකුත් සියළුම දෙපාර්තමෙන්තු අධීක්‍ෂණය කළේ ඉතාම කෙටි කාලයක් නේද?

පිලි. ඔව්.

ප‍්‍ර. ඊට අමතරව ඔබ ව්‍යවස්ථා මණ්ඩල වලත් කටයුතු කර තියෙනවා නේද?

පිළි. ඔව්. මා ව්‍යවස්ථා මණ්ඩල කිහිපයකම කටයුතු කර තියෙනවා.

ප‍්‍ර. ඔබ ග‍්‍රන්ථ ප‍්‍රකාශණයට පත් කරලා තියෙනවා නේද?

පිලි. ඔව්. ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මාගේ 35 වසරක සේවා කාලය තුළදී මා ලැබු අත්දැකීම් හා පළපුරුද්ද අනුසාරයෙන් මා මෙම පොත් සකස්කර තියෙනවා.

ප‍්‍ර. එම ග‍්‍රන්ථ පළකිරීම සිදු කළේ කවුද?

පිළි. ග‍්‍රන්ථ හතරම පළකලේ ශ‍්‍රී ලංකා මහා බැංකුව.

ප‍්‍ර. අධීක්‍ෂණ නිලධාරීයකු ලෙස ඔබ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අභ්‍යයන්තර දෙපාර්තමේන්තු වල අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු වලට දායක වී තියෙනවාද?

පිලි. මුල්‍ය නීතීය යටතේ නියෝග ලබාදීමේ කිසුදු වරයක් මට ලබාදී නැහැ.

ප‍්‍ර. මහා බැංකුවේ අධීක්‍ෂණ නිලධාරියකු හැටියට ඔබට පැවරී ඇති වගකීම මොනවාද?

පිළී. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු හැටියට දෙපාර්තමේන්තු ප‍්‍රතිපත්ති තීරණ පිළිබඳව සාකච්ඡා කොට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙනවා. ඒ හැරෙන්න මෙහෙයුම් සම්බන්ධ කටයුතු ඒ ඒ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් විසින්ම විසඳනවා.

ප‍්‍ර.  අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වු පසු බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා තොරතුරු තාක්‍ෂණ  දෙපාර්තමේන්තුව  ඔබ යටතට පත් කරනවා නේද?

පිලි. ඔව්. මුලින් මා යටතේ තිබුණේ මුල්‍ය අංශය .

ප‍්‍ර. මහා බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඔබගේ අධීක්‍ෂණය යටතට පත් කලේ කවදාද?

පිළි. 2015 පෙබරවාරී 09 වැනිදා.

ප‍්‍ර. මහා බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කරන නියෝජ්‍ය අධිපතිවරයා ලෙස ඔබගේ කාර්යභාරය කුමක්ද?

පිළි. මහා බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කරන නියෝජ්‍ය අධිපතිවරයා ලෙස මා හට පැවරී ඇති ප‍්‍රධානම කාර්ය්‍ය වන්නේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා හැටියට කටයුතු කිරීම හා ඒ සම්බන්ධ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම.

ප‍්‍ර. මහා බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කරන නියෝජ්‍ය අධිපතිවරයා ලෙස 2015 වසරේදී කටයුතු කළේ ඔබද?

පිළි. ඔව්.

ප‍්‍ර. එතකොට මහා බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කලේ කවුද?

පිලි. රත්නායක මහතා.

ප‍්‍ර. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාගේ නියෝග මතද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළේ?

පිළි. නැහැ. රජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ රාජ්‍ය ණය අධිකාරීවරයායි.

ප‍්‍ර. එතකොට මෙහෙයුම් සම්බන්ධ තීරණ ගත්තේ කවුද?

පිළි. මෙහෙයුම් සම්බන්ධ තීරණ ගත්තේ රාජ්‍ය ණය අධිකාරීවරයායි. ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නා විට මතුවන ගැටළු වලදී සහය වීම පමණයි මා කරන්නේ.

ප‍්‍ර. මේ රාජ්‍ය අංශයේ ක‍්‍රමවේදයද?

පිලි. පෞද්ගලික අංශයේදී නම් මෙය වෙනස් විය හැකියි. නමුත් රාජ්‍ය ආයතනයකදී නම් ඒ ඒ මට්ටම් වලදී එයට අදාළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වගකීම් දැරීමට බැඳී සිටිනවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගන්නා තීරණ ගැන තොරතුරු ලිපි ආදී වෙනස් දේවල් වල පිටපත් ඔබට ලැබෙනවාද?

පිලි. නැහැ.

ප‍්‍ර. එතකොට බැදුම්කර වෙන්දේසි පිළිබඳ හා සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය  පිළිබඳ  ගන්නා  තීරණ පිළිබඳ පිටපත් ඔබට ලැබෙනවාද?

පිළි. නැහැ.

ප‍්‍ර. ඒ කියන්නේ රාජ්‍ය ණය අධිකාරීවරයා ගන්නා තීරණ ඔබ දන්නේ නැහැ කියන එකද?

පිළි. ඔව්. ඔබ නිවැරදියි.

ප‍්‍ර. ඔබතුමා කියන්නේ 2015 පෙබරවාරී මාසයේ තත්වයත් මෙයම කියලද?

පිළි. ඔව්.

සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා. ඒ කියන්නේ අධීක්‍ෂණයක් නැහැ කියලද?

පිළි. ඔව්.

සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා. අදාළ විමර්ශණ නිලධාරීන් මුදාහරන ලෙස කොමිසම පොලිස්පතිවරයාට නොතිසි යවා ඇතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් නැහැ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ තත්වය මේකයි.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සිදුවන සිදුවීම් පිළිබඳව සහකාර අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරයා, මුල්‍ය මණ්ඩලය යන තැන්වලට වාර්තා කිරීමක්  සිදුවන්නේ නැහැ කියලද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඉතින් මෙම වැරදි හදන්න ඔබ කටයුතු කළේ නැද්ද? ඔබ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණ නිලධාරීයා හැටියට සිදු කළ වෙනස් වීම් මොනවාද?

පිළි. මා යටතේ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තිබු කාලයේ එහි අලෙවි අංශය මා වැඩිදියුණු කළා. මා අලෙවි අංශයේ ඓතිහාසික වැඩිදියුණු කිරීමක් සිදුකළා.

අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා. ඔබ ගැලවෙන්න උත්තර දෙනවා.

ප්‍ර. බැඳුම්කර වෙන්දේසියක් පිළිබඳ වැදගත් තොරතුරු තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කුමන අංශයේද?

පිළි. ඉදිරි කාර්යාලයේ. ඔවුන් සතුව සියළු වැදගත් තොරතුරු තියෙනවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. බැදුම්කර වෙන්දේසියකදී ඵලදායිතා අනුපාතය ඉතා වැදගත් නේද?

පිලි. ඔව්. වැදගත් වන්නේ උපරීම සීමාවයි. 

ප‍්‍ර. එතකොට ඉදිරි කාර්යාලයේ නිලධාරීන් මෙම උපරීම සීමාව දන්නවාද?

පිළි. ඔව්. ඒ සියළු දේ ඔවුන් දන්නවා.

ප‍්‍ර. එතකොට ඉදිරි කාර්යාලයේ නිලධාරීන්ට මේ තොරතුරු පිටත සිටින යම් අයකුට දෙන්න හැකියාව තියෙනවාද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඔබ වසර දෙකක් මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණ නියෝජ්‍ය අධිපති  හැටියට කටයුතු කළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඉතින් (ඉදිරි, මැද හා පසු කාර්යාල වෙන් කිරීම ආදිය පිළිබඳව) මෙය නැවැත්වීමට පියවර ගත්තේ නැත්තේ ඇයි?

පිළි. මෙම කොමිසමෙන් නිර්දේශ ලැබුණු පසු අපිට එය කරන්න පුළුවන්.

ප‍්‍ර. වෙන්දේසී ක‍්‍රමවේදය වෙනස් කිරීමට කටයුතු කරනවාද?

පිලි. ඔව්. දෙබිඩි ක‍්‍රමවේදය සම්බන්ධයෙනුත් සාකච්ඡා කරනවා. කෙසේ නමුත් වෙන්දේසි පද්ධතිය වැඩිදියුණු කරන්න සාකච්ඡා කරනවා. කොමිසමෙන් නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනවා.

ප‍්‍ර. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැමිණි පසු මේ පිළිබඳ සාකච්ඡා කළාද?

පිළි. ඔව්. මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මේවා නවත්වන්න සී.සී.ටී.වී. කැමරා සවි කිරීම, පටිගත කිරීමේ යන්ත‍්‍ර භාවිතය මෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කිරීම ආදී පියවර ගන්න පුළුවන් නේද?

පිළි. අපි මේ වන විට සී.සී.ටී.වී. කැමරා සවි කර තියෙනවා. ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කළොත් වෘත්තීය සමිති වලින් විශාල විරෝධතාවයක් මෙන්ම විශාල පීඩනයක් එල්ල වීමට හැකියාව තියෙනවා.

ප‍්‍ර. 2015 පෙබරවාරී මස 27 වැනිදා වන විට රුපියල් බිලියනයක බැඳුම්කර නිකුතුවක් සිදුකළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. එම රුපියල් බිලියනයක බැදුම්කර නිකුතුවේදී කොපමණ ලංසු ප‍්‍රමාණයක් පිළිගත්තාද යන තොරතුරු පිටස්තර අයකුට දැනගත හැකිද?

පිලි. ඔව්. මෙය මිල සංවේදී තොරතුරක් එවැනි තොරතුරක් මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවකයකු නොවන අයකුට ලැබීමට ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කළ විට රුපියල් බිලියන දෙකක, තුනක මුදලක් පිළිගැනීමට හැකියාව තියෙනවා. ඒත් රුපියල් බිලියන 10ක වැනි මුදලක් පිළිගන්න අමාරුයි.

ප‍්‍ර. 2015 පෙබරවාරී 27 වැනිදා ලංසු රටාව ඔබ අධ්‍යනය කළාද? ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

පිළි. මා 2015 පෙබරවාරී 27 වැනිදා ලංසු රටාව හොඳින් අධ්‍යනය කළා මාගේ දීර්ඝ සේවා පළපුරුද්ද අනුව මෙම බැදුම්කර වෙන්දේසිය පිළිබඳ වැදගත් තොරතුරු පිටස්තර යම් පාර්ශවයක් කළින් දැනගෙන ඇති බව මා නිගමනය කළා.

ප‍්‍ර. ඝෘජු ස්ථානගත ක‍්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න?

පිළි. ඝෘජු  ස්ථානගත  කිරීමේ  ක‍්‍රමවේදයේ ආකාර දෙකක් තියෙනවා.

පළමු වර්ගයේ ඝෘජු  ස්ථානගත  කිරීමේ  ක‍්‍රමවේදයේ බැදුම්කර වෙන්දේසියකදී ප‍්‍රධාන වශයෙන් සහභාගී වන්නේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් පමණයි.

දෙවැනි වර්ගයේ ඝෘජු  ස්ථානගත  කිරීමේ  ක‍්‍රමවේදයේ බැදුම්කර වෙන්දේසියකදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා මහා බැංකුව සීමීත බැඳුම්කර ප‍්‍රමාණයක් වරින් වර රාජ්‍ය බැංකු වෙත මුදාහරිනවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. වැඩිපුර භාවිතා කරන්නේ ඝෘජු ස්ථානගත බැදුම්කර වෙන්දේසි කිරීමේ ක‍්‍රමවේදයද?

පිළි. ඔව් සීයයට 98ක්ම භාවිතා කරන්නේ ප‍්‍රාථමික අලෙවිකරුවන්ට බැදුම්කර අලෙවි කිරීමේ ක‍්‍රමවේදයයි.

ප‍්‍ර. එතකොට පෞද්ගලික ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය කුමක්ද?

පිලි. ඝෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය හා පෞද්ගලික ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය යන වදන් මුල්‍ය ලෝකයේදී එකම අර්ථයක් ලබාදෙනවා.

ප‍්‍ර. 2015 වසරට පෙර මෙම ක‍්‍රමවේදයෙන් කොපමණ බැඳුම්කර ප‍්‍රමාණයක් නිකුත් කළාද?

පිළි. 2008-2015 යන කාලවලදී මිලියන 05ක් පමණ වටිනා බැඳුම්කර ප‍්‍රමාණයක් නිකුත් කළා. මේවායින් සීයයට 95ක්ම ප‍්‍රාථමික ගැණුම්කරුවන් හරහා සිදු කළා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා.  ඒ කියන්නේ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීයකුට රුපියල් බිලියන ගණනක් ගැන තීරණ ගන්න පුළුවන් ඒ පිළිබඳ නිසි කළමණාකරණයක් නැහැ කියන එකද?

පිළි.  ඔව්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු බැදුම්කර වෙන්දේසියකදී ලාභ ගන්නේ කොහොමද? සරලව පැහැදිලි කරන්න.

පිළි. අපි හිතමු භාණ්ඩාගාර බැඳුම්කරයන් රුපියල් 100ට මිල නියම කර තියෙනවා කියලා. එය රුපියල් 95/-ට මිලදී ගෙන රුපියල් 96/-ට විකුණනවා.

ප‍්‍ර. මුල්‍ය මණ්ඩලයේදී ඝෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කළාද?

පිළි. නැහැ.

වැඩිදුර සාක්කි විමසීම අද (28) දක්වා කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.