( තිළිණි ද  සිල්වා, තරිදු ජයවර්ධන සහ  රංජන් කටුගම්පොළ )
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති , ජනාධිපති  නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සම් අද (13) අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය. මේ වන විට අතරමැදි පෙත්සම කැදවෙමින් පවතී.