( තිළිණි ද සිල්වා )

නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ ශ්‍රී ලංකිකයින් 103 දෙනෙක් තවමත් එරට ආගමන විගමන රැඳවුම් භාරයේ ඇති සංක‍්‍රමණික කඳවුරුවල සිටින බව  ඕස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්ව ඇත.

එම අමාත්‍යාංශය විසින් ඉකුත් මැයි 21 වැනිදා නිකුත් කළ  වාර්තාවකට අනුව මේ වනවිට, පිරිමින් 98 ක් සහ කාන්තාවන් 5 ක් ද රැඳවුම් භාරයේ පසු වෙති.

තවද සංක‍්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ලාංකිකයින් 37 දෙනෙකු එරට  නිවාස අඩස්සියේ රඳවා ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ. 2013 වසරේදී ලාංකිකයන් 801ක් එලෙස නිවාස අඩස්සියේ පසුවිණි.

2013 වසරේදී ශ්‍රී ලාංකිකයන්  974 ක් සංක‍්‍රමණික කඳවුරු වල සිටි බව ද  ඕස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දේ. එම ලාංකිකයින් අතරින් පිරිමින් 692 ක් ද, කාන්තාවන් 127 ක් සහ දරුවන් 155 ක් ද එයට ඇතුළත් විය. 

ඒ අනුව 2013 වසරේදී   ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රැඳවුම් භාරයේ පසුවූ වැඩිම පිරිස පැමිණි රාජ්‍යයන් අතර ලංකාවට දෙවෙනි ස්ථානය හිමිවූ අතර, ඉරානය පළමු ස්ථානයේ පසුවිය.

2014 වසර වනවිට රැඳවුම් භාරයේ පසුවූ ලාංකිකයන් ප‍්‍රමාණය 206 දක්වා අඩුවූ අතර, 2015 වනවිට එය 144 ක් දක්වාද , 2016 වනවිට 86 ක්  ලෙසින් අඩුවූ නමුත්, 2017 වසරේදී ලාංකිකයන් 105 දෙනෙකු එරට රැඳවුම් භාරයේ පසු වු බව වාර්තා විය.