(ක.ග කරුණාරත්න)

හබරණ තූම්බිකුලම රක්ෂිතයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉපැරණි දාගැබක් විනාශ කරමින් නිධන් හාරමින් සිටි බව කියන නව දෙනකු අද (12) අත්අඩංගුවට  ගත් බව හබරණ පොලීසිය කියයි.
 
පොලීසිය එම ස්ථානය වැටලීම කරන අවස්ථාවේ මන්ත්‍ර කියමින් සිටි කට්ටඬියකු පොලිසිය දැක පලා යාමට උත්සාහ දරා තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන ඉපැරණි දාගැබක් ඇතුළු බෞද්ධ පුරාවස්තු රැසක් මෙම ප්‍රදේශයේ ඇතැයි කියැවේ.

එම දාගැබේ අඩි 10 ක් පමණ පළල සහ අඩි 12ක් පමණ දිග විශාල වළක් හාරා තිබූ බවත් ඉන් පැරණි පාදමක ගල් ආදිය ගොඩ දමා ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් පැමිණි බව කියන නවීන පන්නයේ වෑන් රථයක්, බැකෝ යන්ත්‍රයක් සහ පූජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.