රේඛා තරංගනී ෆොන්සේකා , ප්‍රසංග සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව ද පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ  දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. 

 දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ  ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම  කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.

(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)