(ආරියරත්න රණබාහු)

කිසියම් ප්‍රශ්නයක් ඇතිවන තැනකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති කරපු අය සිටියදී ඒවා වෙන අයගේ කරපිටට දාන්න එපා යයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අපි අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යයිද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම් වලට කිසිවකු හවුල් වී ඇත්නම් ඒ බව රටට කියන ලෙසයි.

“අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ කතා කරන්නේ මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැන ප්‍රශ්නයක් මතුවී ඇති නිසයි. කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කවුරු හෝ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් කෙනෙක් හවුල් වුණා නම් ඒ පිළිබඳව රටට කියන්න“ යයිද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා 

83 කළුජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්ඩලය මේ පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද?

මේවා පිටුපස දේශපාලන හස්තයක් තිබෙනවා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය තහනම් කරනවා. ඒ පක්ෂවල නායකයින් ගිහින් මීගමුවේ බන්ධනාගාර ගත කළා.

නමුත් මාස ගණනක් යෑමට කළින් හෙළිවුණා කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාප නායකයින් සහ ඔවුන් විසින් ලකුණු කරන ලද ඡන්ද පොත්වලින් කියලා.

 

රෝහිත අබේගුණවර්ධන මහතා

රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන වශයෙන් විරුද්ධවාදියාට ඇඟිල්ල දික්කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල් සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි. මේ පත්තරේ දෙන පණිවිඩය මොකක්ද? අපිට අපේ ප්‍රදේශයේ පල්ලියට, පන්සලට යන්න සිද්ධ වුණා.. මේ ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තියෙන අයිතිය නැති කරන්නද මේ ආණ්ඩුව සූදානම් වන්නේ?

මේ ගිනිගන්නේ සිංහල හෝ මුස්ලිම් නොවෙයි. මුලු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන කැබිනට් ප්‍රකාශකයා ටික කාලයකට ඒ ප්‍රකාශකකමින් අයින් කර තබන්න.

 

කතානායක කරු ජයසූරිය මහතා

අපි මේවා පිළිබඳව සාකච්ඡා කරනවා. ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නවා. වැදගත්කම තේරුම් ගෙන තිබෙනවා.

 

විමලවීර දිසානායක මහතා

අම්පාරේ ඇතිවූ සිද්ධිය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් නොවෙයි. එය අහම්බෙන් සිදුවූ දෙයක්. නමුත් දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒක අපේ පිටට දැමීමටයි.

අම්පාරේ ඊයේ දිනයේ කඩ වහලා තිබුණා. කඩ වැහුවේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත්ත නිසා. දැනට ක්‍රියාත්මක නීති අනුව ඔහු මාස ගණනක් රිමාන්ඩ් කරලා. මේ නිසා ඔහුගේ ව්‍යාපාර කටයුතු, පවුල් ජීවිත මේවා අවුල් වෙනවා.

 

කතානායක

රටේ වර්තමාන තත්වය ගැන මන්ත්‍රීවරු අදහස් පළකළා. දවසට මම තුන් සැරයක් මේ ගැන ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිතුමාට කතා කරනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේවා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

 

අනුර දිසානායක මහතා

කැබිනට් ප්‍රකාශකතුමා කියලා තියෙන මේ අය කව්ද කියලා හෙළිකිරීම රජයේ වගකීමයි.

 

කතානායක

දැන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කෙරෙනවා. ඒ පිළිබඳව වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.

 

අනුර දිසානායක මහතා

ඒක තමයි පරීක්ෂණ වාර්තාවලින් පසුව මෙවැනි දේ කිවයුත්තේ. එහෙම නැතුව පරීක්ෂණ වෙමින් තිබියදී මෙහෙම කොහොමද කියන්නේ.

 

කතානායක

ඒකතමයි