(විනීතා එම් ගමගේ)
 
වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ  විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ නිසාම තානාපති සේවාවන්වලට විශාල තරඟයත් ඇති වී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
 
ගෙවී ගිය දශකයේදී  තානාපති සේවයට ගිය ඇත්තන් ගුණපාල මලලසේකර මහතා මෙන් රට ගැන සිතා කටයුතු කළේ නම් ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියට ගිය රටක් වී තිබෙනවාට අනුමානයක් නැති බවත්, මහා බලවතුන් ගෙන් බොහෝ දේ කරවා ගන්නට රටට අවස්ථාව ලැබෙන බවත්  සිරිසේන මහතා සඳහන් කළේය.
 
අද තානාපති සේවයේ යෙදෙන සියලු දෙනා මලලසේකර චරිතය හැදෑරිය යුතු යැයිද එයින් පාඩම් උගත යුතුයැයි ද හෙතෙම පැවැසීය.
 
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද  (14) පැවැති  මලලසේකර ගුණානුස්මරණ උත්සවයේ දීය. මලලසේකර පදනම මඟින් එම උත්සවය පවත්වනු ලැබීය.
 

(ඡායාරූප - ශාන්ත රත්නායක)