වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි.  එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද වාර්තා වේ.

සුන්බුන්වලට යටවූවන් සොයා කළ මෙහෙයුම් ඊයේ (18) රාත්‍රියේ තාවකාලිකව නවතා දැමුණු අතර අද(19) පෙරවරුවේ යළි පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

සිද්ධියෙන් තුවාල ලැබූ 19 දෙනෙක් තවමත් කළුබෝවිල හා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.  මේ අතර ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කරන ලද්දක් ද යන්න සැකය මත ඒ පිළිබඳ සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එහි ගොස් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ අතර අද(19) සවස පැවැති මාධ්‍ය හමුවක දී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට අනුකූලතා සහතිකයක් ලබාගෙන නැති  බවයි.