තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව   බව මේ වනවිට තහවුරු වී ඇති නිසා එම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස   නියෝග කරන්නැයි ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නීතීඥ සංගමය අද (11)  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී දිවුරුම් ප්‍රකාශයක්  අධිකරණයට හමුවට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කරන ලදී.

සිසිර ද ආබෘ  ,ප්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

නිසි පරිසර ඇගයීම් වාර්තාවක් නොමැතිව ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව තහවුරු වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවද එම දිවුරුම් ප්‍රකාශ මඟින් ඔවූහු අධිකරණයට දැන්වූහ.

පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. ඩී.රොද්‍රිගු මහතා මහතා මෙම පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා සිටියේය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් අසරණභාවයට පත් ජනතාව වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව දෙන්නැයි ජනාධිපති නීතීඥවරයා  කීවේය.

විශාල පාරිසරික හානියක් සිදු කරමින් ජනජීවිතයට විශාල පාඩුවක් සිදු කරමින් දියත් කර ඇති මෙම සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙස ද ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බව  ජනාධිපති නීතීඥ ඩබ්ලිව් .ඩී.රොද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.

 අදාළ ඉල්ලීම් සම්බන්ධ කරුණු සලකා බැලීමට මෙම පෙත්සම සැප්තැම්බර් 29 වැනිදා කැඳවීමට තීරණය කැරිණි.