තරිඳු ජයවර්ධන
 
සිංහරාජයේ සිටින අලි දෙන්නා හෙක්ටයාර 36ක ප්‍රදේශයකට කොටු කිරීම සම්බන්ධයෙන් ඉදිරි පත් වී ඇති යෝජනාවට විරෝධය දක්වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

 
වනජීවී අමාත්‍යවරයාට හමුදාව පාලනය කරන අයුරින් අලින් පාලනය කළ නොහැකි බවත්,   හෙක්ටයාර 36ක භූමියක කොටු ‍ කිරීමෙන් අලින්ගේ ජෛවීය අවශ්‍යතා සපුරා ගැනීමට බාධා පැමිණෙන බවත් රවීන්ද්‍ර කාරිවසම් මහතා කීවේය.
 
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ද කීවේය.
 
‘‘සිංහරාජයේ සිටින අලි දෙදෙනා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ පාරුගල හෙක්ටයාර 36 ක භූමියකට කොටුකර රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කරන්න සහ ඊට අදාළව ඉඩම් අත්පත් කර ගන්න වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. අලින් දෙදෙනා හෙක්ටයාර 36කට  කොටු කරලා ප්‍රශ්නය විසඳහන්නයි තිරණය කරලා තියෙන්නේ. 
 
වනජීවී අමාත්‍යවරයා හමුදාවේ ප්‍රශ්න විසඳන විදියටයි අලින්ගේ ප්‍රශ්න විසඳහන්න හදන්නේ. හමුදාවේ පිරිස් නම් කෑම්ප් එකකට කොටු කරලා ඉන්න කිව්වොත් ඉන්න වෙනවා.   නමුත් අලින්ට කියන්න පුලුවන්ද හෙක්ටයාර 36ක භූමියක ඉන්න කියලා. ජෛව විද්‍යාත්මකව මෙයාලගේ අවශ්‍යතා ගත්තොත් අලියකුට එක දවසකට ආහාර කිලෝ ග්‍රෑම් 150ක් විතර ඕනෑ. ජලය ලීටර 120ක් විතර ඕනෑ. දවසකට අලියෙක් කිලෝමීටර 15ක් පමණ අවිදින බව සොයාගෙන තිබෙනවා. ආහාරයි ජලයයි ගෙනත් අක්කර 36 ඇතුළට දැම්මත් මද කිපෙන කාලෙට වැටවල් පේන්නේ නෑ. ඔවුන්ගේ අවශ්‍යතා සොයාගෙන යන්න සිද්ධ වෙනවා.  
 
පැහැදිලිවම මේක වනජීවී අමාත්‍යවරයාගේ යෝජනාවක් වෙන්න බෑ. මේ තීරණය එන්නේ 2006 වර්ෂයේදී. 2006 දී වනජීවී අමාත්‍යංශය හදනවා වන අලි කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කියලා එකක්. එහි තියෙන්නේ අලි අක්කර 50 සීමාවලට කොටු කරලා වැටෙන් පනින අලි කලහකාරී අලි ලෙස සලකා පෞද්ගලික අයිතියට පවරනවා කියලයි. වැටෙන් පැන්නොත් අලියා වික්කා.  වැටෙන් පැන්නොත් කාට හරි හාමුදුරුනමකට හෝ මුදලාලි කෙනකුට අලියා දෙනවා. මේක  තමයි මේ යළිත් කරන්න හදන්නේ. 
 
සිහරාජයේ අලි දෙන්නා ආරක්ෂා කරන්න සහ සිංහරාජයේ සිදුවන ජාන මංකොල්ලය නවත්වන්න අපි ජනාධිපතිට සහ වනජීවී ඇමැතිට යෝජනා දුන්නා. ඒ ගැන සැලකිල්ලක් දක්වලා නෑ. මේකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ අලි දෙන්නා වැට කඩාගෙන පැන්නට පස්සේ කවුරු හරි වෙඩි තියලා මරන්න ඉඩ තියෙනවා. අපි පැහැදිලිව කරන්න ඕනෑ දේවල් කිව්වා. ඇමැතිට හෝ නියෝජ්‍ය ඇමැතිට ඒ ගැන අවශ්‍ය දැනුම නැතිනම් ඊට අදාල විද්‍යාත්මක දැනුම දෙන්න අපි සූදානම්.  අල්ලසට, පගාවට මුදලට නෙමෙයි. අපි නොමිලයේ අවශ්‍ය විද්‍යාත්මක දැනුම දෙන්න සූදානම්.‘‘