ඉන්දිකා රාමනායක

ව්‍යාපාරිකයින් ගෙන් තමන් කප්පම් ලබා ගන්නේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බැවින් කප්පම් ගන්නා සිය ගෝලයින්ට කරදර නොකරන ලෙස  ඉල්ලා පාතාල නායක අංගොඩ ලොක්කා  නැමැත්තා ඉන්දියාවේ බන්ධනාගාරයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

 ව්‍යාපාරිකයින් තමන්ට කප්පම් ලබා දිය යුතු බවත්  එයට බාධා  නොකරන ලෙසටත්  අංගොඩ ලොක්කා ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද  එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

ඉකුත් 13 වැනිදා  අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ     ව්‍යාපාරික ස්ථානයකට  ටී 56  ගිනි අවියකින් වෙඩි  තැබීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අංගොඩ ලොක්කා  මෙම ඇමැතුම ලබා දී ඇති බව පොලිසිය කියයි.

උඩුමුල්ලේ ව්‍යාපාරිකායාට   මුදල් ඉල්ලා තර්ජනය කළ දුරකතන අංකය හා ස්ථානාධිපතිවරයාට කථා කළ  අංකය එකම අංකයක් බව ද පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි.    ස්ථානාධිපතිවරයා සියලු විස්තර සටහන් කර උසස් පොලිස් නිලදාරීන් දැනුම්වත් කර තිබේ.

 ඉන්දියා පොලිසියෙන් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ බන්ධනාගාරයට රඳවා සිටියි.