IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


​ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක්

(*** නිමන්ති රණසිංහ)

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18) කරුණු වාර්තා කළේය.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් ජාලයෙන් සිදුකළ ක්‍රියාවන් රාශියක තොරතුරු පොලිස් භාරයේ ඇති ඔහුගේ පරිගණක උපාංග සහ දුරකතනවලින් හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීම” යනුවෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඔහුගේ මුහුණු පොතේ පළ කර ඇති මෙම සැකකරු එයින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළන ආකාරයේ මෙන්ම අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ තොරතුරු ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“මම මුස්ලිම් අන්තවාදියෙක් වෙමි” යන මැයෙන් ඉකුත් 07 වැනිදා ද සිය මුහුණු පොතෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඔහු “විදේශයේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් යොදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාකාරකම් රාශියක් සම්බන්ධයෙන් වන හෙළිදරව්ව” යන ශීර්ෂයෙන් ද, අන්තවාදය ප්‍රවර්ධනය කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘‘අධර්මිෂ්ට සිංහලයන් සත්‍ය ඉදිරියේ දණ ගැසෙන කාලය එළැඹ ඇත”  “පෞද්ගලික වාසි සොයා දේශපාලනයේ නියැලෙන රාජපක්ෂලාට කඩේ යන, සිවුරක් පොරවා ගත් සැණින් තමා භික්ෂු නමක් බවට රටම අන්දවන පිරිසගේ අවධානය පිණිසයි” යනුවෙන්ද සඳහන් කරමින් මෙම සැකකරු මුහුණු පොත හරහා වීඩියෝ පටයක් ද ප්‍රචාරය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. ඒ අනුව සැකකරු ඊයේ (18) තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදි සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු විසූ අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පිහිටි නිවාස සංකීර්ණයක නිවසකට කුලිය වශයෙන් රුපියල් 80,000ක මුදලක් ද, කුලී පදනම මත ලබාගත් වාහනයක් සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක්  සහ සේවකයන් දෙදෙනකු සහිතව පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයක කුලිය වශයෙන් මාසිකව රුපියල් 1,25,000ක මුදලක් ද ලබා දෙන බවට කරුණු හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම කරුණු හේතුවෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වහාම භාරදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

 



අදහස් (0)

​ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 158 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 469 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 643 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1059 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 737 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1599 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site