IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

(*** මුදිතා දයානන්ද)

සහරාන්ගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ ආමි මොහිදීන්, මොහොමඩ් රිල්වාන් හා මොහොමඩ් සයිනි සැඟව සිටිනා ස්ථාන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළත් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන තෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බව අම්පාර ප්‍රදේශය භාර බුද්ධි අංශ නිලධාරියෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (22 වැනිදා) පැවසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කමිටු ශාලාවකදී මෙම කොමිසම ඊයේ රැස්විය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සම්බන්ධ වන අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ හරස් ප්‍රශ්න හමුවේ බුද්ධි නිලධාරියා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඔබ කාත්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් 2016 දෙසැම්බර් 14 වැනිදා බුද්ධි නිලධාරීන්ගේ සාකච්ඡාවකදී කරුණු අනාවරණය කළාද?
බුද්ධි නිලධාරි - ඔව්. ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකාරකම් ගැන මම කතා කළා. මොහොමඩ් සහරාන්, සාෆි හා සයිනි යන අය මුස්ලිම් අන්තවාදය පැතිරවීමේ කටයුතුවල නිරත වන බව මම පෙන්වා දුන්නා.

ප්‍රශ්නය - ඔබ එහිදී මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන පමණක් නෙවෙයි වෙනත් අන්තවාදය ගැනත් තොරතුරු ඉදිරිපත් කළාද?
පිළිතුර - ඔව්. මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමිද අන්තවාදී ස්වරූපයකින් කටයුතු කරන බවක් මම පෙන්වා දුන්නා. ඒ වගේම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අමතරව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය, සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය, සිවසේනා සංවිධානය වැනි මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැනත්, මහසොහොන් බළකාය, සිංහලේ ජාතික සංවිධානය, සිංහල රාවය වැනි සංවිධාන ගැනත්, කිරිඇල්ලේ සුධම්ම හිමි සංවිධානය කරනු ලබන සිංහල බොදු එකමුතුව සම්බන්ධයෙනුත් එහිදී කරුණු ඉදිරිපත් කළා.

ප්‍රශ්නය - කාත්තන්කුඩි ප්‍රදේශය තුළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් අන්තවාදය පැතිරවීමට ගෙන යන ක්‍රියාමාර්ග ඔබ හඳුනාගෙන තිබුණාද?
පිළිතුර - ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබුණ පොඩි පල්ලියක් වෙනුවට විශාල පල්ලියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ගැන මා කමිටුව දැනුවත් කළා. ඒ වගේම එම ජාලය සමග සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳවත් සොයාගත් තොරතුරු දැනුවත් කළා.

ප්‍රශ්නය 2017 මාර්තු 10 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේදී අන්තවාදී සංවිධානය දෙකක් අතර ගැටුමක් ඇති වූ බව ඔබ දැන සිටියාද?
පිළිතුර - ඔව්. ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා සුන්නත් වල් ජමාත් සංවිධානය අතර ගැටුමක් ඇති වුණා.

ප්‍රශ්නය - ඒ සම්බන්ධ අත්අඩංගුවට ගත යුතු යම් පිරිසක් පොලිසිය අත්අඩංගුවට නොගෙන සිටියාද?
පිළිතුර - සහරාන්, රිල්වාන්, ආමි මොහිදින් හා යුසුප් අන්වර් යන හතර දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළා.

ප්‍රශ්නය - මොහොමඩ් සයිනිටත් වරෙන්තු නිකුත් කළා නේද?
පිළිතුර - ඔහු පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එහෙත් අනෙක් හතර දෙනා පාස්කු දින ප්‍රහාරය වන තෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ.

ප්‍රශ්නය - ඔවුන් සැඟවිලාද හිටියේ?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඔවුන් ඉන්න තැන් ඔබ සොයා ගත්තාද?
පිළිතුර - ඔව්. ආමි මොහිදින් පාසිකුඩාවල පොල්වත්තක නිවෙසක ජීවත් වුණා. රිල්වාන් හිටියේ ප්‍රදේශයෙන් බැහැරව විවිධ ස්ථානවල ජීවත් වූ අතර ඔහු 309/බී, දෙවැනි හරස් වීදිය, ෆරීනාස් පාර, ආරියම්පති නැගෙනහිර ලිපිනයේ පිහිටි සිය බිරිඳ ජීවත් වූ නිවසට නිතර පැමිණියා.

ප්‍රශ්නය - ඒ කාලයේ රිල්වාන්ගේ බිරිඳ දරු ප්‍රසූතියකට සූදානම්ව සිටියාද?
පිළිතුර - අපි ඔහු එහි යන එන බව දැනගත් 2019 මාර්තු වනවිට බිරිඳ දරුවෙක් ප්‍රසූත කර තිබුණා. ඒ දරුවා බලන්න තමයි රිල්වාන් නිතරම ආවේ.

ප්‍රශ්නය - ඒ දරුවාට මාස කීයක් විතර වයසද?
පිළිතුර - ඒ වනවිට මාස දෙකක් පමණ වන්නට ඇති බවයි දැනගන්න ලැබුණේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – සභාපතිතුමනි, මම ඒ ප්‍රශ්නය ඇසුවේ සයින්දමරුදුවල පිපිරීම සිදුවූ සහරාන්ලාගේ ආරක්ෂක නිවස්නයේ මිය ගිය අය අතර මාස තුනක පමණ බිලිඳෙකුගේ සිරුරක් තිබී හමුව තිබෙනවා. ඒ රිල්වාන්ගේ දරුවා බවට සැකයක් තිබෙනවා.

ප්‍රශ්නය - බුද්ධි අංශ නිලධාරීන්ට හැකියාව තිබෙනවාද මේ සොයාගන්නා තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්න?
පිළිතුර - බැහැ. අපේ කාර්යය වන්නේ තොරතුරු සොයා බලා වාර්තා කිරීම පමණයි.

ප්‍රශ්නය - ඔබ ඉදිරිපත් කළ තොරතුරු අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කාත්තන්කුඩිවලට පැමිණියාද?
පිළිතුර - ඔව්. මුලින්ම දැනුවත් කළා පොලිස් පරීක්ෂක මාරසිංහ නමැති නිලධාරියා සමග කණ්ඩායමක් එන බව. එහෙත් පසුව ආවේ උප පොලිස් පරීක්ෂක ඩයස් ඇතුළු කණ්ඩායමක් ආවා. ඒ 2019 මාර්තු 07 වැනිදා.

ප්‍රශ්නය - ඔබ ඔවුන්ට මේ සැකකරුවන් ඉන්න තැන් පෙන්නුවාද?
පිළිතුර - මගේ යටතේ ඉන්න නිලධාරීන් දෙදෙනකු ඔවුන්ට සම්බන්ධ කළා. ඒ අය පාසිකුඩාවලට ගොස් ආමි මොහිදින් ඉන්න තැන පෙන්වා තිබුණා. අනෙක් සැකකරුවන් ඉන්න තැන් බලන්න අපේ නිලධාරීන් සමග නොගොස් ඔවුන් ඉන්නා තැන පිළිබඳ විස්තර ලබාගෙන සිතියම් ගතකරගෙන තිබුණා.

ප්‍රශ්නය - ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගත්තාද?
පිළිතුර - නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක්ම අත්අඩංගුවට ගත්තේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව 2019 අප්‍රේල් 24 වැනිදා තමයි ඔවුන් නැවත පැමිණ ආමි මොහිදින් අත්අඩංගුවට ගන්න ආවේ. ඒත් ඒ වෙනකොට ඔහු පෙර හඳුනාගත් නිවෙසේ සිටියේ නැහැ. එහි සිටි වෙනත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහු ලවා ආමි මොහිදින්ට කතා කර ඔහු ඒ වෙනකොට පලාගොස් සිටි පූනානි ප්‍රදේශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළා. එහෙත් ඒ එන අතරමගදී ඔහු ඔට්ටමාවඩිවලදී නැවත පලාගොස් තිබුණා. ඒ අනුව විමර්ශන සිදුකර ඔහුව ඔට්ටමාවඩුවල සැඟව සිටි නිවසේදී අත්අඩංගුවට ගත්තා.

ප්‍රශ්නය - ආමි මොහිදින් කියන්නේ කවුද? ඔහු වෙනත් රැකියාවක් කළ කෙනෙක්ද?
පිළිතුර - ඔහු තමයි සහරාන්ගේ සන්නද්ධ කණ්ඩායමට ව්‍යායාම් අභ්‍යාස සිදුකර තිබෙන්නේ. පාසිකුඩාවලදී ඔහු වෙරළට පැමිණ ව්‍යායාම් කරනවා. ඔහු 1994දී යුද හමුදාවට ඇතුළත්ව පසුව හමුදාවෙන් පලාගොස් තිබෙනවා. 2004දී පොදු සමාව ලබා නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී තිබෙනවා. පසුව විදුලි කාර්මිකයකු ලෙස ජීවත් වී තිබෙනවා.

ප්‍රශ්නය - එතකොට ඔබ යුසුප් අන්වර් ඉන්න තැනත් සොයාගෙන තිබුණාද? ඔහු ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදුන්නාද?
පිළිතුර - අන්වර් ගැන අනාවරණය කරගන්න විශේෂ තොරතුරක් තිබුණේ නැහැ. ඔහු ප්‍රසිද්ධියේම ස්මාර්ට් ටේලර්ස් නමින් කාත්තන්කුඩි නගරයේම ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා.

ප්‍රශ්නය - ඔබ කියන්නේ ඔහු ඉන්න තැන දැන දැනම පොලිසිය ඔහු අත්අඩංගුවට නොගත් බවද?
පිළිතුර - ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ.

ප්‍රශ්නය - ඔබේ ප්‍රධානියා ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැන තොරතුරු සෙවීමට ඔබ උනන්දු කළාද?
පිළිතුර - ඔව්. ඒ අනුව අපි 2017දී සහරාන්ලාගේ කල්ලියේ අනූහතර දෙනකුගේ නාමලේඛනයක් සකස් කර ඉදිරිපත් කළා. එය පොලිස්පතිතුමාට ඉදිරිපත් කළා. ඉන්පසු මේ අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ නිසා 2019 ජනවාරිවලදී අපි 129ක නාමලේඛනයක් සකස් කර ඔවුන්ට ඉදිරිපත් කළා.

ප්‍රශ්නය - ඔබට ගෆූර් කියලා කෙනෙක් ගැනත් වාර්තා වී තිබුණාද?
පිළිතුර - ඔව්. ඔහු සයිනිගේ බිරිඳගේ තාත්තා. සහරාන් ගමන් බිමන් ගියේ ඔහු සමගයි.

ප්‍රශ්නය - පාස්කු ඉරුදින ප්‍රහාරයට ආසන්න දිනකදී කාත්තන්කුඩි ප්‍රදේශයේදී සිදුවූ බයිසිකල් බෝම්බය පිපිරීම සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - එම පිපිරීම සිදුවීමට පෙර ඔබට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන දැනගන්න ලැබුණාද?
පිළිතුර - නැහැ. පිපිරීම වුණාට පස්සේ තමයි අපි දන්නේ. එතනදීත් අපට මුලින්ම වාර්තා වුණේ එදින වැස්සකුත් තිබුණ නිසා අකුණක් වැදීමෙන් සිදුවූ පිපිරීමක් බවටයි. පසුව තමයි එහි බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුව ඇති බව දැනගන්න ලැබුණේ.

ප්‍රශ්නය - පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබට කලින් දැනගන්න ලැබුණේ නැද්ද?
පිළිතුර - නැහැ. ඔවුන් අන්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන බව දැනගන්න ලැබුණත් මෙවැනි දෙයක් ගැන වාර්තා වුණේ නැහැ.

ප්‍රශ්නය - ඔබට ඔබේ ඉහළ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලැබුණේ නැද්ද?
පිළිතුර - 2019 අප්‍රේල් 05 වැනිදා මගේ ඉහළ නිලධාරියා අපව දැනුවත් කරමින් කිව්වා මොවුන් යම්කිසි පිපිරවීමකට සූදානම් වන බවට විදේශ බුද්ධි තොරතුරක් ලැබී ඇති බව. ඒ නිසා ඔවුන් ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නා.

ප්‍රශ්නය - ඒ ගැන තොරතුරු හෙව්වාද?
පිළිතුර - ඔව්. එහෙත් පිපිරීමක් ගැන අපට තොරතුරු වාර්තා වුණේ නැහැ. මිල්හාම් සෞදියට ගොස් තිබුණ බව වාර්තා වුණා. ඒ ගැන ඉහළට වාර්තා කළා. සාරා, රිල්වාන්, ආමි මොහිදින් ආදීන් ගැන සොයන්න මා වෙන වෙනම නිලධාරීන් පත්කර තිබුණා. ඒත් එවැනි පිපිරීමක් ගැන සොයාගන්න බැරි වුණා.

ප්‍රශ්නය - ඔබට ඉන්පසුවත් ඔබේ ඉහළ නිලධාරියාගෙන් දැනුවත් කිරීමක් ලැබුණාද?
පිළිතුර - මට පමණක් නෙවෙයි මැසේජ් මගින් බුද්ධි නිලධාරීන් සියලු දෙනාට 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී අටට නවයට පමණ පිපිරවීමකට සූදානමක් ඇති බවත් ඒ ගැන සොයා බලන ලෙසත් අවධාරණය කර තිබුණා.

ප්‍රශ්නය - ඒ ගැන සෙව්වාද?
පිළිතුර - ඔව්. එහෙත් එවැන්නක් වාර්තා වුණේ නැහැ.

ප්‍රශ්නය - ඔබේ නිලධාරීන් භූමියටම සම්බන්ධ වී තිබෙනවා නම් ඇයි මේවා වාර්තා නොවුණේ?
පිළිතුර - අපට ඒවා දැනගන්න ලැබුණේ නැහැ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජික​ෙයා් වන්නෝ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එල්. බන්දුල කුමාර මහත්වරු හා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් එම්.එම්. අධිකාරි මහත්මියයි.



අදහස් (0)

හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 91 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 220 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 957 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site