IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිතාමතාම කළ ප්‍රකාශයක් බව ඔහු විසින්ම අධිකරණයේ දී පිළිගෙන ඇතැයි රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය.

රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති පළමුවැනි අධිකරණ අපහාස නඩුව  සිසිර ද ආබෲ  , විජිත් මළල්ගොඩ සහ ප්‍රිති පද්මන් සුරසේන  යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම අධිකරණ අපහාස නඩුවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සිය වාචික දේශන පවත්වමින් වැඩිදුරටත්  මෙසේද කීය.

“මෙය මෙම අධිකරණ අපහාස නඩුවේ තීන්දුව ප්‍රකාශ්‍යට පත් කිරීමට සිදු කරන අවසාන දේශනයයි.2017 අගෝස්තු 21 වන දින විත්තිකරු විසින් මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණයේ ආරාධනය පරිදි නීතීපති මෙම නඩුකරයට සහභාගී වූවා.ඒ අනුව නීතිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ අදිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රය සහිත ආඥාවක් ඉදිරිපත් කළා.විත්තිකරු මෙම චෝදනා වලට නිවැරදිකරු යැයි පැවසූවා.

පැමිණිල්ලේ සාක්කි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාත් , මාධ්‍ය ආයතන දෙකක මාධ්‍යවේදීන් 6 දෙනෙකුත් කැඳවූවා.සිරස මාධ්‍ය ආයතනයෙන් තිදෙනෙක් සහ හිරු මාධ්‍ය ආයතනයෙන් තිදෙනෙක්ද සාක්කි දෙනු ලැබුවා.ඉන්පසු විත්තියේ සාක්කි ඉදිරිපත් කළ .විත්ති පාර්ශවයේ සාක්කිකරුවෙකු හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නැවතත් කැඳවුනා.චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ , රාවය හිටපු කර්තෘ විකටර් අයිවන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා කැඳවූවා.

මම මෙම වාචික දේශනය කොටස් 3කින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.ඉන් පළමු කොටස මෙම නඩුවේ සිදුවීම් මාලාවයි.දෙවැන්න සාක්කි විග්‍රයයි.තෙවැන්න මෙම නඩුවේ නෛතික ගැටළු විග්‍රහයයි.

විත්තිකරු දක්ෂ කථිකයෙක්.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ,ඔහු මයික්‍රොෆෝනයට අමුත්තෙක් නොවේ.ඔහු සබරගමුව පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ගත් අයෙක්ද වේ.මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක අමාත්‍යවරයාගේ අධිකරණ අපහාස නඩුව තිබුණත් , මෙම අධිකරණ අපහාස නඩුව අධිකරණ ඉතිහාසයේ විශේෂ නඩුවක් වනු නියතයි.ඒ නිසාම විත්තිකාර රංජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුවේ ඉදිරියේදීයේ ප්‍රකාශයට පත් කෙරෙන තීන්දුව ඉතිහාසගත වන නඩු තීන්දුවක් වේවි.

මෙම සිද්ධියට මූලික වුනේ 2017 අගෝස්තු 21 වැනිදා එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව අරලිය ගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සාකච්ඡාවකි.මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයේ රැස්ව සිටියා.එම සාකච්ඡාව අවසන් වූ පසු විත්තිකරු මාධ්‍යයට සාකච්ඡා ලබා දුන්නා.විත්තිකරුගේ මෙම සාකච්ඡාවෙන් කොටසක් මාධ්‍ය මඟින් විකාශය කළා.අධිකරණයේ සාක්කි දුන් මාධ්‍ය ආයතන නියෝජිතයින් කියා සිටියේ විත්තිකරු මාධ්‍යයට දිගු සාකච්ඡාවක් ලබා දුන් නමුත් අදාළ කොටස් සංස්කරණය කරමින් විකාශය කළ බවයි.

(මේ අවස්ථාවේදී විත්තිකරු මාධ්‍යයට සිදු කළ සාකච්ඡාව ඇතුලත් වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විකාශය කෙරිණි)

සාක්කි විභාගයේදී විත්තිකරු පාර්ශවයෙන් අපූරු යෝජනාවක් ඉදිරිපත් කළා.ඒ එම වචනය වැරදීමකින් කියා සිටි බව විත්ති පාර්ශවයෙන් යෝජනා කළා.මගෙන් විනිසුරු වචනය පැන්නා යැයි විත්තිකරු පැවසූවා.ඕනෑම අයෙක් කතා කරන විලාසයක් තිබෙනවා.විත්තිකරු කතා කරන විට නම් , ආ ආ ආදී වචන විසි පාරක් භාවිත කර තිබෙනවා.ඒ අනුව මෙය නිකම්ම කටට ආ වචනයක් නොවෙයි.විත්තිකරු නිතරම කීවේ එය අත්වැරදීමක් කියලයි.එහෙත් එම වර්ෂයේ දෙසැම්බර් 14 වැනි දින ඔහු මෙම අධිකරණ භූමියේදීත් එවැනිම ප්‍රකාශයක් කළා.ඉන් ඔහු විසින් සිය පළමු ප්‍රකාශයම තහවුරු කළා.

ඒ අනුව ඔහු හිතා මතාම සිදු කළ ප්‍රකාශ බව ඔහු පිළිගෙන තිබෙනවා යැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේය.

නීතිපතිවරයාගේ වැඩිදුර වාචික දේශනය  ලබන 16 වැනි දිනට කල් තැබිණි.

විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.

රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය දූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් මඟින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුව්ම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.

ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.

පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා  සිය පෙත්සම් වලින්  පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවය.

මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවන් කියා සිටිති.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රංජන් රාමනායක මහතා වෙනුවෙන් නීතීඥ විරාන් කොරයා මහතා ද , නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්  ජනාධිපති නීතීඥ  සරත් ජයමාන්න මහතා පෙනි සිටියහ.



අදහස් (6)

රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක්

Kamal Monday, 06 July 2020 12:38 PM

විපක්ෂයේ ඉන්න නිසා දඬුවම් ලැබෙයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 July 2020 01:10 PM

රන්ජන් රාමනායක කවදත් කතා කළේ ගැලරියට. භාෂාවේ ස්වභාවය, අපහාස නීතිය, භාෂාව කැටිකොට ගත් කළ මෙහි ගැබ්වන අර්ථය ආදී කිසිවක් නොදැන පුද්ගලයින්ට අපහාස වෙන ආකාරයෙන් ප්‍රසිද්ධියේ කතා කළා. අද එය ඔහුටම පාරාවළල්ලක් වෙලා. සිංහලෙන් මේකට කියන්නේ... මෝඩකම කියලා. තමන්ට නැති උගත්කමක් ආරෝපණය කරගෙන තමයි ඔහු නිතරම කතා කළේ. අධිකරණය ගැන, අපහාස නීතිය ගැන, භාෂාව හසුරුවන ආකාරය ගැන, අබමල් රේණුවක තරම් හෝ දැනුමක්, අවබෝධයක් නොමැතිකම නිසා ඔහු මේ තත්ත්වයට පත් වුණා. උගත්කම හික්මීම විනය, අධ්‍යාපනය නොමැති කවර හෝ දේශපාලකයින් රන්ජන් ආදර්ශයට අරගෙන නූගත් තමන්ගේ කට පරීක්ෂා කර ගැනීමට මින් ඉදිරියට හෝ වගබලා ගැනීම වැදගත්. අධිකරණයට විනිසුරුතුමන්ලාට අපහාස වෙන ආකාරයට ඒ වෙලාවේ කතා කළත්, රටේ නීතිය ඔහු පසුපස හඹා එනබව ඔහු හරි හැටි දැන සිටියේ නෑ. එබැවින් දේශපාලකයින් තමන් නොදන්නා දේ දන්නා මෙන් කීමට යෑම මින් ඉදිරියට හෝ නොකිරීමට ප්‍රවේශම් විය යුතුයි. එය ඔවුන්ගේ පැවැත්මට ඉතා යහපත්... අනිත් කාරණය නම්, මොවුන් මේ විදියට රටේ නීතිය ගැන, විනිසුරුවරුන් ගැන, නීතිය ගැන අබමල් රේණුවක හෝ දැනීමක් නොමැතිව කරන ප්‍රකාශ නිසා රටත්, ජනතාවත් පිරිහීමට පත්වෙයි.

:       0       0

lal Tuesday, 07 July 2020 12:16 AM

"මේ අවස්ථාවේදී විත්තිකරු මාධ්‍යයට සිදුකළ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විකාශය කෙරිණි" ලංකාවේ ඇති සෙසු උසාවිවලත්, මෙසේ විඩියෝ දර්ශන සාක්ෂි ලෙස පෙන්විමට හැකිද? අද කාලේ බොහො සාක්ෂි ඇත්තේ CCTV වීඩියෝ වොයිස් රෙකෝර්ඩින් බැවින් මෙය අත්‍යාවශ්‍යයි. උසාවි වලටත් නව තාක්ෂණය ඉක්මනින් ගෙන ආ යුතුයි. මෙසේ වූ විට නඩුවල ඇති අනවශ්‍ය ප්‍රමාදත් අවම කරගත හැකියි...

:       0       0

Bamunuarachchi Tuesday, 07 July 2020 01:38 AM

රන්ජන් ගොයියා මේ චෝදනාවලට වැරදි කරු වුණොත් දෙන දඬුවම මොකක්ද කියා දැනගන්න කැමතියි. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න හේතුපාදක කරගනිමු නේද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 03:20 AM

රංජන් රාමනායක කියන්නේ කිසිම නීතියක්, අපහාස නීතියක් භාෂා පරිචයක් හෝ සංවර භාෂාවක් ගැන අබමල් රේණුවක් තරම්වත් දැනීමක් නැති කෙනෙකු බව පේනවා.. ඔහු තනිකරම කතා කරන්නේ ගැලරියටයි. නළුවකු වශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය, ගාමිණී ෆොන්සේකා ඇතුළු නළු පරපුරේ ගෞරවයට කීර්තියට මොහු කළේ විශාල හානියකි. ක්ෂේත්‍රයේ මහජන අප්‍රසාදය ඇති කිරීමට කටයුතු කළ කෙනෙක්... නීතිය හෝ භාෂාව හෝ විනය හෝ දැනීමක් නොමැති අයෙකු විනිසුරුවරුන් ගැන, අධිකරණය ගැන, රටේ නීතිය ගැන, දේශපාලනය ගැන කරන කතා ගැන මා මෙහිදී අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මෙහිදී කීමට ඇත්තේ තමන් නොදන්නා නීතිය අධිකරණය දේශපාලනය ගැන මත විවේචන නොකළ යුතු බවයි. එසේ කළවිට සිදුවන දේ ඔහුටද සිතාගත නොහැකිය. චිරාත් කාලයක් තිස්සේ මිනිසා විසින් ගොඩනගාගත් නීති පද්ධතිය තව දියුණු කරනවා නම් ඒ ගැන කටයුතු කළ යුත්තේ, කතාකළ යුත්තේ බුද්ධිමත් නීතිය දත්, සදාචාරය දත්, විනය ගැන දත් බුද්ධිමතුන්ය. රන්ජන් රාමනායක වැනි අය ඒ සඳහා සුදුසු නොවේ. ඔහු කළ කී දෙයින් රට, ජනතාව, පාසල් ළමුන් ඇතුළු බොහෝ දෙනා අපහසුතාවයට පත්වූහ. මෙවැනි දේ මතුවට සිදු නොවීමට සියලු අංශ දැන් හෝ වගබලා ගත යුතුයි.

:       0       0

Rata Perata Tuesday, 07 July 2020 06:17 AM

නීතිපතිලා, අගවිනිසුරුලා දේශපාලකයන්ගේ ගෙවල් වල ඉඳන් ලංකාවේ නීතිය හසුරුවන අය ඉන්නා අධිකරණයෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 103 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 808 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2214 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1557 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2123 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site