IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාතාලය - කුඩු ජාවාරම් මර්දන පෙළගැස්ම අගයමු

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ, බෙදා හැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමක යෙදුණු විශේෂිත මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා  කළේය. මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පිරිස් හැර රුපියල් කෝටි 180ක පමණ මුදලක් සංසරණය වී ඇති බවද සඳහන් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එම  මත්ද්‍රව්‍ය ජාලයට  සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවද ප්‍රකාශ කර ඇත.

පොලිසියට ‘හොඳක්’ අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. හොඳ අසන්නට හැකි සද් ක්‍රියාවක් කර එහි උණුසුම යෑමටත් පෙර මුළු පොලිස් දෙපාර්තමේන්තුව ගඳ ගස්සන වැඩ කරන කඩප්පුලියෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති. කොරෝනා මර්දන මෙහෙයුමේදී අනතුර ඉදිරිපිට පසු නොබා  ගිය පොලිස් දෙපාර්තමේන්තුව විසි හතර පැයේම මහ මග රැඳී සිටිමින් උපමා නැති අගනා මෙහෙවරක නිරත විය. එහෙත් එහි ගෞරවය විඳ ගැනීමටත් පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අශිෂ්ට මජර නිලධාරීන් කණ්ඩායමක් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අසූචි වළක ගිල්වා තැබුවේය.

ඉඳහිට හොඳ අහන පොලිස් දෙපාර්තමේන්තුව ඉතා මෑතක සිට ‘පොලිෂ්’ වී ඇති සෙයකි. අඟුලාන හෝටලයකට මහ රෑ පැමිණ වෙඩි තබා නීතිය දෙවඟනට අභියෝග කළ පාතාලයන් දින දෙක තුනක් ගතවීමට මත්තෙන් කුදලා ගැනීමට පොලිසිය සමත් විය. හොරණ ඉලිඹ ප්‍රදේශයේදී  ටී පනස්හය ගිනි අවියකින් වෙඩි තබා ව්‍යාපාරිකයකු ඝාතනය කර පොලිසියට කට්ටි පනිමින් සිටි පාතාලයා ද වැඩි දිනක් ගතවීමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

මහත් අභිරහසක් වූ පිළියන්දල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ පාතාලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේ නාඳුනන ඝාතකයන් හා සොරුන් සම්බන්ධව භීතියෙන් ඇළලී සිටි එම ප්‍රදේශ වාසීන් එම බියෙන් මුදවාලමිනි. අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රුවන්වැල්ල පොලිස් වසමේ රත්නාගල ඉඹුලාන ගම්මානයේ රහසිගතව පවත්වා ගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා නීති විරෝධී ගිනි අවි 8ක් ගිනි අවි කොටස් තොගයක්, උණ්ඩ, පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ පිපිරීමට  යොදා ගන්නා ඩෙටනේටර් හා ඩෙත් කෝඩ් තොගයක්ද ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරතව සිටි බව කියන පුද්ගලයකුද අත්අඩංගුවට ගැනීමට  පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වූ බවය.

පාස්කු ප්‍රහාරය සිදු වූයේ කෙසේදැයි යන්න මුළු රටම දනී. එබඳු ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණේ ප්‍රහාරයට සති ගණනාවකට එපිටදීය. එහිදී ප්‍රහාරය එල්ලවන දිනය, වේලාව. ස්ථාන මෙන්ම ප්‍රහාරකයන්ගේ සියලුම තොරතුරුද ඔවුන්ගේ දුරකථන අංක ආදී සියල්ලම කල් ඇතිව අනාවරණය වී තිබිණි. එහෙත් ප්‍රහාරය වළක්වා ගැනීම පිණිස ගත් කිසිදු පියවරක් නොවීය. වළක්වා ගත හැකිව  තිබූ ප්‍රහාරය එල්ල විය. සිදුවූ ජීවිත හානිවලට මෙන්ම දේපොළ හානිවලට ආරක්ෂාව බාර සියලු ලොක්කන් වගකිව යුතුය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සසඳනවිට පොලිසිය බොහෝ කඩිසර බවක් පෙන්නුම් කරමින් සිටී. අපරාධකරුවෝ පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඉතා සංවිධානාත්මකවත්, රහසිගතවත් කටයුතු කරති. එය සත්‍යයකි. රටක ශක්තිමත් බුද්ධි අංශයක් පැවැතිය යුත්තේද එහෙයිනි. ඔවුන් සොයා දෙන බුද්ධි තොරතුරුවලට අනුව විමර්ශනය කිරීම අනෙක් නිලධාරීන්ගේ වගකීමය. ඉක්ම යන මේ මොහොත වන විට එය සිදුවෙමින් පවතින බව පෙනේ.  එය යහපත් ප්‍රවණතාවකි.

විදේශයන්හි සැඟ වී සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මසක කාලයක් ලබා දී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත්දා වාර්තා කළේය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලි 40ක් පමණ හඳුනා ගැනීමට පොලිසිය සමත් වූ බව සඳහන් ප්‍රවෘත්තියක්ද අප පුවත්පත වාර්තා කළේය.

 මෙම පාතාල කල්ලි අතරින් කණ්ඩායම් 25 ක් පමණ වඩාත් බලවත් ලෙස පාතාල ක්‍රියාකාරකම්වල නිරතව ඇති අතර  අනු කල්ලි 15ක් පමණ ඔවුන් හා සම්බන්ධ බවත් මෙම කල්ලිවලට අයත් 200ක පමණ පිරිසක් සිටින බවත් පොලිසිය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙම හඳුනා ගැනීම් ඉතා යහපත්ය. ඊළඟට අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක වීමය. එය තවත් පමා කළ යුතු නැත.



අදහස් (7)

පාතාලය - කුඩු ජාවාරම් මර්දන පෙළගැස්ම අගයමු

බද්රානි Friday, 31 July 2020 07:38 AM

අනේ යන්න මහත්තයෝ යන්න.. නිකම් මෙතන බයිලා ගහන්නේ නැතිව.. මේ දවස් වල හොඳටම පොලිෂ් වෙලා තියන පොලිසියට මේ මාධ්‍යයෙන් ඔළුගෙඩි පලන දවසට තමයි මේ රටේ ජනතාව පොලිසියට සුබපතන්නේ..

:       138       49

සපුමල්.(Sapumal.)Friday, 31 July 2020 11:40 AM

අනේ ...!!! මේ තරම් වටිනා කරුණු ඇතුළත ලිපියකට භද්‍රානි මහත්මිය දී ඇති අගය කිරීමක තරම... භද්‍රානිගේ ළපටි මොළයට ඒ කරුණු කෙසේ වටහා ගන්නද? මුඩුක්කු වචන සෙට් එක, වැදගත් නැති වැදගැම්මක් නැති භාෂා විලාශය දුටුවිට මේ තීරය කිලිටි වී යයි. එහෙත් ඇය සිතන්නේ තමා තරම් දන්නා කෙනෙක් නැති තරම්ය කියායි. අප්පිරියාවේ බැරි අදහස් සහ භාෂාවේ විලාශය දුටුවන්ගේ සිත් කළ කිරවීම ඇති කරයි. එහෙත්, එයද ඇයට සතුටක් බව ඇයගේ පහත් මානසිකත්වය කියා සිටියි.

:       0       124

Raveendra Friday, 31 July 2020 03:34 PM

පළමුව අප කතුවැකිය සඳහන් අර්ථවත් විග්‍රහයට කතෘතුමාට අපගේ ප්‍රණාමය.. අපායක වුවත් විනයක් හික්මීමක් අවංකකම, තම යුතුකම් නිසිලෙස ඉටු කරන්නේ නම් අපායද සුරපුරයක් වීම යමරජුටවත් වැළැක්විය නොහැකිය.. එලෙසම දීව්‍යලෝකේ වුණත් විනයක්, හික්මීමක්,, අවංකකම නොමැති නම් එය අපායක් වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකි බව තේරුම් ගැනුමට කලනය, අනුකලනය හෝ කාල තරණය පිළිබඳව දැනුම අවශ්‍ය නැත. කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා පිළිබඳව දියවන්නාව මීහරක් පට්ටියෙන්ම ආරම්භ කිරීම මෙන්ම එමගින් සියලුම පුරවැසියන්ට ඉතා හොඳ ආදර්ශයක් ලබාදීම මගින් මෙම ගැටලුවට විසඳුම් ඉතාමත්ම කෙටි කාලයකින් සොයාගත හැකි බව අමුතුවෙන්ම කිවයුතුද යන්න ගැටලුවකි.. දැනට " සියලුම පුරවැසියන්ගේ සාපයට පාත්‍රවී පරයින්ගෙන් පිරීඉතිරි ඇති දියවන්නාව අසුචිවල " තමන් උපන් තමන්ගේ මාතෘභූමියට හදවතින්ම ආදරය කරන අවංක බුද්ධිමතුන් (පොත පතේ පමණක් උගතුන් නොව) තෝරා ගැනීමෙන් දියවන්නාව ලෝකයේ තිබෙන සුන්දරම දිය පොකුණ බවට පත්කිරීමට අපට හැකි වෙනු නියතයි.

:       292       216

සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 July 2020 04:24 PM

ඉතා වටිනා කරුණු ඇතුළත් සාරගර්භ ලිපියක්... කියවීමට ලැබීම පවා සතුටට කරුණක්. බොහෝදෙනා බොහෝ විට දකින්නේ පොලිසියේ වරදම පමණයි. එහෙත් නාකොටික් වැනි වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තේ ද පොලිසියෙන්මයි. අර වර්ගයේ සතුන් ටිකක් පොලිසියට ගිය නිසා පොලිසියේ තත්ත්වයද ඒ සතාගේ තත්වයටම වැටී ගියේය. එහෙත් අවංක නිලධාරීන් එම සතුන් ටික අල්ලා නීතියට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සැබවින්ම අගනා දෙයක් නොවන්නේද? කුඩ්ඩන් පාතාලයින් පොලීසිය තුළට රිංගාගෙන සිටීම අල්ලා ගැනීම සුළුපටු දෙයක් නොවේ. මේ තත්ත්වය අල්ලන්නේ නැතුව දිගටම තිබුණා නම් අපට රටක් කියා දෙයක් ඉතිරි වන්නේම නැත. එබැවින් මේවා ඇල්ලූ නිලධාරීන් සිදුකළේ සුළුපටු සේවයක් නොවේ. අවංක නිලධාරීන් තවතවද උනන්දු වී ඉඩම් පාතාලයන් ඇතුළු මැරයන්ගෙන් මේ රට බේරාගැනීමට කටයුතු කිරීම තවදුරටත් වැඩිකළ යුතුයි. පොලිසියට නැති වූ ගරුත්වය අවංක නිලධාරීන් විසින් නැවත ඇතිකොට මහජන සුබසිද්ධිය සැලසීම කළ යුතුයි. සුළු පිරිසක් කළ වැඩවලට අවංක නිලධාරින් හට දොස්කීමට තරම් අපි අකාරුණික නොවෙමු...

:       0       111

බද්රානි Friday, 31 July 2020 09:17 PM

කුමන වර්ගයක කුක්කෙක් දාලා මෙතන උඩු බිරුවත්, බුරද්දී කටහඬින් හඳුනා ගන්න පුළුවන් ඒ කාගේ හෝ සුරතල් කුක්කෙක් බව... "සුපුමල්, රවීන්ද්‍ර" මහත්තයෝ? කුමන වේශයකින් පැමිණියත්, කොට්ටෝරුවන්ගේ හොට, කෙසෙල් ගහේ පැටලෙන බව, දැනගත්තොත්, ඒ හොඳටම ඇති? කොට්ටෝරුවෙක් නම්, කමක් නැහැ, එ්ත් මෙයා මයිනෙක්නේ?

:       0       0

Anuruddha Saturday, 01 August 2020 10:30 AM

ඇල්ලූ පමණින් මෙම කාර්යය ඉවර නැහැ. උසාවි දමා නඩු අසා අලගිය, මුලගිය තැන් හොයා සියලුම දෙනාට නීත්‍යානුකූලව උපරිම දඬුවම් දෙන්න ඕනේ. නිකන් උසාවි දමා නඩු අලකරගෙන නඩු විසිවන විදිහට කටයුතු නොකළ යුතුයි.

:       0       2

janahitha Tuesday, 04 August 2020 03:48 AM

මත්ද්‍රව්‍ය පසුපස සිටින දේශපාලන විනාශ කරන තුරු මේ උවදුර බැහැර කල නොහැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 638 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 275 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 730 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 744 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 291 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 475 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site