IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හරීන් රැකගන්න විපක්ෂය තානාපතිවරුන්ට කියයි

ගෙවුණු සතියේ රටේම කතාබහට ලක්වූයේ කොරෝනා ගැනය. අලුත් අවුරුද්දෙන් පසුව කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබේ. මේ පොකුරට අලුත් නමක්ද ලැබුණේය. ඒ ‘‘අලුත් අවුරුදු පොකුර’’ යනුවෙනි. කෙසේ වුවද මේ වෙන  විට රටම කැළඹීමට පත්ව සිටින බවක් ද පෙනෙන්නට තිබේ.


කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගිය සතියේ රටේම පාසල් වැසුණේය. සෞඛ්‍ය නිර්දේශ අනුව ඒ දක්වා ද පාසල් පැවැත්වූයේ පන්තියකට ළමයින් 15 ක් පමණක් ගෙන්වීමෙනි. එහෙත් වයඹ සහ සබරගමුව පාසල් පමණක් වසා දමන්නට මුලදී තීරණය විය. එහෙත් දෙමාපියන් බොහෝ දෙනකු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද විමසා සිටියේ මෙතරම් අර්බුදයක් තිබිය දී පාසල් වසා නොදමන්නේ මන්දැයි යනුවෙනි. අධ්‍යාපන බලධාරීන් විෂය භාර ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ද මේ බව දන්වා තිබිණි.


සඳුදා දිනය පොහෝ දින නිවාඩු දිනයක් නිසා ගෙවුණු සතියේ කැබිනට් මණ්ඩලය රැස්වුණේ අඟහරුවාදා හැන්දෑවේය. කැබිනට් රැස්වීම ආරම්භයේදීම ජී.එල්. පාසල් ප්‍රශ්නය මතු කළේය. ඔහු කියා සිටියේ පවතින අවදානම් තත්ත්වය මත පාසල් වසා දමන ලෙස දෙමාපියන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙන බවය. සෞඛ්‍යය බලධාරීන්ද ඒ බව ප්‍රකාශ කර ඇතැයි ජී.එල්. කීවේ පාසල්වල තත්ත්වය ද විස්තර කරමිනි. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද ජී.එල්. ගෙ අදහස අනුමත කළේය. ඔහු කීවේද මේ වෙලාවේ හැටියට ගතයුතු තීන්දුව දින කිහිපයක් පාසල් වසා දැමීම බවය. ජනාධිපතිවරයා ද එය අනුමත කළේය. ජනාධිපතිවරයා කීවේ සිකුරාදා වනතෙක් පාසල් වසා ලබන සතියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති අන්තයේ සාකච්ඡා කර තීන්දු කරන ලෙසය.


පාස්කුදා ප්‍රහාරයත් සමග බුර්කාව තහනම් කරන්නැයි සමාජයෙන් ප්‍රබල ඉල්ලීමක් මතුවිය. ඒ ගැන වාද විවාද ඇති වූ නමුත් යෝජනාව දිනෙන් දින නොව මාසයෙන් මාසය කල් ගියේය. සරත් වීරසේකර ඇමැතිවරයා බුර්කාව තහනම් කළ යුතු බවට ප්‍රබල හඬක් නැගූ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මෙයට සති ගණනාවකට කලින්ය. එය දිනෙන් දින කල්තියා මිස අනුමත නොවීය. ඉකුත් සතියේ එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට නැවත ආවේය. සරත් වීරසේකර කීවේ බුර්කාව තහනම් කළ යුතුම බවය. ඒ සඳහා ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඔහුගේ සහායට අදහස් දැක්වූහ. ඒ අනුව ඔහුගේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි. බුර්කාව තහනම් කිරීමේ නීති කෙටුම්පත සකස් කිරීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන්නට තීරණය විය.


මැතිසබේ රැස්වීම් සීමාවෙන ලකුණු


පාර්ලිමේන්තුවට යළි රැස්වීමට ඇත්තේ අනිද්දාය. අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි නම් ඒ සතිය පුරා පැවැත්වේ. එහෙත් කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් ද සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත. එහෙත් එය තීරණය වන්නේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදීය. පක්ෂ නායක රැස්වීම සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබිණි.


මෙවර මැයි 1 වැනිදා යෙදී තිබුණේ ද සති අන්තයටය. එසේ වුවද වෙනදා මැයි 1 වැනිදා පැවැත්වෙන මැයි රැලි පෙළපාලි සංදර්ශන කිසිවක් මෙවර නැත. ආණ්ඩුවත් විපක්ෂයත් මෙවර මැයි රැලි සෞඛ්‍යය උපදෙස්වලට අනුව පවත්වන්නට මුලින් තීරණය කර තිබිණි. එහෙත් කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් එයද අවලංගු කරන්නට දේශපාලන පක්ෂවලට සිදුවිය. ඒ නිසා මෙවර මැයි දින දේශපාලන පුරාජේරුවලින් තොරවම ගෙවී ගියේය.


කොවිඩ් වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ ආණ්ඩුවද දැඩි පීඩනයකට ලක්ව සිටින බව පෙනේ. දිගින් දිගටම රෝගීන් වාර්තාවීම වැඩිවීමත් රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමත් බරපතළ ගැටලු‍වක් වී තිබේ. ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවිය. කොවිඩ් වසංගතය පාලනය කිරීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් කළේය. මේ වෙනකොට පළාත් රැසකින් කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. සෞඛ්‍ය අංශ කියලා තියෙන්නෙත් කලින් දෙවතාවටම වඩා මෙවර වැඩි අවධානයක් යොමු කරන්න කියලයි. මේ තත්ත්වය ගැන සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් දිස්ත්‍රික් ලේකම්වරුත් දැනුවත් කරල තියනවා. මේක පාලනය කරන්න පුළුවන් සෑම පියවරක්ම රජයක් විදිහට අපි අරගෙන තියෙනවා ජනතාවත් මේ සම්බන්ධයෙන් වඩාත් දැනුවත් විය යුතුයි. ඒ ගොල්ලත් පරිස්සම් විය යුතුයි. ජනාධිපතිවරයා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන මැති ඇමතිවරුන්ට ද දිස්තික්කවල සම්බන්ධීකරණ කටයුතු කිරීමේ වගකීම බාරගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.


අනතුරුව කතා කළේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිය. කොරෝනා වයිරසය පාලනයට සෞඛ්‍ය අංශවල සූදානම ගැන ඇමති පවිත්‍රා පැහැදිලි කළාය.


බන්දුල ආචාර්ය මහාචාර්යවරුන්‍් එක්ක කැබිනට් එකට


කැබිනට් රැස්වීම අවසානයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් ද කැඳවාගෙන ආවේය. ඒ නිකම්ම නොවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙන ලද නැනෝ මාස්ක් ද රැගෙන ය. එය විෂබීජ නාශක මාස්ක් එකකි. ඒ ගැන පැහැදිලි කළේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ය. නැනෝ මාස්ක් වාණිජ මට්ටමින් ප්‍රවර්ධනය කරන්නට ගෙන ඇති පියවර ගැන ද බන්දුල පැහැදිලි කෙළේය. ජනාධිපතිවරයා කිව්වේ සෞඛ්‍ය ඇමැතිවරියත් සමග එක්ව එම කටයුතු දිගටම කරගෙන යන ලෙසය.


පැය තිස් හතරකට ලංකාවට ආ චීන ආරක්ෂක ඇමැති


චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ග් ගිය අඟහරුවාදා රාත්‍රියේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඔහු සමඟ එරට ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීහු පිරිසක්ද පැමිණ සිටියහ. අඟහරුවාදා රාත්‍රී 11ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ජෙනරාල් ෆෙන්ග් නවාතැන් ගත්තේ ගාලු‍ මුවදොර පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයේය.


නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂක ඇමතිවරයා හමුවූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පමණය. බදාදා උදේ ජනාධිපති කාර්යාලයට පැමිණි චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. කොරෝනා ප්‍රශ්නය හේතුවෙන් දෙදෙනා ආචාර සමාචාර කර ගත්තේ අලුත්ම ක්‍රමයකටය. මේ හමුවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද සහභාගි විය. දෙරටේ මිත්‍රත්වය මෙන්ම චීන ආයෝජන මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීනය හැමදාමත් ශ්‍රී ලංකාවේ මිතුරකු බවත් අවශ්‍ය සෑම සහායක් ම දීමට චීනය සූදානම් බවත් චීන ආරක්ෂක ඇමැතිවරයා කීවේය. චීනය ලබා දෙන සහාය ගැන ජනාධිපතිවරයාගේ ද ප්‍රශංසාව පළ විය.


ජනාධිපතිවරයා සමග පැවැති හමුවෙන් පසුව චීන ආරක්ෂක ඇමැතිවරයා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමු විය. අගමැතිවරයා සමඟ මෙම හමුවට විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. දෙරට අතර පවතින දීර්ඝකාලීන සුහදතාව ගැන අගමැතිවරයාත් චීන ආරක්ෂක ඇමතිවරයාත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ උදාහරණ ද සඳහන් කරමිනි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නවීකරණ කටයුතු සඳහා සහාය ලබාදීමට චීනය සූදානම් බව ආරක්ෂක ඇමැතිවරයා කීවේය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක සෙසු චීන ආයෝජන ගැනද එහිදී සාකච්ඡා විය.


නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව චීන රජයෙන් මෙරටට ආ ඉහළම තැනැත්තා එරට ආරක්ෂක ඇමතිවරයා ය. ඔහු පැය තිස් හතරක සිය නිල සංචාරය නිමවා බ්‍රහස්පතින්දා උදේ අටයි පනස් පහට පමණ චීන රජයේ විශේෂ ගුවන් යානයකින් චීනය බලා පිටත්ව ගියේය.


ප්‍රසන්නත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සොයයි


ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව ගිය සතියේ රැස්වුණේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී වැඩි කතා බහට ලක් වුණේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු‍වය. ඒ නිසා අලු‍තින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම ගැන සාකච්ඡා විය. ප්‍රසන්න ඇසුවේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන කීයක් අවශ්‍ය වන්නේද යනුවෙනි. දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීවේ අඩුම තරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ඉක්මනින්ම ඇති කළ යුතු බවය. වැරැල්ලවත්ත, කටුනායක සහ මීරිගම යන ප්‍රදේශවල අලු‍තින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ඇති කළ යුතු බව ඔහු කීවේය. එම ප්‍රදේශවල ඇඟළුම් කම්හල් තුනක ගොඩනැගිලි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා දීමට සූදානම් බව ප්‍රසන්න කීවේය.


අයි සි යූ ඇඳන් වැඩි කරන්න පවිත්‍රා මහ රෑ කොතලාවල රෝහලට යයි.


කොවිඩ් ව්‍යාපෘතියත් සමග රෝහල්වල දැඩිසත්කාර ඒකක සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මේ වනවිට මතුව තිබේ. මේ නිසා සෞඛ්‍ය අංශවලට දැඩි පරිශ්‍රමයක් දරා දැඩිසත්කාර ඒකකවල ඇඳන් ගණන වැඩි කරන්නට සිදුව තිබේ. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගිය බ්‍රහස්පතින්දා රාත්‍රි 10ට පමණ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලට ගියාය. එහිදී සැලසුම් කළේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට තිබෙන ඇඳන් ගණන 38 දක්වා වැඩි කිරීමට ය. මීට අමතරව කාතන්කුඩි රෝහලේ, කඹුරුගමුව රෝහලේ සහ මිනුවන්ගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට ද එදින රාත්‍රියේ උපදෙස් දුන්නාය.


පළාත් සභා අවුල ලිහන්න පක්ෂ නායකයෝ යළි රැස් වෙති.


පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර ද තවමත් පොදු එකඟතාවක් නැත. ඒ ගැන සාකච්ඡා කරන්නට ඉකුත් දහනව වැනිදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ආණ්ඩුව කැඳවා තිබුණද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඊට සහභාගී වීම හේතුවෙන් පක්ෂ නායකයෝ කිහිප දෙනෙක් එම රැස්වීම වර්ජනය කළහ. ඒ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පිරිසකි. ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෙනම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ය. ඒ අනුව පක්ෂ නායකයෝ අනිද්දා හවස හයයි තිහට අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති. පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පවත්වන්නට පක්ෂ නායකයින්ගේ එකඟතාව ඇත. එහෙත් ගැටලු‍ව වී ඇත්තේ එකම ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමය. ඉකුත්දා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම යෝජනාවට පක්ෂව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු යෝජනාවක් සම්මත කර ගත් නමුත් පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඒ සම්බන්ධයෙන් තවමත් ඇතිව තිබෙන බවක් පෙනෙන්නට නැත.


හරින් රැකගන්න වෑයමක්


හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ දිනවල සිටින්නේ රෝහල්ගතවය. ඔහුට කරන ලද වෛද්‍ය පරීක්ෂණ කිහිපයකම ප්‍රතිඵල නිකුත් වූ අතර එකක් angiogram පරීක්ෂණයක් වූ අතර අනෙක MRI පරීක්ෂණයක් විය.
පරීක්ෂණ දෙකෙහිම වාර්තා හිතූ තරම් යහපත් වුණේ නැත. එනිසාම බදාදා ඔහුට හදිසි සැත්කමක් කළ යුතුව තිබිණි.


හම්බන්තොට පැවැති ජංගම සේවයකට ගොස් සිටි සජිත් සඳුදා පෙරළා පැමිණි වහාම හරීන්ගේ සුවදුක් බලන්නට ගියේය.


“නීතිමය කටයුතු සියල්ල හරියටම වෙනවා. සෞඛ්‍යමය වශයෙන් ඔයාව ශක්තිමත් වෙන්න ඕන. මෙච්චර සීරියස් තියෙද්දිත් ඔයා ගොඩාක් වැඩ කළානේ.”‍ සජිත් කීවේ දිනමු වැඩසටහන ඇතුලු‍ බොහෝ කටයුතුවලදී හරීන් කළ කැපවීම සිහිපත් කරමිනි. “සර්, හරීන් සාමාන්‍යයෙන් එක්සසයිස් කරලා ෆිට්නස් තියාගෙන ඉන්න කෙනෙක්. මොන වැඩේ අස්සේ හරි ජිම් එකට යනවා. ක්‍රිකට්, බැට්මින්ටන් ගහනවා. මේක හිතාගන්න බෑ”‍ මනූෂ කීවේය.


ඒ අතර සජිත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදෙමින් හරීන්ගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ අතර ඔවුන් හරහා හරීන්ට උපදෙස් දීමට ද අමතක නොකළේය.
ඊට අමතරව සජිත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන් රැසක්ම සම්බන්ධ කරගනිමින් හරීන්ගේ නීතිමය කටයුතු පිළිබඳව ද සොයා බැලීය.


අඟහරුවාදා රාත්‍රියේද සජිත් හරීන් බලන්නට ගිය අතර ඔහු සමග තලතා අතුකෝරාල ද එම ගමනට එක්වූවාය.


“තානාපතිවරුන් කීපදෙනෙක්ම මාව මුණගැහෙන්න එපොයිමන්ට් ඉල්ලු‍වා. හෙට උදෙයි හවසයි අපි මුණගැහෙනවා. මේ දේශපාලන පළිගැනීම් ගැන අපි කතා කරනවා”‍ සජිත් හරීන්ට කීවේය.
බදාදා පක්ෂ නායක හමුවේදී සම්පූර්ණයෙන්ම කතා කළේ ආණ්ඩුවේ මර්දනය සහ හරීන්ට එල්ලවී ඇති තර්ජනය ය.


“මේක බරපතළ තත්ත්වයක්. හරීන්ට මනූෂට වගේම පොදුවේ විපක්ෂයට එල්ල වෙන අනතුර සුලු‍පටු නෑ. හරින්ලා මනූෂලා කතා කළේ අපි හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.”‍ සජිත් කීවේය.
පක්ෂ නායකයෝද ද එම අදහස අනුමත කළහ.


අනතුරුව සජිත් විදෙස් තානාපතිවරුන් හමුවිය. යුරෝපා සංගමයේ තානාපති, ප්‍රංශ තානාපති, ඉතාලි තානාපතිනි, ජර්මන් තානාපති, රුමේනියානු තානාපති යන රාජතාන්ත්‍රික නිලධාරීන් පෙරවරුවේ හමුවූ සජිත් කැනේඩියානු මහ කොමසාරිස් ස්විට්සර්ලන්ත තානාපති, නෝර්වේ තානාපති, අැමෙරිකා එක්සත් ජනපදය තානාපති, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස හවස්වරුවේ දී හමුවිය.


”‍මේ කොරෝනා ව්‍යසනයෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා ලෝකයෙන් ඉල්ලන්න බෑ. මොකද ලෝකෙම මේ ප්‍රශ්නය එක්ක ඉන්නේ අමාරුවෙන්. ඒත් මේ වෙනකොට ලංකාවේ අවදානම වැඩියි. ඒ නිසා කොරෝනා කළමනාකරණයට අවශ්‍ය සහය දෙන්න”‍


සජිත් ඔවුන්ට කීවේය.


විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ඉතා පැහැදිලි ලෙස තානාපතිවරු හමුවේ තැබූ සජිත් විපක්ෂයට එරෙහිව ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ ගැනද මෙහිදී කීවේය.


“ආණ්ඩුව විපක්ෂය මර්දනය කරනවා කියන කතාවේ ඇත්තක් තිබේද?” තානාපතිවරයෙක් සජිත්ගෙන් ඇසුවේය.


“ඔව්, උදාහරණයකට මගේ පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානියා හරින් ප්‍රනාන්දු. එතුමව අත්අඩංගුවට ගන්න උත්සාහයක් තියෙනවා.”‍ හරීන් මනූෂ කතා කළේ පාස්කු කොමිසමේ සාක්ෂි මත පදනම්ව බවත්, ඒ සියලු‍ කරුණු වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනීඉන්න බවත් ඔහු කීවේය. ඒ ගැන හරීන්ගෙන්, මනූෂගෙන් ප්‍රශ්න කරනවානම් පක්ෂයේ නායකයා හැටියට තමන්ගෙනුත් ප්‍රශ්න කරන්න අවශ්‍යයි කියා සජිත් කීවේය.


සජිත්ගෙන් හෙළිදරව්වක්


ආණ්ඩුව බිලියන ගාණක් වියදම් කොට හෙලිකොප්ටර් ගේන්න යන බව සජිත්ට සැලවිය.


ඇ​ෙමරිකානු ඩොලර් ලක්ෂ හත්සිය විස්සක් වියදම් කොට රුසියාවෙන් හෙලිකොප්ටර් හතරක් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ හෙලිකොප්ටර් ගැන්වීමටද ජනතාවට අවශ්‍ය කොරෝනා එන්නත් ටික ලබාදීමට දැයි ආණ්ඩුව දැඩි ව කල්පනා කළ යුතු බවත් සජිත් කීවේය. රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත විය යුතු බවත් එහෙත් මේ ව්‍යසනකාරී මොහොතේ ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ආණ්ඩුව කඩිමුඩියේ, හෙලිකොප්ටර් සහ හමුදා වාහන ඇණවුම් කිරීමේ අරමුණ කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.


“හම්බන්තොටට විකිරණ නැවක් ආවා කියලා ඔබතුමා කල්තියාම කීවා. එහෙම නොකියන්න මහා විනාශයක් රටට වෙනව. අද මේ තරම් ජනතාව අසරණ වෙලා. ආණ්ඩුව හෙලිකොප්ටර් ගේන්න යනවා.”‍ සජිත් සමග එහෙම කීවේ ගයන්ත ය.


“විපක්ෂයක් අවශ්‍ය අවදියෙන් ඉන්න මිසක් නිද්‍රාශීලීව ඉන්න නෙවේ. ඒකයි අපි නූතනවාදී විපක්ෂය කියන්නේ”‍ සජිත් කීවේය.


“කකුලෙන් අදින අයට යන්න කියලා ඔබතුමා සැර කතාවක් කරලා තිබුණා”‍
එහෙම කීවේ සරත් ෆොන්සේකා ය.


“එහෙම කියපු එක හොදයි”‍ ඉම්තියාස් කීවේය.
“හැබැයි සමහරු ඒක වැරදියට අරගෙන”‍


නලින් බණ්ඩාර කීවේය.


“සමහරු ඒක විකෘති කරලා තිබ්බා. මම කීවේ කකුලෙන් අදින අයට යන්න කියලයි. අපි කරන්නේ කොන්දේසි විරහිතව ජනතා සේවය. ඉතින් මා එක්ක ඉන්න හැමෝම එකම අරමුණකින් ඒ වෙනුවෙන් කැපවෙනවා. සමගි ජනබලවේගයේ සියලු‍ දෙනා මට විශ්වාස යි. එහෙම අයට මම කියපු දේ අදාළ නෑ. ඒ නිසා ඒක අදාළ අය දා ගත්තදෙන්”‍ සජිත් උත්තර දුන්නේ සිනාසෙමිනි.


එජාප නියෝජ්‍ය නායක මහා සංඝරත්නය බැහැදකියි

 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී ප්‍රධාන සංඝනායක හිමිවරුන් කීප දෙනෙක්ම බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය. එහිදී හිටපු ජනාධිපතිවරයා ‘කොහොමද රුවන්’ යනුවෙන් ඉතා සුහදව කතා කළ අතර හිටපු ජනාධිපතිවරයා එහිදී කීවේ ‘රුවන් හොඳ රාජ්‍ය ඇමැතිවරයකු’ වූ බවය.


ඉන් අනතුරුව රාමඤ්ඤ මහ නිකායේ මකුලෑවේ විමල මහ නායක හිමියන් සහ මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. දැනට රෝහල් ගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් ද විමසා බැලීය.


රුවන් විජයවර්ධන මහතාගේ මාමා වූ දේවේන්ද්‍ර සේනානායක මහතාගේ අභාවයෙන් හත් දවසේ දානමය පිංකම් මාලාව වුඩ්ලන්ඩ් මන්දිරයේදී පැවැත්වුණි. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වී සිටියේය.

 

 

-ගජබා-

 



අදහස් (0)

හරීන් රැකගන්න විපක්ෂය තානාපතිවරුන්ට කියයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site