IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජපක්ෂ සහෝදරයන් තිදෙනා සහ ජනපති අතර අවසන් මොහොතේ සාකච්ඡාව

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සති ගණනක් තිස්සේ කළ සාකච්ඡා ගිය සතියේ අවසන් වූයේ ගෝඨාභයට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීරණය කිරීමෙනි.


මේ සම්බන්ධ සාකච්ඡා වට ගණනාවක් ගිය සති අන්තයේද පැවැත්විණි. ඉන් ප්‍රධානම තැනක් ගත්තේ ගිය සතියේ සෙනසුරාදා රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමයි. මධ්‍යම කාරක සභා රැස්වීමට එන්නට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂවරුන් තිදෙනා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඇල්පිටියේ පැවැති ශ්‍රීලනිප ගාලු දිස්ත්‍රික් සමුළුවට සහභාගි වූ ජනපති මෛත්‍රී රැස්වීම අවසන් වූ වහාම ජනාධිපති කාර්යාලයට පැමිණියේ එම හමුව හේතුවෙනි. එහිදී ජනාධිපතිවරයාත්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන තිදෙනාත් විශේෂ සාකච්ඡාවකට එක්වූහ. මාතෘකාව වූයේ ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ශ්‍රීලනිපයේ සහාය ලබාගැනීමය. එතෙක් පැවැති ගැටලු හා ඉදිරි සැලසුම් ගැන ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වය එක්ව කටයුතු කරන්නට තීරණය විය. ඒ අනුව බදාදා හෝ බ්‍රහස්පතින්දා පමණ වනවිට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නටත්, අනුරාධපුරයේ බදාදා පැවැත්වෙන ගෝඨාභයගේ පළමු රැලියේ වේදිකාවට ශ්‍රීලනිපයෙන් නියෝජිතයන් සහභාගි කරවන්නටත් එහිදී තීරණය කර තිබිණි.
ජනාධිපති කාර්යාලයේ රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජනපති නිල නිවෙස වෙත වහා පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද කැඳවා තිබූ බැවිනි. මධ්‍යම කාරක සභාවට ආ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ සමඟ අත්සන් කරන්නට යන ගිවිසුම් හා ඊට පෙර රාජපක්ෂවරුන් තිදෙනා අතර පැවැති සාකච්ඡාව ආදිය ගැන කතා කර තිබිණි. පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එදින අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද එය තවදුරටත් ප්‍රමාද කරන්නට සිදුවූයේ තවත් කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීමට තිබෙන බව පවසමිනි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේදී ආණ්ඩුකාරවරුන් කොළඹට කැඳවූයේ ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙනි. නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල් හැර, අනෙක් සියලු ආණ්ඩුකාරවරු ඊට සහභාගි වූහ. ආණ්ඩුකාරවරුන්ට අමතරව සහභාගිවූයේ ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලකය. සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදී කුමක් කළ යුතුද යන්න ගැන විවෘතව සිය අදහස් ඉදිරිපත් කරන ලෙසය. ගෝඨාභයට උදව් කළ නොහැකි බවත් සජිත්ට උදව් කළ යුතු බවත් ශිරාල් ලක්තිලක කීවේය. මෛත්‍රී ගුණරත්න සහ කීර්ති තෙන්නකෝන්ද කතා කළේ සජිත්ට සහාය දැක්වීමේ අදහස ඉදිරිපත් කරමිනි. පොහොට්ටුව සමග එකතුවීමට තිබෙන බාධාවන් ගැන පේෂල ජයරත්න කතා කළේය. අනතුරුව කතා කළේ සරත් ඒකනායකය. සියලු කතාවලට සවන්දී සිටි සරත් ඒකනායක අනතුරුව කතා කළේය. සජිත් ප්‍රේමදාසට කවුරු උදව් කළත් මට නම් උදව් කරන්න බැහැ. අපිට යූඇන්පියට උදවු කරන්න බැහැ. අනිත් අය ඕන තීන්දුවක් ගන්න. මම නම් ඒකට නැහැ. අපි උදව් කරනවා නම් කරන්න ඕන ගෝඨාභය රාජපක්ෂට. ජනාධිපතිතුමා ගන්න තීන්දුවත් එක්කයි මම ඉන්නෙ. සරත් ඒකනායක කීවේය.   
ශ්‍රීලනිපයෙ සහාය ගෝඨාභයට ලබාදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ගිය සතියෙද සාකච්ඡා හමුවීම් රැසක් පැවැත්විණි. ජනාධිපතිවරයා ගිය අඟහරුවාදා රාත්‍රියෙ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හදිසියෙම කැඳවූයේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම වෙනුවෙනි.   


දේශපාලන මණ්ඩලය හරියටම රාත්‍රී 9.30ට රැස්විය. ජනාධිපතිවරයාද ඇතුළුව 14 දෙනෙක් ඊට සහභාගි වූහ. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, සරත් ඒකනායක, ෂාන් විජයලාල් ද සිල්වා, පේෂල ජයරත්න, වීරකුමාර දිසානායක, ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, ආචාර්ය සුරේන් රාඝවන්, මියුරු භාෂිත ලියනගේ ඊට සහභාගි වූ පිරිසය. සාකච්ඡාව කැඳවා තිබුණේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහාය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රචාරක රැලිය පසුදින අනුරාධපුරයේදී පැවැත්වෙන බැවින් ඊට පෙර ශ්‍රීලනිපය අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබිණි.   
සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා දයාසිරිට දැනුම් දුන්නේ සාකච්ඡා වන සියලු දේ සටහන් කරගන්නා ලෙසය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ මම අද කරන ප්‍රකාශය ඉතා වැදගත්. ඔයාලගේ ෆෝන්වලින් රෙකෝඩ් කර ගත්තත් කමක් නෑ. කියාය. ඒ අනුව දයාසිරිද සිය ජංගම දුරකථනයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රෙකෝඩ් කරගත්තේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් උඩින් තියෙන දේශපාලන මණ්ඩලය මම අද කැඳෙව්වෙ විශේෂ තීන්දුවක් ගන්නයි. මම තනතුරු වරප්‍රසාද බලාගෙන දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි. චීන කොමියුනිස්ට් පිලෙන් දේශපාලනය පටන් අරගෙන මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට ආවා. 2014 දී මම ගත්ත තීන්දුව මහ මුහුදට පැන්න වගේ වැඩක්. මගේ සහෝදරයන් සියලු දෙනා මට ඒ වෙලාවෙ කිව්වේ ඒ තීන්දුව ගන්න එපා කියලයි. ඒත් මගේ බිරිඳත් දරුවොත් මට කිව්වෙ ඒ තීන්දුව ගන්න කියලයි. මම ඒ තීන්දුව අරගෙන ජනාධිපති වුණා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න පක්ෂයෙ මධ්‍යම කාරක සභාව තීන්දු කළා. සේනාධිනායකයා විදියටත් ආරක්ෂක ඇමැති විදියටත් පොලිසිය භාර ඇමැති හැටියටත් මම වේදිකාවේ කතා කරන එක හොඳ නැහැ. සාධාරණ නිදහස් ඡන්දයක් තියන්න අවශ්‍ය වාතාවරණය හැදීම මගේ යුතුකමක්. ගෝඨාභය මහත්තයට සහාය දෙන්න මධ්‍යම කාරක සබාව ගත්ත තීන්දුවේ මම ඉන්නවා. මම තාවකාලිකව පක්ෂයෙ සභාපතිකමින් ඉවත් වෙනවා’ යැයි ජනාධිපතිවරයා කීවේ සිය දේශපාලන අතීතය ද සිහිපත් කරමිනි.   


හැමෝටම තිබූ ප්‍රශ්නය වූයේ ජනාධිපතිවරයාගේ ඊළඟ පියවර කුමක්ද කියාය. ඡන්දය ඉවර වෙනතුරු පක්ෂයෙ සභාපති ධුරයේ වැඩ බලන්න රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්ය තුමා පත් කරන්න මම යෝජනා කරනවා ජනාධිපතිවරයා කීවේ රෝහණ ලක්ෂ්මන්ද විමතියට පත් කරමිනි. තමා එවැනි තනතුරකට පත් කරනු ඇතැයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ද නොදැන සිටියේය. ජනාධිපතිවරයාගේ යෝජනාව සියලු දෙනා ඒකමතිකව අනුමත කළෝය.   
මම වේදිකාවට නගින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ තීරණය වෙනස් කරන්න උත්සාහ කරන්නත් එපා යැයි කී ජනාධිපතිවරයා සඳහන් කළේ තමා වේදිකාවට නාවත් ගෝඨාභයට සහාය දක්වන බවය.   


ගෝඨාභයට සහාය දැක්වීමට අදාළව අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම් තුනද දේශපාලන මණ්ඩලය වෙත රැගෙනවිත් තිබිණි. ඉන් පළමුවැන්න ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුමය. දෙවැන්න ශ්‍රීලනිපය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුමය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂ එක්ව පිහිටුවන ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම ඊළඟ ගිවිසුමය. ඒ තුන ගැන දයාසිරි ජයසේකර මහලේකම්වරයා පැහැදිලි කිරීමක් කළේය. එහි පිටපත් දේශපාලන මණ්ඩල සභිකයන් අතටද දුන්නේ කියවා බලා නැවත දෙන ලෙස දන්වමිනි. ඒ අනුව ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක විසින් කළ යුතු දේවල්, යෝජිත සන්ධානයේ ව්‍යුහය ආදිය ගැන දයාසිරි කීවේය. ඒ අනුව තීරණය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට ශ්‍රීලනිපයේ සහාය ලබාදීමටය.    


එය පසුවදා උදේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වා නිවේදනය කරන්නැයි නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර යන තිදෙනාට කී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම එම මාධ්‍ය හමුවට ගෙන්වා ගන්නා ලෙසය. ඒ සමඟම, දුමින්ද දිසානායකට හා වීරකුමාර දිසානායකට අනුරාධපුරයේ පැවැත්වෙන ගෝඨාභයගේ පළමු ජනරැලියට ගොස් පක්ෂයේ තීන්දුව නිල වශයෙන් කියන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. දේශපාලන මණ්ඩල සාකච්ඡාව අවසන් වනවිට රාත්‍රී 11.30 ද පසුවී තිබිණි.  


කලින් දිනයේ තීන්දු කළ පරිදි නිමල් සිරිපාල මන්ත්‍රීවරයා පසුදින උදේ 10.30ට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඔහු කීවේ ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය කොන්දේසි කිහිපයක් මත ගෝඨාභයට සහාය දෙන බවය. මෙම තීන්දුව ජනපති මෛත්‍රීගේ ද ආශිර්වාදය ඇතිව පක්ෂය ගත් තීන්දුවක් බව ඔහු කීවේය. ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක හා වීරකුමාර හැර අනෙක් මන්ත්‍රීවරුන් සියලු දෙනා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියේ පක්ෂයේ තීන්දුව සමඟ එකට සිටින බව පෙන්වමිනි. දුමින්දත්, වීරකුමාරත් ඒ වනවිට අනුරාධපුරේ රැස්වීමට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් සිටියහ.



අදහස් (0)

රාජපක්ෂ සහෝදරයන් තිදෙනා සහ ජනපති අතර අවසන් මොහොතේ සාකච්ඡාව

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site