IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී - මහින්ද - රනිල් ​මුහුණට මුහුණ සාකච්ඡාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් ඉරිද‌ා සවස 5.00 ට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා තිබුණේ පාර්ලිමේන්තුව තුළ පොදු එකඟතාවකින් කටයුතු කිරීමේ පසුබිමක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඊට ප්‍රධාන ලෙසම බලපෑවේ ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැති දින තුනේම පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වයන්ය. ගැටුම්කාරි ස්වරූපයෙන් මිදී සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳ‌ාගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව විය. ඔහු ඉකුත් සතියේ ඉරිද‌ා සවස ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික නායකයින්ගේ හමුවක් කැඳවූයේ එම අපේක්ෂාව වෙනුවෙනි.


ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවට කතානායක කරු ජයසූරිය මහතාත්, ජනතා විමුක්ති පෙරමුණත් හැර සියලු පක්ෂවල නායකයෝ එක්ව සිටියහ. කතානායකවරයා එදින උදේ ජනාධිපතිවරයාට දුරකථනයෙන් දැනුම් දී තිබුණේ මෙය පක්ෂ නායකයින්ගේ හමුවක් නිසා තමා ඊට සහභාගි නොවන බවය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ ආරාධනයට ප්‍රතිචාර දක්වා තිබුණේ ඊට වෙනස් ආකාරයෙනි. කෙටියෙන් කීවොත් ජවිපෙ කළේ ජනාධිපතිවරයාගේ සර්ව පාක්ෂික හමුව වර්ජනය කිරීමය. ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධි අන්දමින් කටයුතු කර ඇති බැවින් සර්ව පාක්ෂික හමුවට සහභාගි නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.


ආණ්ඩුව වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දිනේෂ්, නිමල් සිරිපාල, එස්.බී., විමල්, උදය ගම්මන්පිල, තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද, චන්ද්‍රසිරි ගජධීර යන මැති ඇමැතිවරුද විපක්ෂය වෙනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ කිරිඇල්ල, සජිත් ප්‍රේමද‌ාස, රවි කරුණානායක, කබිර් හෂීම්, චම්පික රණවක, රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, අජිත් පෙරේරා, මනෝ ගනේෂන්, දිගම්බරම්, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, සුමන්තිරන් යන මන්ත්‍රීවරුද සර්ව පාක්ෂික සමුළුවට එක්ව සිටියහ. අගමැතිවරයාත්, හිටපු අගමැතිවරයාත් සවස 5.15 පමණ වෙද්දී ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළ පසුව මෛත්‍රි, මහින්ද සහ රනිල් යන තිදෙනා මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව ද එය විය.


පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අර්බුදය විසඳ‌ා ගැනීමේ අරමුණින් සියලු පක්ෂ නායකයින් ජනාධිපතිවරයා විසින් කැඳවන ලැබුව ද සාකච්ඡාව ආරම්භයේ වැඩි අවධානය යොමු වූයේ අගමැති ධුරය සම්බන්ධයෙනි. සාකච්ඡාව ආරම්භයේදීම ජනපති මෛත්‍රී සහභාගි වූ සියලු පක්ෂ නායකයින්ට ස්තූතිය පළ කළේය. අනතුරුව කෙළින්ම සාකච්ඡාවට යොමු වූ අතර මුලින්ම අදහස් දක්වමින් රාවුෆ් හකීම් හා සුමන්තිරන් කියා සිටියේ මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධි බවය. මහින්දට හා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති නිසා එජාපයේ අගමැතිවරයෙකු පත් කළ යුතු යැයි හකීම්, සුමන්තිරන් දෙදෙනා කියා සිටියහ.


උදය ගම්මන්පිල අදහස් දක්වමින් හකීම්ගේ හා සුමන්තිරන්ගේ අදහසට විරුද්ධ විය. ඔහු කීවේ ජනාධිපතිවරයා කිසි ලෙසකින්වත් ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවය. අජිත් පෙරේරා කීවේ මහින්දට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බවය. එබැවින් විශ්වාසභංග යෝජනාව සම්මත වූවා කියන ස්ථාවරයේ සිට ඉදිරි කටයුතු කළයුතු බව අජිත් පෙරේරා කීවේය.


අජිත් පෙරේරාගේ අදහසට ගම්මන්පිල විරුද්ධ විය. ඔහු කීවේ 14 වැනිද‌ා හැන්සාඩ් වාර්තාවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බවක් සඳහන් නොවන බවය. ඔහු ඒ ගැන දිගු විග්‍රහයක් කරද්දී චම්පික රණවක හා අජිත් පෙරේරා කීවේ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන බවය. දිනේෂ් ගුණවර්ධනත්, එස්.බී. දිසානායකත් කීවේ පාර්ලිමේන්තු ක්‍රියාද‌ාමය ඉදිරියට ගෙන යා යුතු බවය. විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් මුලින්ම ආණ්ඩුවක් තිබෙන බව පිළිගත යුතු යැයි විමල් කීවේය. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීමටත්, පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව පත් කිරීමටත්, මුලින්ම තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව එස්.බී. කීවේය.
අනතුරුව කතා කළේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාය. මට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බව විපක්ෂය කියනවා. නමුත් එහෙම යෝජනාවක් මම දැකලත් නැහැ. මට විරුද්ධව ඇති චෝදනා මොනවද කියල මම දන්නෙත් නැහැ. මහින්ද කීවේය.


ඒ අතර චම්පික රණවක හිටපු ඇමැතිවරයා ආණ්ඩුව කියන පිරිස බහුතරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ කලබල කරන බව කීවේය. අපට පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ යැයි චම්පික කියද්දී විමල් කීවේ මේක පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් නොව මන්ත්‍රීවරුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවය. සුසන්ත පුංචි නිලමේ සිය ජංගම දුරකථනයෙන් පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳව ගත් වීඩියෝවක් විමල් ඉදිරිපත් කළේය. විමල් ඉදිරිපත් කරමින් කතානායකවරයාගේ ක්‍රියා කලාපයද දැඩිව විවේචනය කළේය.
මේ අතර විමල් අජිත් පෙරේරාට අභියෝගයක් කළේ එජාපයට පාර්ලිමේන්තුවේ 113 ක් තිබේ නම් පහුවද‌ා දිවුරුම් ප්‍රකාශ මගින් එය පෙන්වන ලෙස ඉල්ලමිනි. අජිත් පෙරේරා අභියෝගය බාර ගනිමින් කීවේ එජාපය පහුවද‌ා දිවුරුම් ප්‍රකාශ වලින් 113 පෙන්වන බවය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ පහුවද‌ා දිනයේ (16) පාර්ලිමේන්තු​ෙව් ගෞරවය රැකෙන ලෙස හැසිරෙන්නැයි කියාය. ‘ඔයාල පාර්ලිමේන්තුවේදී පොදු එකඟතාවක් ඇති කරගෙන කටයුතු කරන්න. නැත්නම් ඒක ඔබතුමන්ලාටත්, රටටත් හොඳ නැහැ. ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරල විසඳගන්න’ යැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේය. 5.30 ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකකට පමණ සභාව අවසන් වූයේ පහුවද‌ා පාර්ලිමේන්තුවේදී එකඟතාවකින් කටයුතු කර ප්‍රශ්න විසඳ‌ා ගන්නා බවට දෙපාර්ශ්වයම එකඟ කරවා ගැනීමෙනි.


සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව විපක්ෂයේ පක්ෂ නායකයින් පිටත්ව ගියද ආණ්ඩුවේ පක්ෂ නායකයින් නතරවී සිටියේ ජනපති මෛත්‍රි කළ දැනුම් දීමකට අනුවය. ඊට හේතු වූයේ රැස්වීම පැවැති කාමරයට යාබඳ කාමරයේ තවත් විශේෂ කටයුත්තක් සූදානම් කර තිබීමය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ 73 වන උපන්දිනය යෙදී තිබුණේ එදිනටය. ජනාධිපතිවරයා ඒ හේතුවෙන් විශේෂ උපන්දින කේක් එකක් සූදානම් කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් ඇතුළු මැති ඇමැතිවරුන් හැපී බර්ත්ඩේ කියද්දී මහින්ද උපන්දින කේක් කපා පළමු කෑල්ල ​මෛත්‍රිට පිළිගැන්වීය. අනතුරුව අගමැතිවරයා පක්ෂ නායකයින් ඇතුළු මැති ඇමැතිවරුන්ට ද කේක් පිරිනැමීය.   


ආණ්ඩුව 113 හදා ගැනීමේ මෙහෙවරක් ද මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් සාකච්ඡා හමුවීම් ගණනාවක් ගිය සතියපුරා ද පැවැති බව වාර්තා විය. කොළඹ මල්පාරේ අගමැති කාර්යාලය ආසන්නයෙ පිහිටි එක්තරා ව්‍යාපාරිකයකුගේ නිවසෙද ගිය සතියේ මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා විය. එස්.බී. දිසානායක, නිමල් ලන්සා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමැතිවරුන් මෙන්ම එජාපයෙන් ආණ්ඩුවට එක්වූ ආනන්ද අලුත්ගමගේ හා අශෝක ප්‍රියන්ත යන නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාද ඊට සහභාගි වූ බව දැනගන්නට තිබේ.   

 


මේ අතර අලුත් මාතෘකාවක් ගිය සතියේ කරළියට පැමිණියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට ජනාධිපතිවරයා සූදානම් වන බව කියමිනි. ජනාධිපතිවරයාට එවැන්නක් කිරීමේ හැකියාවක් පවතින බවත්, තම කණ්ඩායම ද ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇති බවත් එස්.බී. දිසානායක ඇමැතිවරයා ගිය සතියේ මාධ්‍ය හමුවකදී කීවේ ආණ්ඩුව 113 හැදීමද කරගෙන යන බව කියමිනි.  


පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සඳුදා පෙරවරු 11.30ට පමණ කතානායක කාර්යාලයේදී රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩුව වෙනුවෙන් දි​නේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, වාසුදේව, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, විපක්ෂය වෙනුවෙන් සම්බන්ධන්, කිරිඇල්ල රවී, චම්පික රණවක, රාජිත, මනෝ ගනේෂන්, අජිත් පෙරේරා, සුමන්තිරන්, හකීම්, රිෂාද්, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. මුලින්ම එදින සවස පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම ආදිය ගැන සාකච්ඡාවට ලක්විය. අනතුරුව කතාබහට ලක්වූයේ තේරීම් කාරක සභාව පත්කිරීම පිළිබඳවය. දිනේෂ් ගුණවර්ධන කීවේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවිය යුතු බවය. කිරිඇල්ල, චම්පික, රාජිත ඇතුළු පිරිස කීවේ 14, 15 දිනවල සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව ආණ්ඩුවක් නොමැති බවය. ඒ බව හැන්සාඩ් වාර්තාවේද සඳහන් වන බව ඔවුන් කීවද ගම්මන්පිල කීවේ එවැන්නක් හැන්සාඩ් වාර්තාවේ නැති බවය. අනතුරුව කතා කළේ චම්පික රණවකය. එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන බව ඔහු කීය. මේ අතර ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කළේ පාර්ලිමේන්තුවේ 122ක් විපක්ෂයට සිටින නිසා කාරක සභාවේ බහුතරය විපක්ෂයට හිමිවිය යුතු බවය. දිනේෂ් ඊට දැඩි විරෝධය පළකරද්දී රවුෆ් හකීම් කීවේ අ​පේ යෝජනාව සම්මත වෙලා තියෙනවා. ඔබතුමාලාට ඕන නම් ඒකට විරුද්ධව යෝජනාවක් ගෙනල්ලා අපේ යෝජනාව පරද්දන්න කියාය. දිනේෂ් කීවේ කැලේ නීති පාර්ලිමේන්තුවට හරියන්නෙ නැති බවය. කැලේ නීති ගෙනාවේ ආණ්ඩුව යැයි කියා ගන්නා පිරිස බව චම්පික කියද්දී අනුර දිසානායක කීවේ හඳපානේ හොරෙන් දිවුරුම් දීපු ආණ්ඩුවක් මේක. මේ ගොල්ලො තමයි කැලේ නීතියට අනුව ආණ්ඩු හැදුවේ කියාය. අනුරගෙ කතාවට දිනේෂ්ට යකා නැග්ගේය. ජේවීපී එක තමයි කැලේ නීතියට අනුව තුවක්කු අරන් ආණ්ඩු ගන්න හැදුවේ. දිනේෂ් කීවේය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරද්දී එහි අවසන් ප්‍රතිඵලය තමයි ඒක යැයි අනුර කීවේ දිනේෂ්ගේ කතාවට පිළිතුරු දෙමිනි. කැලේ ආණ්ඩු හදන්න ගිහින් නායකයාත් මරාගත්තා. අන්තිමට නායකයා මරපු යූඑන්පීයත් එක්කයි ජේවීපීය වැඩ කරන්නේ යැයි දිනේෂ් අනුරට චෝදනා කළේය. අපි නම් යූඑන්පීයත් එක්ක එකතු වෙලා නැහැ. හැබැයි ඔබතුමාගේ තාත්තා විතරක් නොවෙයි බාප්පලත් යූඑන්පී එකට ගියා යැයි අනුර දිසානායක කීවේය.   
කලින් කතා කරගත් පරිදි පාර්ලිමේන්තුව එදින දහවල් 12.30ට රැස්විය. කතානායක කරු ජයසූරිය නොපැමිණි අතර මුලසුන ගත්තේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිය. සභාව ආරම්භ වී සුළු වෙලාවකින් සභාව ගිය සිකුරාදාට කල්තැබූවේ තේරීම් කාරක සභාව පත් කරගැනීමේ එකඟතාව ඇතිවය. එහි සංයුතිය සම්බන්ධයෙන් පක්ෂ අතර වාදයක් ඇති වූ බවද එදින පාර්ලිමේන්තු රැස්වීම් කලින් දින පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව සාමකාමීව පැවැත්විණි. කලින් සභාව පැවැති දින තුනේම එය අවසන් වූයේ ගුටිකෙළි මැදිනි. එහෙත් එදින රැස්වීම ඉතා සාමකාමීව පවත්වන්නට හැකිවූ අතර ජනාධිපතිවරයා කලින් දින හැන්දෑ​වේ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ සර්ව පාක්ෂික හමුවේදී කළ ඉල්ලීම ඊට හේතුවිය. තමා කළ ඉල්ලීම පිළිගනිමින් පාර්ලිමේන්තුව සාමකාමීව රැස්වීම ගැන ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් ද නිකුත් කරමින් පක්ෂ නායකයින්ට හා සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුතිය ද පළකර තිබිණි.



අදහස් (0)

මෛත්‍රී - මහින්ද - රනිල් ​මුහුණට මුහුණ සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site