IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මුස්ලිම් ඇමැතිවරුන් ඉවත්වීම එජාපයේ උපක්‍රමයක්ද?

අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්ද‌ා පෙරවරුවේ පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට එක්වීමටය. ඔහු යන විට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමැතිවරු රැසක් ද පැමිණ සිටියහ. ගෙවුණු සතියේ උණුසුම් දේශපාලන සිදුවීම් ගැන එහිදී ප්‍රමුඛ අවධානය යොමු විය.


‘අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරපු, දළද‌ා මාළිගාවට ගහපු කරුණා අම්මාන් ගිය රජයට එකතු කරගන්න කොට උපවාස නොකළ කෑගැහුවේ නැති හිමිවරු මුස්ලිම් ඇමැතිවරුන්ට විතරක් විරුද්ධ වීම පුදුමයි.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘දළද‌ා මාළිගාවේ මහ මළුවෙ යකා නටලා. අපවිත්‍ර කරලා, කුණු ද‌ාලා, මිනිස්සුන්ට ගහලා, හූ තියලා ජෝගි මඩුවක් කරගත්ත එක අනුමත කරන්න පුළුවන් ද’ නවීන් දිසානායක කීවේ එවැන්නකි.


‘මහින්ද පන්සල් අල්ලගෙන පටු දේශපාලනය කරන කොට තවත් සමහරු දළද‌ා වහන්සේත් දේශපාලනයට යොද‌ා ගැනීම හරි නෑ. මුස්ලිම් ආණ්ඩුකාරවරු දෙන්නා ඉවත් වූ ගමන් හාමුදුරුවො උපවාසෙ අතහැරියා. රිෂාඩ්ගේ ගැටලුවක් නෑ කියන එක ද ඒකෙන් ඇඟවෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ.’ දයා ගමගේ කීවේ එවැන්නකි.
‘මුස්ලිම් ඇමැතිවරුන් ඔක්කොම ඉවත් වුණේ ඇයි කියලයි දැන් මිනිස්සු අහන්නේ. මේක අගමැතිතුමා නිල අල්ලලා දීපු ගේමක් බව කියන අයත් ඉන්නවා.’ චමින්ද විජේසිරි කීවේ සිනහා මැදය.


‘මම දීපු ගේමක් නෑ. මුස්ලිම් ජනතාවට මෙහෙම ගියොත් ආරක්ෂාවක් නැති වේවි. ඒ නිසා සාමය ඇති කරන්න අපි සියලු දෙනාම අයින් වෙනවා කියලයි ඒ ඇමැතිවරු මට කිව්වේ. දැන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් කියන්නේ මුස්ලිම් ඇමැතිවරුන් තනතුරු බාරගන්න ඕන කියලයි.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘ඊයේ තිබුණු උත්සවයකදී අගමැතිතුමා හොඳ කතාවක් කළා. මුස්ලිම්වරුන් නැති කැබිනට් එකක් මුල් වරට බිහිවීම ගැන සමහරු ප්‍රීති වුනත් ඒක රටට හොඳ නෑ. ත්‍රස්තයෝ සුළු පිරිසක් නිසා සියලු මුස්ලිම්වරු තල්ලු කරන්න බැහැ. ජනමාධ්‍යයත් මේ ගිනි තැබීමට හවුල් කියලා ඔබතුමා කරපු කතාව ඉතා වටිනවා.’ හේෂා විතානගේ කීවේය.


‘උපවාසය මහ මලුවේ බලෙන් වගේ කරල තියෙන්නේ. කාදිනල්තුමා සුබ පතන්න ආවට මහ නාහිමිවරුන් ආවේ නෑ. මේක දේශපාලන නාට්‍යයක් නිසා කාදිනල්තුමා එතනට යාම සමහරුන්ට ගැටලුවක් වගේ පෙනුණා.’ චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.


‘ඒ අස්සේ මංගල, රාජිත ඇමැතිවරුන්ට පන්සල්වලට එන්න තහනම් ද‌ාන්න සමහර හිමිවරුන් උත්සාහ කරනවා. ඒක බුදු දහමටත් විරුද්ධ දෙයක්. ඇතැම් දුෂ්ශීලයන් අද මහින්ද සරණං ගච්ඡාමි යන නිසයි මේව වෙන්නේ’ හේෂා විතානගේ කීවේය.


‘උපවාසෙ යන අතරේ හදිසියේ මහින්ද ඔබතුමා මුණගැහෙන්න අරලිය මැදුරට ආවේ ඇයි?’ දයා ගමගේ ප්‍රශ්න කළේය.


‘නෑ ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය ගැනයි අපි කතා වුණේ’ යයි කී අගමැතිවරයා නළල රැලි ගන්වා මද සිනාවක් පෑවේය.


‘ආර්ථිකයට අමතරව තව දේවල් කතා වෙන්නැති. මහා බෞද්ධයා මහින්දයි ගෝලයොයි එතනදී රතන හිමිගේ උපවාසය ගැන උපහාසයෙන් කතා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ යනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘ඉවත් වෙච්ච ඇමැතිවරුන් වෙනුවට අලුත් අය පත් කරනව ද?’ මුජිබර් රහුමාන් ඇසුවේ අගමැතිගෙනි.


‘මාසයක් ඇතුළත පරික්ෂණ ඉවර කරනවා. පරික්ෂණවලදී චෝදනා ඔප්පු වීම හෝ යම් සැක සහිත කරුණු මතු වුණොත් ඕනම කෙනෙක් ගැන තීන්දු ගන්නවා. චෝදනා ඉදිරිපත් කරන්න විශේෂ ඒකකයකුත් දැම්මා. චෝදනා කරපු දේශපාලකයොයි, ජනමාධ්‍යයි, අනිත් අයයි දැන් පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනෑ. නැතිනම් චෝදනා එල්ල කරපු අයගෙන් CID ය ප්‍රශ්න කරාවි.’ අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


‘පොසොන් උත්සවය අපි හොඳට මේ පාර කරල ර​ෙට් ආරක්ෂාව සහතික බව පෙන්නනවා. අප අයි.එස්.ට බය නෑ කියලත් ඔප්පු කරනවා.’ පී. හැරිසන් මෙන්ම වජිර අබේවර්ධන කීවේ එහෙම කතාවකි.


‘මුස්ලිම්වරුන් ඇමැතිකම්වලින් ඉවත් වුණා. ඒත් උපවාස කළ අය තනතුරුවලින් ඉවත් වුණේ නෑ. බෙදිල හිටපු මුස්ලිම්වරු එකතු කිරීමයි අන්තිමේ උපවාසයෙන් සිදුවුණේ කියලයි බොහෝ දෙනෙකුගේ අදහස වෙන්නේ. ගලගොඩඅත්තේ හිමි උපවාසෙට ගිහින් මුලින් සහාය දීලා පසුද‌ා රතන හිමිට ප්‍රහාර එල්ල කළා. මේ නාට්‍ය පිටපතේ අපැහැදිලි තැන් එමටයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘පොහොට්ටුවට සහාය නොදෙන බවත් එජාපය නව මුහුණුවරකින් එනවා නම් සහාය දෙන බවත් කැබිනට් එකේදී ජනාධිපතිතුමා කියපු කතාව සංවාදයට ගත යුතු වැදගත් ප්‍රකාශයක්.’ නවීන් දිසානායක කතාව වෙනතකට යොමු කළේය.


‘ජනාධිපතිතුමා එක්ක එජාපය ගහගන්න ඕන නෑ. එතුමා සහාය දෙන්න එන ඕනම පක්ෂයකට ඡන්ද දෙන්න මිනිස්සු මැළිවෙන නරක පසුබිමක් අද රටේ තියෙන්නේ. සහයෝගයෙන් එතුමා එක්ක වැඩ කරල රටට උපරිම සේවය කිරීම ආණ්ඩුවේ වගකීමයි. එජාපයට අයිති ඇමැති ධුරත් දැන් ඉල්ලා ගන්න ඕනෑ.’ චමින්ද විජේසිරි කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


‘තේරීම් කාරක සභාවටයි ඒකේ ජනමාධ්‍ය ආවරණයටයි ජනාධිපතිතුමා බාල්දි පෙරලලා තියෙන්නේ ඇයි’ මුජිබර් රහුමාන් ඇසුවේය.


‘ප්‍රහාරය ගැන තේරීම් කාරක සභාව පත් කිරීමටයි ඒක ජනමාධ්‍යයට විවෘත කරලා රට දැනුවත් කරන එකටයි ජනාධිපතිතුමා කැමැති නෑ වගෙයි. අගමැතිතුමා හා කට්ටියටම දෙ‌ාස් කියල තියෙන්නේ ඒකයි. මේ වැඩේ අගමැතිතුමා ප්ලෑන් කරපු එකක් බවයි එතුමා හිතන්නේ. ඒත් සියලු පක්ෂවල ඉල්ලීම් අනුව කතානායකතුමායි තේරීම් කාරක සභාව පත් කළේ.’ කිරිඇල්ල කීය.


‘තේරීම් කාරක සභාවේ ඉන්න අපේ ඇමැතිවරු දෙන්නෙක් ජනාධිපතිතුමාගෙ ස්ථාවරය කාරක සභා සාමාජිකයන්ට කීවාම ජවිපෙ නලින්ද හා සුමන්තිරන් ඒකට විරුද්ධ වෙලා. අපි පත් කළේ පක්ෂවලින්. කාටවත් කාරක සභාවට බලපෑම් කරන්න, ජනමාධ්‍ය තහංචි පනවන්න බෑ කියලයි එයාල කියල තියෙන්නේ. තේරීම් කාරක සභාවට විරුද්ධව නීතිපතිත් ලිපියක් එවපු බව ජනාධිපතිතුමා කිව්වට ජනාධිපතිතුමා නීතිපතිට යවපු ලිපියකට පිළිතුරුයි නීතිපතිතුමා එවල තියෙන්නෙ. රාජ්‍ය ආරක්ෂාවට අද‌‌ාළ ඕනෑම දෙයක් කාරක සභාවට රහසේ කියනවා මිසක් ජනමාධ්‍ය ඉදිරිපිට කියන්න එපා කියලත් සාක්කිකරුවන්ට උපදෙස් දීලයි තේරීම් කාරක සභාව වැඩේ කරන්නේ. ඩී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම නිසා සහරාන් කොටු කිරීම වැළකීම රටට වෙච්ච විශාල අපරාධයක් බව ඔහුගේම සාක්කියෙනුත් තහවුරු වුණා.’ එජාප නීති නිලධාරියෙක් කීය.
කුරුණෑගල, ඇහැටුවැව ‘ගජමුතුගම’ 193 වැනි උද‌ා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවය යෙදී තිබූ දිනට පසුද‌ා චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන් සහ චන්දිම ගමගේ යන සිය පාර්ලිමේන්තු සගයන් සමඟ සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා උදෑසනම ගියේ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමටය. මේ ගමනේ අරමුණ වූයේ රුවන්වැලිසෑය, ශ්‍රී මහ බෝධිය අවට පූජා භූමිය තුළ ආරක්ෂාව තහවුරු වන පරිදි සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්, ආරක්ෂක තාප්පයක්, පූජා භූමියට ඇතුළු වන තැනැත්තන්ගේ ගමන් මලු ස්කෑන් ක්‍රමයට අනුව පහසුවෙන් පරික්ෂා කිරීම ඇතුළු ආරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 260 කින් මූලික වියදම් සඳහා මුදලින් රුපියල් ලක්ෂ 120 ක චෙක්පත උන්වහන්සේ වෙත භාරදීමය. මෙම මුදල ලබා දෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලිනි. අටමස්ථානාධිපති නාහිමියන් මේ පිළිබඳ ඉහළින්ම ප්‍රශංසා කරමින් පැවසුවේ ‘ඉල්ලීම කරලා දීන කීපයක් යන්නත් කලින් යහපත් ප්‍රතිචාරයක් ලැබීම ගැන ඉතා අගය කරනවා’ යනුවෙනි. එම අවස්ථාවට එක්වූ රුවන්වැලිසෑය විහාරාධිකාරි පල්ලේගම හේමරතන හිමියන් ද මෙම සද්කාර්යය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සජිත් එහිදී කීවේ ‘මමත් මගේ තාත්තා වගේම ප්‍රායෝගික බෞද්ධයෙක්. මා වෙත පැවරෙන වගකීම් වගේම යුතුකම් ඉක්මනින් ඉටු කරන්නට මම සූද‌ානම්. තවත් සංවර්ධන කටයුතු කරන්නට ඇත්නම් ඔබවහන්සේලා ඒවාත් මට කියන්න’ කියාය.
එදිනම ඊළඟට යෙදී තිබුණේ කැබිතිගොල්ලෑව, වත්තේවැව පිහිටි ‘වෛද්‍ය ඩී.එම්. අමරතුංගම’ 194 වැනි උද‌ා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවයයි. උත්සවය වෙත යමින් සිටියදී චන්ද්‍රාණි බණ්ඩාර කීවේ ‘මේ ගම්මානය ඩොක්ටර්ගේ නමින් නම් කළ එක බොහොම හොඳ වැඩක්.’ කියාය. සජිත් කීවේ ‘ අපි දැනගන්න ඕනෑ එතුමා කළ ජනතා සේවයට කෙළෙහිගුණ සලකන්න. එතුමා තමයි දිස්ත්‍රික්කයේ වැඩිම උද‌ා ගම්මාන ගණනක් හදන්නට පටන් ගත්තේ. එතුමාගේ අකල් අභාවයෙන් සිදුවුණේ පිරිමහන්න බැරි පාඩුවක්.’ කියාය.


දිගු කලකට පසුව ජාතික වශයෙන් ඉතා වැදගත් ක්ෂේත්‍රයන් අරභයා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ප්‍රධානීහු අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව පොදු එකඟතාවකට පැමිණි ආදර්ශමත් අවස්ථාවක් ගෙවුණු සතියේදී පාර්ලිමේන්තුවේ දැකගත හැකි විය.


කවර දේශපාලන මත ගැටුම් තිබුණත් මෙවන් තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකි වීම පිළිබඳව කවදත් දෙපැත්තේ ගැටුම්වලට මැදි වී සිටින කථානායකවරයාට තිබුණේ මහත් අස්වැසිල්ලකි. ඒ නිසාම කථානායකවරයා කීවේ ‘අද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇති කරගත් එකඟතාව තිරසාර සාමයකට ජාතික ආගමික සංහිඳියාවට වැදගත් පදනමක් සපයනු ඇති. ඒ නිසාම මෙය ඓතිහාසික සංධිස්ථානයක්, මෙහි යහපත් ප්‍රතිඵල අපේ අනාගත පරපුරට හිමි වේවි. ඒ නිසා අද මේ කටයුත්තටත් පූර්ණ ආශිර්වාදය ලබා දුන් ජනාධිපතිතුමාටත්, ඒ වගේම ඉතාම සක්‍රීය ලෙසින් ද‌ායක වූ අගමැතිතුමා වගේම විපක්ෂනායක තුමාටත් ඔබ සියලු දෙනාටත් එම අනාගත පරපුරේ ගෞරවය හිමි වේවි. අපි අත්විඳි කටුක අත්දැකීම් ඊළඟ පරපුරට නොතබා නික්ම යන්නට අපිට තිබෙන වගකීම ඉටුකළ දවසක් ලෙස අද දිනය ගැන සතුටු විය හැකි යැයි’ ද කථානායකවරයා කීවේය.
මෙම ඓතිහාසික අවස්ථාව වූයේ රට තුළ ස්ථිරසාර සාමයක් ගොඩනැගීම උදෙසා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවේ ජාතික ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ස්ථාවර කාරක සභාව වසරකට ආසන්න කාලයක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන අදහස් විමසමින් සකස් කර සභාගත කරන ලද අතුරු වාර්තාව සාකච්ඡාවට ගත් විශේෂ රැස්වීමයි.


කථානායකවරයාගේ ඇරයුමින් මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද එකම මේසයක් වටා අසුන් ගනිමින් අතුරු වාර්තාවේ නිර්දේශ 24 වෙන් වෙන්ව සලකා බැලීම විශේෂත්වයක් විය. කාරක සභාව නියෝජනය කරන සාමාජික මැති ඇමැතිවරුනට අමතරව ස්වෙච්ඡාවෙන්ම පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ගණනාවක්ම ඊට එක්ව සිටීම ද කථානායකවරයාගේ විශේෂ ඇගයුමට ලක් විය.


කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බෑඩ්බි කුසලානය සඳහා 75 වන වරටත් පැවැත්වෙන රගර් තරගය නැරඹීමට පාසල් සිසුන් අතර ආදි සිසුන් වන රවි කරුණානායක, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරු ද ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියට පැමිණ සිටියහ. සමකාලීන පාසල් මිතුරන් සමඟ සුහද කතා බහක යෙදෙමින් සිටින අතර දේශපාලන කතා ද ඒ අතර ඇසෙන්නට විය. එහි සිටි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා​ෙග් පාසල් මිතුරෙක් එහිදී අපූරු කථාවක් කීවේය.


ඔබතුමා කාරක සභාවේ ඉන්නවාට විරුද්ධව අල්ලස් දෙපාර්තමේන්තුවට එන්න කිව්වම සර්පයෙක් දෂ්ට කළා කියලා මගහැරිය කෙනෙක් තමයි පාරිශුද්ධත්වය ගැන කතා කරන්නේ යැයි ඇසීය.


මේ තේරීම් කාරක සභාවට විපක්ෂයේ අයටත් සහභාගි වෙන්න කියලා කොච්චර කිව්වද? එයාටත් එන්න තිබුණානේ. ඒවට එන්නේ නැතුව ඉන්න අයගේ දෝෂ සොයනවා. අනික ඕවා සාමාන්‍ය දේවල්. බලය ගන්න නම් ඔය වගේ කථා කියනවා. ඕවට තමයි කියන්නේ වැද්දන්ගෙන් බණ අහනවා කියලා. ඒවා වැදි බණ. තමන් පාරිශුද්ධත්වයට පත්වෙලා ඉන්න එපැයිනේ අනුන්ගේ පාරිශුද්ධත්වය ගැන කතා කරන්න. එයාට පිරිසිදු දේශපාලනයක් නැහැ. දේශපාලනික වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා කාලයත් සමග තුවාල සුව කරගත්තත් ඒ තුවාලවල කැළල් තවම මැකිලා නැහැ. ජනතාවට ඒවා හොඳට මතකයි. මේක හරියට උදේ ඉඳන් රෑ වෙනකම් එක එක මිනිසුන්ට ශරීරය විකුණන ගණිකාවක් තමන්ගේ පතිවත ගැන කතා කරන කතාවක් වගේ වැඩක්. රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

මුස්ලිම් ඇමැතිවරුන් ඉවත්වීම එජාපයේ උපක්‍රමයක්ද?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site