IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුව-කුඩා පක්ෂ විරසකය දිගටම

  • පළාත් සභාවල විදියට පාර්ලි​මේන්තුවේ  වැඩ කරන්න බෑ - අගමැති
  • ජන මාධ්‍යයට වාරණ එපා - විපක්ෂ නායක

 

  • රසායනික පොහොර තහනමට ඇමැතිවරුන්ගේ මත දෙකක්

ඉකුත් සතිය ද ⁣කොරෝනාවෙන්ම ගෙවිණි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ද දින දෙකකට සීමා කරන්නට සිදුවිය. පළමු දිනය වෙන්කර තිබුණේ වත්මන් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයකට ය. බදාදා දින වෙන්කර තිබුණේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට ය. වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අඟහරුවාදා වන විට ලැබේ යැයි ආණ්ඩුව සිතුවද එය නොලැබිණි. ඒ නිසා බදාදා දිනයේ ද කොරෝනා විවාදය පවත්වන්නට ආණ්ඩුවට සිදුවිය.


පාර්ලිමේන්තු සතියේ කටයුතු ගැන සාකච්ඡා කරන්නට ආණ්ඩු පක්ෂ රැස්වීමක් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේ දී රැස් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොරෝනා ප්‍රශ්නය කොරෝනා එන්නත සහ වෙනත් දේශපාලන කාරණා ගැන සාකච්ඡා විය. කොරෝනා වර්ධනය වී ඇති බවත් යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය නොවැළැක්වූවා සේ ආණ්ඩුවද කොරෝනා වෛරසය පාලනය කිරීමට පියවර නොගත් බවට චෝදනා එල්ල වන බව පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කියන්නට වූහ. ඔවුන් කීවේ විපක්ෂයේ අය මේක අල්ලගෙන ආණ්ඩුවට ගහනවා කියාය. “අපෙත් වැරදි තියෙනවා. මේවා ගැන ජනතාව දැනුවත් කරන්නෙත් නෑ. සමහර තැන්වල රෝගීන් ගෙනියන්න විදිහකුත් නෑ.”‍ එක් මන්ත්‍රීවරයෙක් කීවේය. මේ ගැන පැහැදිලි කරන්නට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි එහි නොසිටියාය. එබැවින් ඒ ගැන පැහැදිලි කළේ මහාචාර්ය චන්න ජයසුමන ය. කොරෝනා වර්තමාන තත්ත්වයත් එන්නත් දීම ගැනත් අනෙකුත් පහසුකම් ගැනත් චන්න ජයසුමන දීර්ඝ විස්තරයක් කළේය. ඔහුගේ විස්තරයෙන් පසුව කතා කළේ වීරසුමන වීරසිංහ ය. “එන්නත හරියට ගහලා නෑ කියල චෝදනාවකුත් තියනවා. රාජ්‍ය සේවකයන්ට ලැබුණේ නෑ කියලත් කියනවා”‍. වීරසුමන කීවේය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර ද ඒ ගැන කීවේය. ඔහු කීවේ රුපියල් 5000 බෙදීම ආදී කටයුතු කරමින් කොරෝනා මර්දනයට විශාල සහායක් ලබාදෙන සමෘද්ධි හා ග්‍රාම නිලධාරීන්ට ද මෙම එන්නත ලබා දිය යුතු බවය.


කොරෝනා මර්දන එන්නත ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු භාරව සිටින්නේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාය. මේ සාකච්ඡාව යන අතර අගමැතිවරයා ලලිත් වීරතුංගද රැස්වීමට ගෙන්වා ගත්තේය. එන්නත ගෙන්වා ඇති ආකාරය සහ ඉදිරියට එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ ගැන ලලිත් වීරතුංග මනා පැහැදිලි කිරීමක් කළේය. චීන එන්නතින් කොටසක් ඉතුරු වී ඇති බවත් එය ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු දීමට හැකියාව ලැබෙන බවත් ලලිත් වීරතුංග කීවේය. ඉන්දියාවෙන් එන්නත ගෙන්වීමට ඇති බාධා ගැනද ඔහු කීවේය. එහෙත් අතිරික්තයක් තිබෙන රටවලින් ඒවා ලබාගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ලලිත් වීරතුංග කීවේය. කෙසේ වුවද මේ වසර තුළ විශාල පිරිසකට එන්නත ලබාදිය හැකි වන බව ඔහු සඳහන් කළේය.


මේ අතර බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කතා කළේය. ‘‘ආණ්ඩුව විදිහට අපි කොරෝනා ගැන එක මතයක් කියන්න ඕන. ජී එම් ඕ එක කියන ඒවා තමයි ජනතාව පිළිගන්නේ. ඒගොල්ලොත් එක්කත් කතා කරලා අපි හරි මතයක් ජනතාව අතරට ගෙනියන්න ඕන.”‍ බන්දුල කීවේය. “වෛද්‍යවරුන්ටත් එක එක මත කියන්න එපා කියලා අපි උපදෙස් දීලයි තියෙන්නේ”‍ චන්න ජයසුමන කීවේය. අනතුරුව කතා කළේ උදය ගම්මන්පිල ය. ඔහු කීවේ ආයතන ප්‍රධානීන්ගේ අවසර නැතිව සමහර වෛද්‍යවරුන් ද වෙනත් වෙනත් ප්‍රකාශ කරන බවය. “ආයතන ප්‍රධානීන්ගේ අවසරය නැතිව ප්‍රකාශ කරන්න බෑ කියලා උපදෙස් දෙන්න ඕන.”‍ ගම්මන්පිල කීවේය. කතාබහ වෙනතකට යොමු වූයේ සුසිල් ප්‍රේමජයන්ත ඒ ගැන කළ ප්‍රකාශයෙනි. “ඔය කියන දේ පක්ෂවල නායකයන්ටත් අද‌ාළයි. ආයතන ප්‍රධානියාගෙන් අහල වගේ ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් අහල තමයි පක්ෂවල නායකයෝ කතා කරන්න ඕන. එතකොට තමයි එක අදහසක් එන්නේ”‍ සුසිල් කීවේ ගම්මන්පිලගේ ප්‍රශ්නයට උත්තර දෙමිනි.


ඒ අතර සීතා අරඹේපොල කීවේ රටේ සංචරණ සීමා පැනවීම අවශ්‍ය බවය. නැතිනම් කොරෝනා පාලනය ගැටලු‍වක් වන බව ඇය කීවාය. අතුරලියේ රතන හිමියන් ද අදහස් දැක්වූයේ සීතා අරඹේපොලගේ අදහස් අනුමත කරමිනි. මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය. “අපි පාර්ලිමේන්තු ඇවිත් මාස අටක් ගත වුණා. පළාත් සභාවලදි අපි මීට වඩා වැඩ කළා. අපට වෙන්වන විමධ්‍යගත අරමුදල් වුණත් වියදම් කරන්න මුදල් අමාත්‍යංශයෙන් සීමා පනවල තියෙනවා. ඒ මුදල් පන්සලකට පාසලකටවත් දෙන්න විදියක් නෑ”‍ ජගත් කීවේය. ඒකට උත්තර දුන්නේ අගමැතිවරයාය. “පළාත් සභාවල විදිහට පාර්ලිමේන්තුවෙ වැඩ කරන්න බැහැනේ”‍ අගමැතිවරයා කීවේය.


කැබිනට් රැස්වීම


මෙවර කැබිනට් රැස්වීමට ද කොරෝනාව හරස් විය. ඒ නිසා කැබිනට් රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට ජනාධිපතිවරයාට සිදු විය. ඒ අනුව හවස පහට කැබිනට් රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ආරම්භ විය. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය තුළ සිටත් ඇමැතිවරු අමාත්‍යංශ කාර්යාල සහ නිවෙස්වල සිටත් කැබිනට් රැස්වීමට සම්බන්ධ වූහ. අධිකරණ ඇමැති අලි සබ්රි⁣ගේත් ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේත් උපන්දින එදිනට යෙදී තිබිණි. ඒ නිසා කැබිනට් රැස්වීම ආරම්භයේදීම ඇමතිවරු ඔවුන් දෙදෙනාට සුබ පැතූහ. “මම උදේම කෝල් එකක් ගත්තා. ඒත් ඔබතුමා අල්ලගන්න බැරි වුණා.”‍ අගමැති මහින්ද අලි සබ්රිට කීවේය. “ඔව් සර් මම පස්සෙ ඔබතුමාට ගත්තා. නමුත් සම්බන්ධ වෙන්න බැරි වුණා”‍ අලි සබ්රි කීවේය.


පොහොර ප්‍රශ්නය මෙවර කැබිනට් රැස්වීමේදී ද දීර්ඝ සාකච්ඡාවකට ලක්විය. පොහොර කතාබහට මුල පිරුවේ එස්.එම්. චන්ද්‍රසේන ය. ඔහු රජරට පළාත නියෝජනය කරන්නෙකි. “පොහොර ප්‍රශ්නය නම් තදබල විදිහට බලපානවා. මේ ගැන යමක් කරන්න වෙයි”‍ එස්.එම්. කීවේය. “ඔබතුමා තමයි ප්‍රධාන වගඋත්තරකරු. හෙට අනිද්දා වෙනකොට දිස්ත්‍රික්කයේ මිනිස්සු ඔබතුමාගේ ගේ වටකරයි”‍ බන්දුල කීවේ එස්.එම්.ට විහිලු‍වක් කරමිනි. “ගොවි සංවිධාන කියන්නේ පොහොර යොදපු බඩඉරිඟු‍ අක්කරයකින් කිලෝ තුන්ද‌ාස්පන්සීයක්, හාරදාහක් ගන්න පුළුවන්. නැත්තං ගන්න පුළුවන් කිලෝ 600 යි 700 යි කියලයි.”‍ එස්.එම්. කීවේය. “මේ නිෂ්පාදන අඩුවීම තාවකාලිකයි. මෙහෙමවත් උත්තර හොයන්නේ නැත්තං කවදාවත් අපට ගොඩඑන්න බෑ”‍ වාසුදේව නානායක්කාර කීවේය. “ඔබතුමා කියන එකට මම සීයට සීයක් එකඟයි. රසායනික පොහොර තහනම හොඳයි. නමුත් එකපාර කරන්න ගිහින් අමාරුවේ වැටෙයි ද කියලා සැකයක් තමයි තියෙන්නේ”‍ චන්ද්‍රසේන කීවේය.


මේ අතර කොරෝනා ප්‍රශ්නයද කැබිනට් සාකච්ඡාවේදී දිගින් දිගට කතාබහට ලක්විය. ඒ සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබිණි. එකක් අගමැති මහින්ද ගෙනි. අනෙක ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ගෙනි. කොරෝනා හදිසි ප්‍රතිකාර සූදානම සහ එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකු ආධාර ලබා ගැනීමට අද‌ාළ පත්‍රිකාවක් අගමැතිවරයා ඉදිරිපත් කර තිබිණි. පවිත්‍රා ඉදිරිපත් කර තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකිරීම සඳහා උපකරණ ගෙන්වීම වෙනුවෙනි. ඒ අනුව පී.සී.ආර්. උපකරණ ගෙන්වීම වැඩි කිරීමට තීරණය විය. මේ අතර ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. විදුලි බල සේවකයින්ගේ පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි ඩලස් කීවේය. ඒ නිසා විදුලිබල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නිරත වූවන්ට ප්‍රමුඛතාව දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. ජනාධිපතිවරයා ද එය අනුමත කළේය. ජනාධිපතිවරයා කීවේ විදුලිබල සේවකයින් ඇතුළත් අත්‍යවශ්‍ය සේවාවල සේවකයින්ට මීළඟ එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රමුඛතාව ලබාදිය යුතු බවය. රෝහල්වල ඇඳන් ප්‍රමාණය වැඩිකිරීම සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය. “අපි නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කරලා තියනවා. ඇඳන් සංඛ්‍යාවත් දහදාහක් සූදානම් කළා” ජනාධිපතිවරයා කීවේය. ඇමති ප්‍රසන්න රණතුංග කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයේ ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් හදන්න කටයුතු කරගෙන යන බවය. රමේෂ් පතිරණ ඇමතිවරයා ද ඊට සම්බන්ධ විය. ඔහු කිව්වේ දිස්ත්‍රික් මට්ටමෙන් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන් නම් හොඳයි කියාය. හැම කෙනාටම මැදිහත් වී මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කළේය. මේ අතර පවිත්‍රා කීවේ “අපි සෞඛ්‍ය අංශවලට උපදෙස් දීලා තියෙනවා සෑම දිස්ත්‍රික්කයකම ඇඳන් දාහක්වත් අලු‍තින් දාන්න ලෑස්ති කරන්න කියලා”‍ යනුවෙනි. උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම හොස්ටල් මේ සඳහා ලබාදී ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් කීවේය.


මේ අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ගෑස් ප්‍රශ්නයක් මතු කළේය. ගෑස් මිල වැඩි කරන්නට ඉඩ නොදීම හමුවේ ඉදිරියේදී ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි බන්දුල කීවේය. ජනාධිපතිවරයා කීවේ ඒ ප්‍රශ්නය කළමනාකරණය කිරීම මුදල් අමාත්‍යාංශයට බාර දෙමු කියාය.


විමල් උදය වාසුලා මගහැරිය පක්ෂ නායක හමුව


ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් ගිය සඳුදා සැන්දෑවේ කැඳවා තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ රැස්වීම පැවැත්වුණේ අරලියගහ මන්දිර⁣යේය. මෙවර පක්ෂ නායක රැස්වීම ද විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින් දහදෙනකු විසින් වර්ජනය කරනු ලැබුවේ ද පක්ෂ නායකයන්ට අමතරව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසකට ද ඊට ආරාධනා කර ඇති බව කියමිනි. ඉකුත් 19 වැනි දා පැවති පක්ෂ නායක රැස්වීමට ද මේ පිරිස සහභාගි නොවූයේ එම චෝදනාව එල්ල කරමිනි. මෙවර රැස්වීමටද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට කියා ඇති බව දැනගත් මේ පිරිස හවස පහට පමණ අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූහ. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, අතාවුල්ලා, ජයන්ත සමරවීර, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.


ඔවුන් අගමැතිවරයා හමුවේ කියා සිටියේ එදින පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බවය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තිබෙන ගැටලු‍ පක්ෂ නායකයින් පමණක් සිටින රැස්වීමකදී සාකච්ඡා කර තීන්දු කළ යුතු නිසා ඒ සඳහා වෙනත් දිනයක් දෙන්නැයි ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. ඊට අගමැතිවරයා එකඟ විය. අගමැතිවරයා කීවේ ඒ සඳහා ලබන එකොළොස් වැනිදා පක්ෂ නායක හමුවක් කැඳවන බවය. අගමැතිවරයාගේ පොරොන්දුව මත පක්ෂ නායකයෝ ඉන් පිටත්ව ගියහ.


කලින් යොදාගත් පරිදි පක්ෂ නායක රැස්වීම සඳුදා හවස හයයි තිහට අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මුලසුනේ සිටියේ අගමැතිවරයාය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයන් ඊට සහභාගී නොවූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ඊට සහභාගි වූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට සහභාගි වූහ. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නායකයෝ ද, ජීවන් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු සෙසු පක්ෂවල නායකයෝ කීප දෙනෙක් ද ඊට සහභාගි වූහ. පළාත් සභා මැතිවරණ පනත සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්විය. රටේ පවතින තත්ත්වය අනුව මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සුදුසු නැතැයි බැසිල් රාජපක්ෂ මහතා කීවේය. එහෙත් පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත ක්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති නිසා සීමා නිර්ණ කටයුතු ආදිය ඉදිරියට ගෙන යා හැකි බව බැසිල් කීවේය.


කොරෝනා ප්‍රශ්නයත් පොහොර ප්‍රශ්නයත් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. රසායනික පොහොර තහනම ප්‍රතිපත්තියක් වශයෙන් ඉතා හොඳ නමුත් එකවර නොකර අදියරෙන් අදියර කරන්නැයි පක්ෂ නායකයෝ කිහිප දෙනෙක්ම කියා සිටියහ. නිමල් සිරිපාල අදහස් දක්වමින් කීවේ පොහොර තහනම අදියරෙන් අදියර කළ යුතු බවය. ‘‘අපි පොහොර මාෆියාවට අහුවෙන්න හොඳ නෑ. අපි මේක ප්‍රතිපත්තියක් විදියට කරන්න ඕනෑ”‍ චමල් රාජපක්ෂ කීවේය.


මේ අතර පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය කොරෝනා ප්‍රශ්නය ගැනත් එන්නත්කරණය ගැනත් දීර්ඝ ලෙස පැහැදිලි කළාය. ලැබී ඇති එන්නත් ප්‍රමාණයත්, දී ඇති එන්නත් ප්‍රමාණයත් ගැන කී පවිත්‍රා ඉදිරියට ලැබෙන්නට යන එන්නත් පිළිබඳව ද සඳහන් කළාය. එන්නත් ප්‍රමාදයට ප්‍රධාන හේතුව ඉන්දියාවේ ප්‍රශ්නය බවද ඇය කීවාය. එහෙත් මේ වසර තුළ ජනගහනය සියයට හැටකට පමණ එන්නත් ලබාදීමට හැකිවනු ඇතැයි පවිත්‍රා සඳහන් කළාය.


ඇමතිවරු තිදෙනෙක් ස්වයං නිරෝධායනයේ


මහින්දානන්ද අලු‍ත්ගමගේ, ඩලස් අලහප්පෙරුම සහ මොහාන් පී. ද සිල්වා යන ඇමැතිවරු තිදෙනා මේ දිනවල ස්වයං නිරෝධායනය වී සිටිති.


මහින්දානන්ද ස්වයං නිරෝධායනය වී සිටින්නේ ඔහුගේ රියදුරකු සහ ආරක්ෂක නිලධාරියකු කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇති බැවිනි. ඩලස් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ තහනමට පෙර වැලිගම පැවති මංගල උත්සවයකට යාම හේතුවෙනි. එම මංගල උත්සවයේ මනාළියට කොරෝනා වැළඳී ඇති බව දැනගත් වහාම ඩලස් ස්වයං නිරෝධායනයට යොමුවිය. මොහාන් පී. ද සිල්වා නිරෝධායනයට යොමු වී සිටින්නේ කොරෝනා වැළඳී ඇති අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගේ ආශ්‍රිතයකු බැවිනි.


විපක්ෂ නායකවරයා තානාපතිවරුන් හමුවේ


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය සතිය බෙහෙවින්ම කාර්යබහුල විය. ඒ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් රැසක් මෙන්ම පාර්ලිමේන්තුවේ විශේෂ කටයුතු රැසක් ද යෙදී තිබුණ බැවිනි.


යුරෝපා සංගමයේ තානාපති, ප්‍රංශ තානාපති, ඉතාලි තානාපතිනි, ජර්මන් තානාපති, රොමේනියානු තානාපති යන රාජතාන්ත්‍රික නිලධාරීන් ගිය සතියේ හමුවූ සජිත් එදිනම හවස තවත් තානාපතිවරුන් පිරිසක් හමු විය.


රුසියානු තානාපති, ජපන් තානාපති සහ කැනේඩියානු තානාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත හනා සිංගර් ද මේ සතියේ හමුවීමට විපක්ෂ නායකවරයා අමතක කළේ නැත. මෙහි විශේෂත්වය වූයේ මේ හමුවීම සඳහා ඉල්ලීම් කොට තිබුණේ ද එම රටවල්වල තානාපතිවරුන් විසින්ම වීමය.
“දිගටම නායකතුමා විදෙස් තානාපතිවරුන් හමුවෙනවා. මොකක්ද රහස?”‍ එහෙම ඇසුවේ ගයන්ත කරුණාතිලක ය.


“ඒකනේ, සති දෙකක් ඇතුළේ සෑහෙන තානාපතිවරුන් පිරිසක් හමුවුණා. ඒක වාර්තාවක් වෙන්නත් පුළුවන්”‍ මනූෂ කීවේ අසල සිටි නලින් බණ්ඩාර සමගය.


“ඇත්තටම මම නෙවේ හමුවුණේ. එතුමන්ලා තමයි ඉල්ලීම කළේ. හැබැයි එහෙම අවස්ථා අපි උපරිමව රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවා.”‍ සජිත් කීවේය.


“හරින් ගැන ඔබතුමා තානාපතිවරුන් එක්ක සාකච්ඡා කළ එක හොඳයි. මේක විපක්ෂය දඩයම් කරන ආණ්ඩුවක්.”‍ හෙක්ටර් අප්පුහාමි කීවේය.


“හරින්ගේ රිපෝර්ට්ස් දැක්කම මම පුදුම වුණා. හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. එතුමා බලන්න නිතර යන්න එපා. ඒකෙන් එතුමාට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. මේ ටික දවස විවේක අරගෙන එතුමා ආපහු පුරුදු සටන් බිමට එනවා. එතෙක් එතුමාට විවේක ගන්න දෙමු”‍ සජිත් කීවේය.


“මේ දවස්වල හරින් පොත් කියවනවාලු‍”‍ හර්ෂණ කීවේය.


“ඒක ඉතාම හොඳයි”‍ එහෙම කීවේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය.


ආණ්ඩුවේ මර්දනයට පිළියම


මේ අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ද සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.
“ආණ්ඩුව මර්දනය නතර කරලා නැහැ. එක පැත්තකින් රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙන්නේ නෑ. අනෙක් පැත්තෙන් පාස්කු ප‍්‍රහාරයට සම්න්ධ පුද්ගලයන් ගැන කරුණු කිව්වම මන්ත‍්‍රීවරුන් දඩයම් කරන්න හදනවා” මුජිබර් රහුමාන් කීය.


“හේමසිරි ප‍්‍රනාන්දුටයි, පොලිස්පතිටයි නඩු දාන්න හදනවා. එතකොට මහ මොළකරු අල්ලන්නේ නැද්ද? පරික්ෂණ මෙතැනින් ඉවර කරලා දාන්නද හදන්නේ” හෙක්ටර් අප්පුහාමි ප‍්‍රශ්න කළේය.


“කාදිනල්තුමත් මේ ගැන අවධානයෙන් ඉන්නේ. ප‍්‍රහාරය වලක්වන්න බැරිවීම එක දෙයක්. ප‍්‍රහාරය සැලසුම් කිරීම තව දෙයක්. ප‍්‍රහාරය එල්ල කරපු අය, මේ පිටුපස සිටි මහ මොළකරුවන් අල්ලනතුරු අපි සටන් කළ යුතුයි. ඇත්තටම මේක කරපු අයට දඬුවම් ලබාදීම තමයි කතෝලික ජනතාවගේ අපේක්ෂාව වෙන්නේ” කාවින්ද ජයවර්ධන පැවසුවේය.


තානාපතිවරුන් හමුවූ සජිත් නිරන්තරයෙන් ඔවුන් සමග කළ සාකච්ඡාවල දී වැඩි අවධානයක් යොමු කළේ රට මුහුණ දී ඇති ව්‍යසනය සම්බන්ධව ය.


විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් නියෝජනය කළ තානාපතිවරුන්ගෙන් සජිත් ඉල්ලා සිටියේ රටේ සෞඛ්‍යමය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන උපකරණ සහ ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමේ වැදගත්කම ය.
“ඔබතුමා කොරෝනා එන්නත එන බව දැනගෙන ඊට තානාපතිවරු හමුවෙලා කොරෝනා එන්නත දෙන්න කියලා යෝජනා කරලා ලකුණු දාගන්න හදනවා කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් චෝදනා කළා”‍ බුද්ධික කීවේය.


“ඕවට කියන්නේ පිස්සු කතා කියලා. ඕක විතරක් නෙවේ කොරෝනා ලංකාවට එන්න පුළුවන් කියලා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ සජිත් ප්‍රේමදාස මහතා තමයි කීවේ. ඒක ආවට පස්සේ පැණියක් පස්සේ ගියපු ඒ පැණිය නිර්දේශ කරපු තුට්ටු දෙකේ චරිත කියන විහිලු‍ කවුද ගණන් ගන්නේ?”‍ නලින් බණ්ඩාර කීවේය.


මාධ්‍ය නිදහස


ලෝක ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කර තිබුණේය.
“රටක සිවුවන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතු බවත් එකම වාරණය, ස්වයංවාරණය බවත් අපි දැඩිව විශ්වාස කරමු. මාධ්‍ය නිදහස උදෙසා අරගල කරන සියලු‍දෙනා සමග අපි ද කොන්දේසි විරහිතව එකට සිටගනිමු” සජිත් සිය නිවේදනයෙන් කීවේය.


“විපක්ෂනායකතුමා මාධ්‍ය නිදහස වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරනකොට ආණ්ඩුව ජනාධිපති හිට්ලර් කෙනෙක් කරන්න යෝජනා කරපු කෙනාට තවත් ඇමැතිකමක් දීලා. ඒකාධිපතියෙක් ගේන්න යෝජනා කරපු කෙනාට මාධ්‍ය නිදහස පිළිබඳ දිනයේදීම මේ ඇමැතිකම දීම නම් සැලසුම් කරලා කරපු දෙයක් වගෙයි” ගයන්ත කරුණාතිලක කීවේ ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් දක්වන ආකල්පය එයින්ම පෙනී යන බවය.

 

-ගජබා-



අදහස් (0)

පොහොට්ටුව-කුඩා පක්ෂ විරසකය දිගටම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site