IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොම්පෙඕ කැන්ඳන් ගිය නොබැඳි මාවත

 

​කොවිඩ් දෙවැනි රැල්ල රටේ අනෙකුත් සියලු දේවල් අභිභවා යළිත් වරක් ඉදිරියට පැමිණෙමින් තිබේ. ගෙවී ගිය සතිය පුරා ද රටේම කතාබහ කොවිඩ් දෙවැනි රැල්ල ගැනය. දේශපාලන කරළියේ වෙනත් මාතෘකා කතාබහට ලක්වුව ද සමාජය තුළ ඊට වැඩි ඉඩක් වෙන් නොවූයේ ඒ නිසාය. කොවිඩ් නොවන්නට, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පෙඕගේ ආගමනය ද ඇතැම් දේශපාලන පක්‍ෂවලට හොඳ සටන් පාඨයක් වන්නට ඉඩ තිබිණි. එහෙත් එය එසේ වූයේ නැත. පොම්පෙඕ ද ඇවිත් දවසක් ද ඉඳ පිටව ගියේය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙනදා පැයකින් දෙකකින් අවසන් වන කැබිනට් රැස්වීම එදින පැය තුනකටත් වැඩි කාලයක් තිස්සේ පැවැත්වූවේ කැබිනට් පත්‍රිකාවලට වැඩි යමක් සාකච්ඡා කිරීමට තිබූ බැවිනි. එකක් කොවිඩ් 19 දෙවැනි රැල්ලය. දෙවැන්න ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පෙඕගේ ශ්‍රී ලංකා සංචාරය ගැනය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පෙඕගේ ශ්‍රී ලංකා ආගමනය ගැන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළේ, විපක්ෂයේ සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දේශපාලන කරළිය තුළ මතුකර තිබූ කරුණුවලට ද පිළිතුරු දීමේ අපේක්‍ෂාවෙනි. යහපාලන ආණ්ඩු කාලයෙදී මහත් ආන්දෝලනයට ලක්වූ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට එන බවට ද පසුගිය කාලය පුරා දේශපාලන කරළියේ ඇතැමුන් ප්‍රකාශ කර තිබිණි. “ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආවාට රටට එරෙහි කිසිම ගිවිසුමක් අපි අත්සන් කරන්නෙ නැහැ. එහෙම එකක් ගැන අපි කතා කරන්නෙත් නැහැ. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය අපි කඩන්නේ නැහැ. සමහර අය කියාගෙන යනවා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එන්නෙ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න කියලා. අපි එහෙම එකක් අත්සන් කිරීම ගැන කතා කරලත් නැහැ.” ජනාධිපතිවරයා පැහැදිලි කළේය. අනතුරුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ද ඒ ගැන පැහැදිලි කළේය. “විපක්‍ෂය මේ ගැන රටට බොරු මතයක් ගෙනියනවා. මේගොල්ලෝ ආයෙමත් රටේ බොරු මතයක් වපුරන්න පටන් අරන්. අපි ඉන්නකන් රටට අහිතකර දෙයක් වෙන්නේ නැහැ කියලා ජනතාවත් දන්නවා.” අගමැති මහින්ද කීවේය.


මේ අතර කොවිඩ් දෙවැනි රැල්ල ගැන ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ජනාධිපතිවරාය කීවේ තමා කැබිනට් රැස්වීමට එන්නට පෙර කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සමග සාකච්ඡා කළ බවයි. “කොරෝනා දෙවැනි රැල්ල පාලනය කරගන්න අවශ්‍ය කටයුතු මේ වනවිට කරලා තියෙන්නේ. සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරනවා. ​මේ ඇතිවෙලා තියෙන පොකුරු කිහිපය ඉක්මනින්ම නිවාගන්න පුළුවන් වෙයි කියලයි සෞඛ්‍ය අංශ කියන්නේ” යැයි ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා රට වැසීමක් නොකරන බව ද කීවේය. “කොවිඩ් නිසා රට වහලා බැහැ. අහුවෙන තැන් හුදෙකලා කරලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


චීන ණය උගුලක හසුවී නැති බව ජනපති පොම්පෙඕට කියයි


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පෙඕ දෙදින සංචාරයකට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගිය බදාදා උදේ ජනාධිපති කාර්යාලයේදී හමුවිය. බොහෝ දෙනා සිතුවේ පොම්පෙඕගේ මෙරට සංචාරය එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට අදාළ එකක් බවය. එහෙත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමක් ඔහුගේ සංචාරය තුළ සිදු නොවීය. ඇමෙරිකාව හා චීනය ලෝක දේශපාලනය තුළ බල අරගලයක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. දෙරටේ නායකයන් කරන කියන දෑවලින් ද ඒ බව මනාව පැහැදිලි වේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පැය කිහිපයකට පෙර චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද එය තහවුරු වේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා හමුවී කළ කතාබහේදී ද චීනය සම්බන්ධයෙන් ඔහු විමසා තිබිණි. “යුද්ධයෙන් පස්සෙ රට ගොඩනගන්න චීනය අපට උදව් කළා. එහෙම නැතිව අපි චීන ණය උගුලක හිරවෙලා නැහැ” ජනාධිපතිවරයා දී තිබූ පිළිතුර විය. එමෙන්ම ඇමෙරිකාව ද ලබාදුන් සහයෝගය අගය කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ලංකාව විදේශ රටවල් සමග නොබැඳි පිළිවෙතක සිට කටයුතු කරන බවය.


මැතිසබේටත් කො​රෝනා හරස් වෙයි


මේ මාසයේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වන්නේ අනිද්දා (3) දිනයේය. වෙනදා නම් පාර්ලිමේන්තු සතියේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් සාමාන්‍ය පරිදි පැවැත්වෙයි. එහෙත් මෙවර එය එක් දිනකට පමණක් සීමා කරන්නට සිදුව ඇත්තේ රටම ගිලගනිමින් තිබෙන කොරෝනා වසංගතය හේතුවෙනි. පාර්ලිමේන්තු සතියේ කටයුතු ගැන සාකච්ඡා කරන්නට පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය බ්‍රහස්පතින්දා රැස්වූහ. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් කිරිඇල්ල, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා යන මැති ඇමැතිවරු ඊට සහභාගි වූහ. එහිදී මුලින්ම අවධානය යොමු වුණේ කොවිඩ් අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙනි. ඒ අනුව පක්ෂ නායකයන් සියලු දෙනාගේම පාහේ අදහස වූයේ මේ තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සතිය පුරා පවත්වාගෙන යා නොහැකි බවය. පාර්ලිමේන්තුව අනිද්දා (3) රැස්වීමට නියමිත නිසා වෛද්‍ය පනතේ රෙගුලාසි විවාදයට ගෙන සම්මත කිරීමට පමණක් එදින පාර්ලිමේන්තුව රැස්වීම ප්‍රමාණවත් බවට පක්ෂ නායකයෝ තීරණය කළහ. ඒ අනුව එදින ද පාර්ලිමේන්තු රැස්වීම පැය දෙකකට සීමා කිරීමටත් මන්ත්‍රීවරුන් වැඩි ගණනක් නොගෙන්වා සිමීත පිරිසක් සහභාගි කරවා ගැනීමටත් පක්ෂ නායකයන් තීරණය කළේ ඇතිව තිබෙන අර්බුදය හමුවේ විකල්පයක් නොමැති බැවිනි. ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ නියමිත කටයුතු සියල්ල කල් දැමීමටත් මේ වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය විසර්ජන පනත් කෙටුම්පත 12 සහ 13 යන දින දෙකේ විවාදයට ගෙන සම්මත කිරීමටත් එහිදී තීරණය විය.


කොරෝනාව අය වැයටත් හරස් වෙයි ද?


ලබන වසර සඳහා වන අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනිදාය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් එදින අය වැය ඉදිරිපත් කරනු ඇත. වෙනදා නම් අය වැය ඉදිරිපත් කළ පසුව අය වැය දෙවැනි වර කියවීමේ විවාදය සතියක් පුරා ද කාරක සභා අවස්ථා විවාදය මාසයක් පුරා ද පැවැත්වේ.


එහෙත් මෙවර එය වෙනස්වීමට ඉඩ ඇත. අය වැය දෙවැනි වර කියවීමේ විවාදයේත් කාරක සභා අවස්ථා විවාදයේත් දින ගණන අඩු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ කොවිඩ් අර්බුදය හමුවේ එවැනි දිගු විවාදවලට සුදුසු වාතාවරණයක් නොමැති බැවිනි. කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනෙන අමාත්‍යාංශ කිහිපයක් කමිටුවකට යොමු කර ඒ කමිටුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.


අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ගිය සතියේ රත්නපුරයට ගියේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික හා පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වෙනුවෙනි. ජී.එල්. සමග සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ද සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ගාමිණී වලේබොඩ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. ජී.එල්. කීවේ මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වෛද්‍ය සිසුන් 371ක් වැඩිපුර ඇතුළත් කරගන්නා බවය. මේ අතර ඌව විශ්වවිද්‍යාලයට ද වෛද්‍ය පීඨයක් ලබා දී ඇති බව ඔහු කීවේය.


ගම්පහට 5000 දෙන්න තවත් මුදල් යවයි


කොවිඩ් අර්බුදය හමුවේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල්වලට රුපියල් 5,000 දීමනාව ගෙවන්න රුපියල් කෝටි 40ක පමණ මුදලක් මීට සති දෙකකට පමණ ඉහතදී රජයෙන් වෙන් කෙරිණි. ඉතිරි පවුල්වලට ගෙවීම සඳහා තවත් රුපියල් කෝටි 232ක පමණ මුදලක් ද ගිය සතියේ නිදහස් කර තිබිණි. කලින් මුදල් බෙදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා

ජනාධිපතිවරයාටත් අගමැති මහින්දට හා හිටපු ඇමැති බැසිල්ටත් කතා කර කියා තිබුණේ අනෙක් පවුල්වලට ද 5,000 ගෙවීමට මුදල් අවශ්‍ය වන බවය. ඒ අනුව ගිය සතියේ එම මුදල් ද ගම්පහට යැවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.


විපක්ෂ නායක සජිත් මුරුත්තෙට්ටුවේ හිමියන් බැහැදකියි


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය මුළුල්ලේම විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.


නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේගේ සුවදුක් විමසුවේය.


ආගමික පුනර්ජීවනය උදෙසා සජිත්ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “සසුනට අරුණ”‍ ව්‍යාපෘතිය පිළිබඳව නාහිමියන් දැනුවත් කිරීමට ද සජිත් කටයුතු කළ අතර එම වැඩසටහන හරහා සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන්වහන්සේ විසින් පළකරනු ලැබීය. මේ අතර, රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේට කියා සිටියේය.
කොරෝනා උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ජන ජීවිත නැංවීම පිළිබඳව ද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හටගෙන ඇති ව්‍යාකූලත්වය ද ඒ මහතා නාහිමියන්ගේ අවධානයට යොමු කරනු ලැබීය.
“විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිස පිළිබඳව දැඩි තීන්දු ගත්තා. ඔළුගෙඩි මාරුවෙන් කරන දේශපාලන ක්‍රියාදාමය මම අනුමත කරන්නේ නෑ”‍ සජිත් කීවේය.


“යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමේ වැදගත්කම මම ආණ්ඩුවේ අවධානයට යොමු කළා”‍ සජිත් කී විට තමන්වහන්සේ එය දුටු බව කීහ.
“විපක්ෂ නායකයා ලෙස ඔබතුමා ගෙන එන සියලු‍ ජනතාවාදී කටයුතු උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව ආශිර්වාද කරනවා. එහිදී පුද්ගල සාධක හෝ දේශපාලනය ඉවහල් වෙන්නේ නෑ”‍ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන්වහන්සේ එතුමාගේ අඩි පාරේ යමින් රට වෙනුවෙන් සේවය කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කළහ.


“නායක හාමුදුරුවනේ අපි කිසිවිටෙකත් ඔළුගෙඩි මාරුවෙන් කරන දේශපාලනය පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒක අපි අනුමත කරන්නෙත් නැහැ. ප්‍රායෝගික නූතනවාදී විපක්ෂයක් ලෙස අපි කටයුතු කරනවා. රටේ ජාතික ආරක්ෂාව ඒ වගේම රටේ ඉදිරි ගමන පිළිබඳව අපි වගකීම් සහගතව කටයුතු කරනවා. අනෙක් අතට මේ ඇවිත් තිබෙන කොරෝනා ව්‍යසනය වෙලාවේ අපි පක්ෂ පාට භේදයකින් තොරව ආණ්ඩුවට සහයෝගය ලබාදෙනවා.”‍සජිත් කීවේය.


ආණ්ඩුව ගෙන ආ විසිවැනි සංශෝධනයට පක්ෂ වූ සියලු‍ දෙනාට එරෙහිව පක්ෂය ගත් තීන්දු හතර ද සජිත් පැහැදිලි කළේය.


“අපේ හාමුදුරුවනේ, පසුගිය දා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්න පිරිස ගැන විශේෂ තීන්දු හතරක් ගත්තා.


එකක් තමයි ආණ්ඩුව විසින් ගෙන ආව විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කළා. ඒ එක්කම සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට තීන්දු කළා. ඒ විතරක් නෙවේ. පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුළ එම පිරිස් සමගි ජන බලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට තීන්දු කළා.


ඒ වගේම අපි පක්ෂය හැටියට කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීන්දු කළා.”‍ සජිත් කීවේය.


පසු දා සජිත් ශාන්ති පදනමේ නිර්මාතෘ, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති හිමියන් බැහැදුටු අතර 26 වැනිදා සජිත් දෙව්රම් වෙහෙරට ගොස් කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය.


සජිත්ගේ ඉල්ලීමට හමුදාපතිගේ ස්තුතිය


ඇමෙරිකාවේ පොම්පිඕ මහතාගේ පැමිණීම පිළිබඳව රට පුරා අවධානය යොමුවී තිබෙන අතරේ සජිත් පාර්ලිමේන්තුවේ දී විශේෂ ඉල්ලීමක් ආණ්ඩුවෙන් සිදු කළේය.


“ පොම්පිඕ මහතා ලංකාවට එනවා. මේ වෙනකොටත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා තිබෙන ඇමෙරිකානු සංචාරක තහනම ඉවත් කරන්න එතුමන්ලා එක්ක කතා කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.”‍


සජිත් කළ මේ ඉල්ලීම පිළිබඳව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රූපවාහිනී සාකච්ඡාවකට පැමිණි අවස්‍ථාවේ සිහිපත් කළ අතර සජිත්ට විශේෂ ස්තුතියක් ද කළේය.

 


කටකතා ගැන සජිත් කී කතාව


සමගි ජන බලවේගයේ අයිතිය කාට ද කියා සමහරුන් තුළ පසුගිය දිනවල විවිධාකාර කටකතා ප්‍රචාරය විය.
“සර්, ඩයනා කියනවා පක්ෂය එයාගේ කියලා.”‍


එහෙම කීවේ හේෂා ය.


“ගියපු අය නෙරපන්න සර් තීන්දු කරපු එක නියමයි. පනින ගෙම්බන්ට එහෙම තමයි කරන්න ඕන”‍
චමින්ද විජේසිරි කීවේය.


“ඒ විතරක් නෙවේ, අපි ගැනත් එක එක කටකතා යවනවා.”‍
මයන්ත ද කතාබහට එක්විය.


“ඔය එක එක්කෙනා කියන කතාවලට උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඒ අය ඔය බොරු කරේ තියාගෙන වටේම ගියපුදෙන්. නමුත් එයාලාට අන්තිමට ඉතිරි වෙන්නේ බොරුවක් අරගෙන වටේ දුවපු මහන්සිය විතරයි.”‍
සජිත් කීවේය.


“ඔය කටකතා යවන අයත්, යවන අය හිතන දේත් මම දන්නවා. ඔයාලා වැඩ කරන්න. අපේ සටන තියෙන්නේ ජනතාව දිනවන්න”‍
සජිත් කීවේය.


ඇඟලු‍ම් කම්හල්වලින් සජිත්ට ආ දුක් ගැනවිල්ල


කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුලු‍ රටම ව්‍යාකූලත්වයට පත්ව තිබෙන අතර ඒ අතරින් ඇඟලු‍ම් කම්හල්වල තරුණ තරුණියන් බලවත් පීඩාවකට පත්ව සිටියහ.


සජිත්ට දුරකතන ඇමතුම් ලබාදුන් ඇඟලු‍ම් කම්හලක තරුණ පිරිසක් තමන් පත්ව ඇති අසරණකම පැහැදිලි කළහ.


“අපි දුක් මහන්සි වෙලා මේ රටට විනිමය ගෙනෙන මිනිස්සු සර්. අද අපිව නොසලකා හැරලා. ෆැක්ටරි වහලා. බෝඩිංවලින් අපිව භාර ගන්නේ නෑ. පාරට බැස්සාම යන්න තැනක් නෑ. කෑවා ද බීවා ද බලන්න කෙනෙක් නෑ. කාටවත් අපිව පේන්නේ නෑ. මෙහේ කොටුවෙලා ඉන්න සීයට අසූවක් ගෑනු අය. අඩු තරමේ ඒ අය ගැනවත් කවුරුත් හිතන්නේ නෑ.”‍


සජිත් වහාම මේ ගැන සිය අවධානය යොමු කළේය. කළ හැකි අවශ්‍යතාව පිළිබඳව සොයා බලන්නට සිය නියෝජිතයින් කිහිපදෙනකුට පැවැරූ ඔහු මේ තත්ත්වය ගැන මාධ්‍ය ද දැනුවත් කිරීමට කටයුතු කළේය.
“වෙළෙඳ කලාපයේ දස දහස් ගණනක් අසරණ වෙලා. එතන ඉන්නේ අපේම තරුණ තරුණියෝ. වහාම ඒ අය ගැන හොයා බලන්න.” සජිත් කීවේය.


එජාප නියෝජ්‍ය නායක ආගමික වතාවත්වල


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ රාජකාරි කටයුතු පසුගිය සතියේදී ආගමික කටයුතුවලට පමණක් සීමාවී තිබුණි. කොරෝනා වසංගත තත්ත්වය නිසා කිසිදු ස්ථානයක සාකච්ඡාවක් රැස්වීමක් පැවැත්වීමට අවස්ථාවක් නොවීය. එබැවින් පසුගිය සතියේදී දුරකතනයෙන් සිය පාක්ෂිකයන්ගේ සුවදුක් විමසීම සිදුවිය. ඊට අමතරව කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අයට හා රටට සෙත් පතා විශේෂ පූජාවක් මරදාන කයිලේෂ්වරන් කෝවිලේදී පැවැති අතර රුවන් විජයවර්ධන මහතා ද එයට සහභාගි විය.


මීට අමතරව හීනටිගල ඉන්ද්‍රවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ධර්ම සාකච්ඡාවක් පැවැති අතර එයට මහරගම සංවිධායක සුදත් ජයසුන්දර හා නාගරික මන්ත්‍රී රේණු සේනාරත්න මහත්වරු ද සහභාගි වූහ. ධර්ම සාකච්ඡාවෙන් පසු පිරිස පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ. එහිදී රුවන් විජයවර්ධන මහතා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට සිදුවන හානිකර තත්ත්වය ද පෙන්වා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් පක්ෂයක් වශයෙන් ඉදිරියට යාමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද මෙහිදී සාකච්ඡාවට භාජනය කර ඇත.


කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැති පිරිත් පින්කමට ද රුවන් විජයවර්ධන මහතා සහභාගි වූ අතර පසුවදා මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීම ද සිදුවිය.


දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ 136 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලේ පිහිටි සේනානායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ද රුවන් විජයවර්ධන මහතා එයට පෙර සතියේදී සහභාගි විය.


වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලැබුණ දිනයේ එම විහාරයේ ​රෝපණය කරන ලද අඹ ගස බැලීමට ද රුවන් විජයවර්ධන මහතා අමතක නොකළේය.

 

 

-ගජබා-



අදහස් (0)

පොම්පෙඕ කැන්ඳන් ගිය නොබැඳි මාවත

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site