IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පුටු පෙරැළියකට ජනපති ඉඟි කරයි

 

ආණ්ඩුව



සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයින් නිවාඩු ගත කිරීමට විදෙස් ගත වුවද අගමැතිවරයා ඒ අවස්ථාව පාවිච්චි කළේ ජපානය හා වියට්නාමයට නිල සංචාරවලට ගොස් රටට වාසි ගැනීමටය.


අප්‍රේල් 10 දා ශ්‍රී ලංකා දූත පිරිස ජපානයට පිටත්වූ අතර ජපාන අගමැති ප්‍රමුඛ ප්‍රබල මැති ඇමැතිවරුන් හා ශ්‍රී ලංකාවට විශාල ලෙස ආධාර සපයන ජයිකා ප්‍රධානීන්ද හමුවීමට සැලසුම් කර තිබිණ.


කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම හා මහනුවර සැලසුම්ගත නගරයක් කිරීමට අදාළව ජපානය හා ශ්‍රී ලංකාව අතර තිබූ එකඟතා තවත් ශක්තිමත් කිරීම මෙන්ම ජපාන ආයෝජන මෙරටට ගෙන ඒම සංචාරයේ අරමුණ විය. එහෙත් අප්‍රේල් 14 දා ජපාන වෙලාව සවස 4 වෙද්දී අගමැතිවරයාට ලංකාවෙන් ඇමතුම් ගලා එනවිට ඔහු සිටියේ තීරණාත්මක නිල සාකච්ඡාවලය.
“මම සාගල රත්නායක. මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහින් ලොකු විපතක් වෙලා. මට වහාම අගමැතිතුමාට කතා කරන්න ඕනෑ.” එක් ඇමතුමකින් කියවිණ.


අලුත් අවුරුදු උදාවත් සමගම ඇතිවූ ඛේදවාචකය ඇමැති සාගල විස්තර කළේය. ජපානයේ නිල සාකච්ඡා යන අතරේ අගමැතිවරයා ජනපතිට කතා කර වහාම කළ යුතු දේවල් ගැන එකඟතාවලට පැමිණියේ අනතුරුවය.
පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන්ද සෙසු ඇමැතිවරුන්ටද අගමැතිවරයා අදාළ උපදෙස් දුන්නේ “ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙන්න.” යන ප්‍රමුඛ උපදේශය සමගිනි.


පැයෙන් පැයට ශ්‍රී ලංකාවේ වගකිවයුතු අයට කතා කරමින් අගමැතිවරයා ජපානයේ සිට උපදෙස් දුන් අතර ජපාන සංචාරයේ සියලු කටයුතුද ඉටු කළේය.


 “වියට්නාම සංචාරය අවලංගු කර වහාම ලංකාවට යන්න පුළුවනි නම් හොඳයි.” අගමැතිවරයා කීවේය. එහෙත් විදේශ ඇමැති මංගල හා අමාත්‍යාංශ නිලධාරින් ප්‍රකාශ කළේ ලංකාවට වැඩි වාසි අත්වන ඒ සංචාරය අවලංගු නොකිරීම වඩාත් සුදුසු බවය.


 “වියට්නාම සංචාරය කෙටි කරමු. ඒක කළ යුතුමයි.” අගමැතිවරයාගේ අදහස මත ක්‍රියාත්මක වූ නිලධාරින් ඊට අවශ්‍ය පසුබිම සැකසූ පසු දූත පිරිස වියට්නාමයට ගියහ. 


එරට අගමැති, ජනපති ඇතුළු ප්‍රධානීන් සමඟ නිල සාකච්ඡා නිමකළ අගමැතිවරයා දෙරට අතර වසරකට රුපියල් කෝටි 15,000 ගනුදෙනු කිරීමට අවශ්‍ය පසුබිම සකසාගෙන වහාම සියරටට පැමිණියේය.


 පසුදා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ජනපති සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අගමැතිවරයා කුණු කන්ද නාය ගිය ස්ථානයට ගියේය. ඒ වනවිට ඇමැති සාගල කිහිප වරක්ම ඒ ස්ථානයට ගොස් කටයුතු සොයා බලා තිබිණ.


 “මේ කුණු කන්ද ඉවත් කරන්න මරික්කාර් හුඟක් උනන්දු වුණා. ඒත් අපේ අය එතනට නොයාම අඩුපාඩුවක්. ජනතාව විරෝධයක් පළ කළත් සාගල ගියාට පස්සේ අනිත් අයට යන්න තිබුණා. මමත් එක්ක යන්න මරික්කාර්ට කතා කරන්න හැදුවත් සම්බන්ධ කර ගන්න බැරි වුණා.” අගමැතිවරයා කීවේ කුණු කන්ද පරික්ෂාවට යන අතරතුරය.


“ජපානය අදියර තුනකට මේ ප්‍රශ්නයේදී උදව් කරනවා. අවශ්‍ය තාක්ෂණික බඩු දීම, විශේෂඥ පිරිසක් එවීම හා කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුම දීම ඔවුන් කරන්න පොරොන්දු වුණා.” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.


 කුණු කන්දේ විනාශය දැක කම්පාවට පත්ව සිටි බොහෝ දෙනා නොයෙක් කතා කියන්න වූහ.


“කුණු කන්දේ විනාශයත් සමහරුන් පටු දේශපාලනයට ගන්න හැදුවා. අප ඔවුන් “හූ” තියල එලෙව්වා. පෙරටුගාමි අය මෙතන බැහැලා වැඬේ අතට ගත්තා. ඔවුන්ට ගේමට ජවිපෙ පිළියන්දලට කුණු ගෙනියනවාට විරුද්ධව බැස්සා.” ජනතාව කීය.


 “එජාප අය ජනතාවගෙන් සමාව ගන්න තිබුණා. “හූ” වලට බයවෙලා අභියෝග ජයගන්න බැහැ. මම ආණ්ඩුව වෙනුවෙන් අපේත් අඩුපාඩුකම් අතපසුවීම් පිළිගන්නවා. ඒත් මේ ප්‍රශ්නය ඉවර කරන්න අප හුඟක් උත්සාහ කළා. මේ කුණු කන්ද මෙතනින් ඉවත් කරනවා. විපතට පත්වූ අයව ඉහළින්ම ආණ්ඩුව බලා ගන්නවා. අහිමි වූ ජීවිත ගැනයි ප්‍රශ්නය තිබෙන්නේ.” අගමැතිවරයා කීවේය.
 ඉන් අනතුරුව අගමැතිවරයා රාත්‍රියේ නොනිදා ගැටලුවට අදාළ විසඳුම් සෙවීමට දැඩි කැපවීමක් කළේය.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා මදක් පමාවී අරලියගහ මැදුරට පැමිණියේය.


 “උදේ තුනයි, නිදා ගන්නකොට.” අගමැතිවරයා කීවේ ලක්ෂ්මන් කිරිඇල්ලටය.


“කරු ජයසූරිය මැතිතුමා 1997 දී එජාපයෙන් කොළඹ  නගරාධිපති වුණාම දින 100 ක් ඇතුළත කොළඹ පිරිසිදු කළා. ලන්ඩන් වගේ පෞද්ගලික අංශයට කුණු එකතු කරන්නත් දීලා කාර්යක්ෂම කළා. ලෝක බැංකුව කරු මැතිතුමාට ඩොලර් දස ලක්ෂ 25 ක ආධාරයක් දුන්නා. මීපෙට කුණු ගෙනියන්නත් එහේ පහත් බිම් ගොඩ කරන්නත් හැදුවාම බස්නාහිර පළාත් මැතිවරණය ආවා.

එතනදී දිනේෂ් ගුණවර්ධනලා, ගීතාංජනලා, බන්දුලලා, පටු දේශපාලනය මත මීපෙට කුණු එපා කියල සටන් පාඨයක් හැදුවා. ඒ කාලේ ඇමැති ඉන්දික ගුණවර්ධන මේ ව්‍යාපෘතියට සහාය දුන්නා. මේ ප්‍රශ්නය නිසා කොළඹ, කළුතර දිස්ත්‍රික් දෙකම දිනුවත් කරුට මහ ඇමැතිවෙන්න බැරි වුණා. කරු ගෙනා ව්‍යාපෘතිය වෙනත් රටකට ගියා. අද දිනේෂ්ලට කුණු ගැන කතා කරන්න පුළුවන්ද? ලක්ෂ්මන් කිරිඇල්ල අතීත කතාව එළි කළේය. අගමැතිවරයාද එය අනුමත කළේය.


 “ගෙවල් 63 කට කොළඹ නාගරික කොමසාරිස් රතු නිවේදන දුන්නත් පිටවෙලා තිබෙන්නේ පවුල් 8 යි. විනාශ වූ නිවාසවලට නිවාස දීමට කඩිනමින් තීන්දු ගැනීම වටිනවා. මේ වෙලාවේ දෙන ගෙවල් 98 ට කලින් තවත් ගෙවල් 300 ක් විතර කුණු කන්ද අවට අයට දීලා කියා ආරංචියි.” දයා ගමගේ කීය.
“කුණු වෙන තැන්වලට දානවට ඒ පැතිවල මිනිස්සු විරුද්ධයි. මේකට යට වෙනවද?” රන්ජන් රාමනායක අගමැතිට යොමු කළේ දැවැන්ත ප්‍රශ්නයකි.
“කොළඹ සෙනඟ ලක්ෂ 07 යි. හැමදාම පිටින් එන ලක්ෂ 10 කගෙ කුණු මිසක් මේවා කොළඹ කුණු නොවෙයි. පොඩි විරෝධතාවලට යටවෙලා බැහැ. ඒත් මිනිස්සුන්ගේ මතවලටත් ගරු කර අප වැඩ කරමු.” අගමැති කීය.


 “රට පුරාම කුණුවලට විරුද්ධව හඬ නගන්නේ එකම පිරිසක් සංවිධානය කරන විරෝධතායි. ලොව නවීන ක්‍රම අනුව කුණු මෙහෙයවලා ප්‍රතිචක්‍රීය කරන වැඩපිළිවෙළට ජනතාවට විරුද්ධ වෙන්න බැහැ” වජිර අබේවර්ධන කීය.


“කුණු වලින් විදුලිය නිපදවන සමාගම් තුනකට අනුමැතිය දීලා තිබෙන්නේ. ඒ ටර්බයින් හදන්න සුළු කාලයක් ගියාට කුණුවලින් විදුලිය හදනවා.” පී. හැරිසන් කී විට අගමැතිවරයාද එය අනුමත කළේය.


“මහින්ද-ගෝඨා කුණු පුත්තලමට කෝච්චියෙන් ගෙනියන වැඬේ මේ ආණ්ඩුව නැවැත්තුවා කියලා ඒ අය රට නොමඟ යවනව වගෙයි.” දයා ගමගේ කීය.


 “විල්පත්තුව අභය භූමියේ ආරක්ෂිත කලාපය තමයි එයාල කුණු දාන්න තෝරාගෙන තිබුණේ. ඒ නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලැබුණෙ නැහැ. එතන සුදුසු ඉඩමක් ගැන 2016 ඉඳල මේ ආණ්ඩුවත් වැඩ කරගෙන යනවා කියා මම හොඳටම දන්නවා.” පී. හැරිසන් කීය.


 “රටේ කුණු ප්‍රශ්නය අප ඉවර කළ යුතුයි. කුණුවලට නීති නැහැ. ඒ නිසා නීති ගේනවා. සීමාව ඉක්මවූ ප්ලාස්ටික්, පොලිතින්වලට තීන්දුව ගන්න වෙනවා. කුණු ප්‍රතිචක්‍රීය කර පොහොර හා විදුලිය  ගැනීමට මූලිකත්වය දෙනවා.” අගමැතිවරයා කීවේය.

 

කතානායක මුදාගැනීමේ මෙහෙයුමේ

 කතානායක කරු ජයසූරිය මහතා සහ වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මිය එක්ව ගැමි ගෙදරක සිදුවන සියලු චාරිත්‍ර අකුරටම ඉටු කරමින් මෙවරද අවුරුදු සැමරුවේ තිඹිරිගස්යායේ පිහිටි සිය නිවසේදීය.


නැකතට කිරි ඉතිරවීම ආහාර අනුභවය මෙන්ම ගනුදෙනු කිරීමද  සිදුවූ අතර කොතරම් නාගරික පරිසරයක වුවද කිරි ගසකට කොටා උදැල්ලෙන් වැඩ ඇල්ලූ කතානායකවරයා අවුරුදු නැකතේ ධර්මාශෝක චරිතාපදානය පිළිබඳ  ඉතිහාස කෘතිය කියවීම ආරම්භ කළේය.


 දහවල සිය මහගෙදර පිහිටි මීරිගම බලා පිටත්ව ගිය කරු ජයසූරිය මහතා හමුවීමට දවස පුරාම අසල්වාසී ඥාති හිතවතුන් විශාල පිරිසක් පැමිණියහ.


පසුවරුවේ කොලොන්නාව කුණු කන්දේ ව්‍යසනය පිළිබඳ දැනගත් වහාම සියලු කටයුතු පසෙක තබා දුරකථනය අතට ගත් හෙතෙම මධ්‍යම රාත්‍රිය පසුවනතුරුම මුදාගැනීම් හා සහන සේවා මෙහෙයුමට අදාළ සම්බන්ධිකරණයක් ගොඩ  නැගීමට යුහුසුලු විය.


 ජපානයේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කරු ජයසූරිය මහතා අමතා පවතින තත්ත්වය පිළිබඳව විමසා දැනුවත් වූ අතර කතානායකවරයා අදාළ අමාත්‍යවරු, පොලිස්පති, යුදහමුදාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු මුදා ගැනීමේ මෙහෙයුම උරමතට  ගෙන සිටි ප්‍රධානීන්ටද කතා කළේය.  එහිදී දැන ගැනීමට ලැබුණේ අනතුරුදායක තත්ත්වය නිසා විදුලිය විසන්ධි කර ඇති බැවින් ආපදාව සිදුවූ මුළු ප්‍රදේශයම අඳුරේ ගිලී ඇති බවය. වහාම විදුලිබල මණ්ඩල සභාපතිවරයා අමතා විදුලිජනන යන්ත්‍ර හැකි ඉක්මනින් සැපයීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි කරු ජයසූරිය මහතා කොලොන්නාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ට දැනුම් දුන්නේ අදාළ කටයුතු සොයා බලා කවර අවස්ථාවක වුවද පවතින ගැටලු ගැන තමා දැනුවත් කරන ලෙසය.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ අවුරුදු කෑම මේසය

සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ රාජකාරි කටයුතු ආරම්භ කළ පසුගිය සඳුදා දින උදෙන්ම අමාත්‍යාංශයට පැමිණි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී අමාත්‍යාංශ පරිශ්‍රයේ නිලධාරින් හා සේවකයන් විසින් පිළියෙල කර තිබූ අවුරුදු කෑම මේස දෙක විවෘත  කරමින් අමාත්‍යාංශය සතු  ඉදිරි වැඩ කටයුතු ගැන පැහැදිලි කිරීමක්ද කළේය. “මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස අටයි තියෙන්නේ. අපිට තව කරන්න වැඩ රාජකාරි බොහෝමයක්  තියෙනවා. අපි ඒ සඳහා කාර්යක්ෂමව වැඩ කරන්න ඕනෑ. තමන්ගේ රාජකාරි හරි විදියට ඉෂ්ට කරන ඕන නිලධාරියෙක්ගෙ ප්‍රශ්නයක් වෙනුවෙන් මම ඇමැතිවරයා හැටියට පෙනී ඉන්නවා.”


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා උග්‍ර ලෙස යහපාලන රජය විවේචනය කරන්නකු හැටියට ප්‍රසිද්ධය. වරෙක  බන්දුලත්, අකිලත් අතර මැතිසබයේදි පවා උණුසුම් වාද විවාද ඇති විය. මේ කියන බන්දුල ගිය රජයේ අධ්‍යාපන ඇමැතිවරයාද විය. පසුගිය අඟහරුවාදා උදෙන්ම බන්දුල අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියේ අකිල මුණගැසීම සඳහාය. බන්දුල අකිල හමුවීමට ආවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ඇති අඩුපාඩුකම් ගැන කතා කරන්නටය. එහිදී අකිල බන්දුලගේ දුක්ගැනවිල්ල සාවධානව අසා සිට අමාත්‍යාංශ නිලධාරින් එතනට ගෙන්වා උපදෙස් දුන්නේ වහාම මේ ගැටලුව පිළිබඳ සොයා බලා පිළියම් යොදන ලෙසය.


එහි සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි සිසුන් 672 දෙනකුගෙන් 668 දෙනෙක්ම විභාගය ඉහළින් සමත්ව සිටිති. බන්දුල ගියේ මේ දරුවන් කොළඹට නොඑවා ඔවුන් සියලු දෙනා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසස් පෙළ සඳහා රඳවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා ගන්නටය. බන්දුල ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් හා අනෙකුත් පහසුකම් ඉල්ලා සිටි අතර අකිල ඒ සියලු දේ ලබාදීමට පොරොන්දු විය. බන්දුල හොඳින් පිළිගත් අකිල ඔවුන්ට තේ පැන් සංග්‍රහයක්ද පිරිනැමීය.


 අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින්ගේ රැස්වීමක් ගිය බ්‍රහස්පතින්දා දින ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙන්ම අමාත්‍යාංශයේ එක් එක් අංශවල තිබෙන අඩුපාඩු ගැනද නිලධාරින්  සමග කරුණු සාකච්ඡා කළේය.

 

 

ඊළඟ පාර පක්‍ෂයයි පාක්‍ෂිකයයි ගොඩදාමු

පසුගිය 7 වනදා සවස් යාමයේ මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා පී. හැරිසන්, රංජිත් අළුවිහාරේ, පාලිත තෙවරප්පෙරුම, දිලිප් වෙදආරච්චි, එඞ්වඞ් ගුණසේකර, ජේ.සී. අලවතුවල හා එස්.එම්. මරික්කාර් යන මැති ඇමැතිවරුන් පෙරටු කොටගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගත වුණේ ක්වේට් රාජ්‍යය බලා පිටත්වීමටයි. මේ පිරිස එරටට ගියේ එක්සත් ජාතික පක්ෂයේ ක්වේට් ශාඛාවේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වීමටයි.  8 වෙනිදා පෙරවරුවේ පැවැති මෙම සම්මේලනයට  රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා ඇතුළු පිරිස යන විටත් ක්වේට් දේශයේ වෙසෙන එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් සම්මේලනය පැවැති ශාලාවේ අසුන්ගෙන සිටි අයුරු දුටු අමාත්‍යවරයා “යූඇන්පී කාරයගේ ගතිය මේක තමයි. මුහුදෙන් එහා ගියත් පක්ෂෙ අමතක කරන්නෙ නැ.” යැයි පැවැසීය. උත්සව සභාව ඉතා සුහදශීලි අයුරින් පැවැති අතර අවසානයේ පාක්ෂිකයින් සියල්ල එක හඬින් කියා සිටියේ මේ යහපාලනය අපිට ඕන නෑ ඇමැතිතුමා අපිට ඕන තනි කොළ ආණ්ඩුවක් යැයි කියාය. “අපේ පක්ෂෙ හැමදාම හිතුවේ අපි ගැන නෙමේ සහෝදරයා රට ගැන. ඒක තමයි අපේ විදිය. මේ පාරත් අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙද්දීත් එහෙම නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එක්ක එකතුවුණේ රට මුහුණ දීල තියෙන බරපතළ  ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මිසක් තනියම ආණ්ඩුවක් කරන්න බැරිකම නිසා නොවෙයි. තව ටිකක් ඉවසන්න. ඉස්සෙල්ල රට ගොඩ දාලා ඊළඟ පාර පක්ෂෙයි, පාක්ෂිකයයි, ගොඩදාමු.” යැයි රංජිත් කියනවිට සභාවෙන්  මහත් අත්පොළසන් හඬක් නැගිණි.


අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවරත් තම නිවසේ සියලු චාරිත්‍ර වාරිත්‍ර පවුලේ සාමාජිකයින් සමග ඉටුකළ අමාත්‍යවරයා තමන් මුණ ගැසීමට පැමිණි ප්‍රදේශවාසීන් සමග අවුරුදු සිරිත් විරිත් කළ අතර වෙනදා තමන්ට සලකන ජනතාවට අමාත්‍යවරයා අතින්ම කැවුම් කිරිබත් බෙදා දෙමින් සංග්‍රහ කරනු දක්නට ලැබුණි. 15 වැනිදා පෙරවරුවේ පොතුබන්ධන රජමහා විහාරයට රංජිත්  ගියේ එදිනට යෙදී තිබුණ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහායි. පෙරවරු 11.04 ට උතුරු දිශාව බලා නායක හිමියන් අමාත්‍යවරයාගේ හිස තෙල් ගැල්වූ අතර “ඇමැතිතුමා මේ නානු කියන්නේ හොඳ ඖෂධයක්. වෙල්ලස්සෙන් බිහිවුණ ඔබතුමාට රටට, ජාතියට තවත් සේවය කරන්න නිදුක් නිරෝගී සුවය මේ අවුරුද්ද පුරා ලැබෙන්න කියල අපි  ප්‍රාර්ථනා කරනවා.” යැයි කීය.

 

‘සත්මිතුගම’ට ආ ජපන් තානාපති

අලුත් අවුරුදු උණුසුමේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යුහුසුලුව සිටියේ 24 වැනි උදා ගම්මානය වන හම්බන්තොට, ගල්වැව “සත්මිතුගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිරික්සමිනි. ඊට එක් විශේෂ හේතුවක් වූයේ මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ඉචි සුගනුමා මහතා වෙත ඇරයුම් කර තිබීමය. තානාපතිවරයා කලින්දා රාත්‍රිය ලැගුම් ගත්තේ හම්බන්තොට ෂැංග්‍රිලා  සංචාරක හෝටලයේය. උත්සවය පැවැත්වෙන ස්ථානයට තානාපතිවරයා කැටුව යාම සඳහා හෝටලය වෙත ගිය සජිත්ද සිය සුඛෝපභෝගී නිල රථයේ නංවාගත් ජපන් තානාපතිවරයා ප්‍රදේශයේ ජන ජීවිතය  පිළිබඳ  කතා බහ කළේය. සජිත් කීවේ “මේ වගේ දියුණු මහාමාර්ග පද්ධතියක සැප පහසු මෝටර් රථයක ගමන් කරනකොට අපට දැනෙන සුවය අභ්‍යන්තර ගම්මානවල ජීවත්වන දුප්පත් අහිංසක මිනිස්සුන්ට තවමත් උරුම වෙලා නෑ.” කියාය. “සත්මිතුගම” ගම්මානය පිළිබඳ ඉමහත් සතුටට පත්ව සිටි තානාපතිවරයා කීවේ රටටම ආදර්ශයක් වන “උදාගම්මාන වැඩපිළිවෙළ පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්, ස්වේච්ඡා හා සුභසාධන ආයතන දැනුම්වත් කර ඊට උපරිම මට්ටමින් ආධාර උපකාර ලබා දීමට තමන් කටයුතු කරන බවයි.

 

ජනපති මහනුවර

අලුත් අවුරුදු නිවාඩුව වුවද රටේම අවධානය යොමු වූවේ මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් ඇතිවූ විපත ගැනය. ආණ්ඩුවත්, දේශපාලන පක්ෂ මෙන්ම මහජනතාවත් වැඩි අවධානයක් යොමු කළේ ඒ කෙරෙහිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අලුත් අවුරුදු නිවාඩුව පසෙක තබා මීතොටමුල්ලේ ජනතාවට සිදුවූ විපතින් ඔවුන් මුදාගන්නට අවශ්‍ය කටයුතු වෙනුවෙන් දිගින් දිගටම මැදිහත් විය. ඒ වෙනුවෙන් ඇමැතිවරුන් නිලධාරින් වරින්වර කැඳවා අවශ්‍ය උපදෙස් දුන්නා පමණක් නොව ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ද අවස්ථා ගණනාවකදීම ගොස් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 15 වැනිදා උදේ මහනුවර බලා පිටත්ව ගියේ අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ ජාතික උත්සවයට සහභාගිවීමටය. එය සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. රාජිත සේනාරත්නල සුජාතා සේනාරත්නල තිලංග සුමතිපාල ඇතුළු කිහිප දෙනෙක්ද ජනාධිපතිවරයා සමග කොළඹ සිට හෙළිකොප්ටරයෙන් මහනුවර බලා පිටත්ව ගියහ.

ජනාධිපතිවරයා පිළිගන්නට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ සරත් ඒකනායක මහ ඇමැතිවරයාය. අනතුරුව ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ද සමග මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් මහනුවර දළදා මාළිගාවට ආවේය. දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ජනාධිපතිවරයා නාථ දේවාල භූමියට පැමිණියේ නැකැත් වේලාවට හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමටය. මැති ඇමැතිවරුන්ද සමග නැකතට හිසතෙල් ගාගත් ජනාධිපතිවරයා ඒ අසල පිහිටි හත්බෝධියේ රන්වැට විවෘත කරන්නට ගියේය. එම රන්වැට ඉදිකර තිබුණේ ජනාධිපති බිරිඳ ජයන්ති සිරිසේන හා දියණිය චතුරිකා සිරිසේන මහත්මීන් විසිනි. එහි සමරු ඵලකයේ ජනාධිපතිවරයාගේ නමද සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයා එය බලා කීවේ මොකටද මගේ නම මේකට දැම්මෙ. මම නොවෙයිනෙ හැදුවෙ කියාය. එම කටයුතු අවසන් වූ පසුව සරත් ඒකනායක මහ ඇමැතිවරයා ඇසුවේ සර් අවුරුද්දට කට්ටියට කතා කරන්න මන්දිරයට යනවාද කියාය. නෑ. මන්දිරයට යන්න ඕන නෑ. මෙතන ඉඳලම කට්ටියට කතා කරමු කියා ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සියලු දෙනා සමග කතා බහ කර අලුත් අවුරුද්දට සුබ පැතුවේය.


ශ්‍රීලනිප ලබන මැයි 1 වැනිදා මැයි දිනය සමරන්න යන්නෙ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයටය. එහි සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කරන්නට ශ්‍රීලනිප මැයි දින කමිටුව ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්වීමට නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, අනුර යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, මහනුවරින් සරත් අමුණුගම, එස්.බී. දිසානායක, මහ ඇමැති සරත් ඒකනායක, අනුරාධ ජයරත්න, එදිරිවීර වීරවර්ධන ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


මැයි දින කමිටුවේ මුලින්ම සාකච්ඡාවට ලක්වුණේ ගැටඹේ ක්‍රීඩාංගණයේ රැස්වීමට එන සෙනඟ හා රථවාහන සැලැස්ම ගැනය. සරත් ඒකනායක මහ ඇමැතිවරයා ඒ ගැන පැහැදිලි කිරීමක් කළේය. ඔහු රථවාහන සැලැස්ම ගැන පැහැදිලි කරන්නට මහනුවර පොලිසියේ ඉහළ නිලධාරියකුද කැඳවාගෙන විත් තිබිණි. ඔහු රථවාහන සැලැස්ම ගැන පැහැදිලි කළේය. පුත්තලම දිස්ත්‍රික්කයේ සෙනඟ ගෙන්වීමේ ගැටලු ගැන අනුරයාපාත්, දයාසිරි සහ මහ ඇමැති ධර්මසිරිත් කියා සිටියහ. ඔවුන් කීවේ පුත්තලමේ සංවිධාන කටයුතු දුර්වල නිසා අලුතින් සංවිධායකයන් පත්කරන්න කියාය. “ඔයාලා සුදුසු අය තෝරලා එවන්න, මම පත් කරන්නම්” යැයි ජනපති මෛත්‍රී කීවේය. අනුර යාපාත්, දයාසිරිත් කීවේ පුත්තලමට කඩිනමින් සංවිධායකයන් පත් කළොත් සෙනඟ ගෙන ඒම සාර්ථක කර ගත හැකි බවය. එස්.බී. දිසානායක ද එම අදහසම කීවේය.


අනතුරුව සාකච්ඡාවට ලක්වුණේ වෘත්තීය සමිති කටයුතු ගැනය. ලෙස්ලි දේවේන්ද්‍ර සාකච්ඡාවට පැමිණ සිටියේය. චන්දිම වීරක්කොඩි කීවේ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවල ප්‍රශ්නය තවම විසඳී නැති බවය. ජෝන් සෙනෙවිරත්න එය කඩිනමින් විසඳන බවට පොරොන්දු විය. දුමින්ද දිසානායක කීවේ සමහර දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතුවලට පිටින් දිස්ත්‍රික් නායකයින් පත්කර ඇතත් සංවිධාන කටයුතු හරියට සිදුව නැති බවය. කෑගල්ලෙත්, රත්නපුරෙත් එම ගැටලුව තිබෙන බව මන්ත්‍රීවරයෙක් කීවේය. එක් අයකු කීවේ මහීපාල හේරත් මහ ඇමැතිවරයා රත්නපුරේට පත්කර ඇතත් තවම සාකච්ඡාවකට දිනයක්වත් දී නැති බවය. ඔහු ඒ සඳහා දින නොදෙන බවද කීවේය. ඒකට තියෙන්නේ එයාලයි ගෙදර රැස්වීම දාගන්න එකනෙ යැයි ජනාධිපතිවරයා කීවේය. තවත් අයකු කීවේ මහීපාලගේ කඹ ඇදිල්ලක් තිබෙන බැවින් ඔහු රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ යුතු බවය. ඊට ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා දැඩි විරෝධය පළ කළේය. දුමින්ද දිසානායක ද කීවේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න වැඩ නොකරන සංවිධායකවරුන්ද ඉවත් කළ යුතු බවය. එහෙත් ජෝන් සෙනෙවිරත්න ඊට ද විරුද්ධ විය. මහීපාල ඉවත් කළ යුතු බවට ගෙනා යෝජනාවටද ජනාධිපතිවරයාගේ අනුමැතියක් නොලැබිණි. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකවරුන් ඉවත් කිරීමටද ජනාධිපතිවරයාගේ එකඟතාව පළ නොවීය. 

 

ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බ්‍රහස්පතින්දා උදේ කොටුවේ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානින් හමුවිය. රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, අනුර යාපා, කරුණාරත්න පරණවිතාන යන ඇමැතිවරුද ඊට සහභාගිවී සිටියහ. ජනාධිපතිවරයා කතාව පටන් ගත්තේ මාධ්‍ය ආයතනවලින් ලබාදෙන සහයෝගය අගය කරමින් ස්තුතිය පළ කරමින් ඉදිරියට එම සහයෝගය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා කීවේ සමහරුන් ආර්ථිකය කඩා වැටී ඇති බවට චෝදනා කළද දැන් එය හරි පාරට වැටී ඇති බවය. මෙරට විදේශ සංචිත ප්‍රමාණයද ඩොලර් බිලියන 5 දක්වා වැඩිවී ඇති බව ජනාධිපතිවරයා කීවේය. තේ, රබර් ඇතුළු අපනයනවලටද වැඩි මිලක් ලැබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය. මේ අතර ජනාධිපතිවරයා ඉඟියක් දුන්නේ රජයේ ඉහළ පුටුවල ළඟදී සිදුවන පෙරළියක් ගැනය. ඉදිරි සති දෙක තුළ රාජ්‍ය අංශයට නව මුහුණුවරක් දෙන බවත් රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ පෙරළියක් සිදුවන බවත් ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම පුවත්පත් කතුවරයකු ප්‍රශ්නයක් මතු කළේ ජනාධිපතිතුමනි, කැබිනට් සංශෝධනයත් ඒ සමග සිදුවන්නේද කියාය. ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේ “වෙසක් පෝයට කලින් බලාපොරොත්තු වන්න” කියාය. ඖෂධ මිල පහත හෙළීම ගැන ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා ඒ ගැන රාජිත සේනාරත්න ඇමැතිවරයාට ස්තුතිය පළ කළේය. “කිසිම ආණ්ඩුවක් කිසිම දවසක නොකරපු වැඩක්. කිසි කෙනෙක් අත තිබ්බෙ නැති වැඩක්. මම ඒ ගැන සෞඛ්‍ය ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා” යැයි ජනාධිපතිවරයා කීවේය. ඉදිරියේදීද එවැනි මිල අඩු කිරීම් කරන බව ජනාධිපතිවරයා කීවේය. “ලංගම සේවකයින්ගේ ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. සඳහා රුපියල් බිලියන 12ක් ගෙවල තිබුණේ නැහැ. නිමල් සිරිපාල ඇමැතිතුමා ඉන් බිලියන 6ක් දැනටමත් ගෙවලා. ඉතිරි ටිකත් ගෙවන්න කටයුතු කරමින් යනවා” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.


මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කීවේ ලංකාවේ මෑත සිදුවූ ලොකුම පාවාදීම පෝට් සිටි ගිවිසුම බවය. හෙක්ටයාර් 200ක් චීනයට සින්නක්කරව දීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට එය බදු පදනම මත ලබාදීම සඳහා ගිවිසුම සංශෝධනය කළ බවද ජනාධිපතිවරයා කීවේය.


සංවර්ධන කටයුතුවල ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සමහර ඇමැතිවරුන් දින ලබා නොදෙන බවට තමාට වාර්තාවී ඇතැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා කීවේ ඒ සඳහා කාල සටහනක් සකස්කර කොළඹින් යවන බවය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා එහි බලතල අඩු කිරීම යන යෝජනා දෙකම ඉදිරිපත්වී ඇති බව කී ජනාධිපතිවරයා තමා ඒ දෙකටම කැමැති බව කීවේය.


අනතුරුව ජනාධිපතිවරයා කතා කළේ මීතොටමුල්ලේ කුණු කන්දේ ප්‍රශ්නය ගැනය. ජනාධිපතිවරයා කීවේ සමහරුන්ට මේ කුණු කන්ද පවත්වාගෙන යාමේ වුවමනාවද තිබී ඇති බවය. මේ ප්‍රශ්නය දුරදිග ගියේ ආයතන අතර කඹ ඇදීමක් තිබුණු නිසා බව ජනාධිපතිවරයා කීවේය. මීතොටමුල්ලේ අවතැන් වූවන්ට කඩිනමින් නිවාස දෙන බවත් මේ ගැටලුව ඉතා ඉක්මනින් විසඳන බවත් කී ජනාධිපතිවරයා මෙම සිද්ධිය ගැන සෙවීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර මසක් ඇතුළත වාර්තාවක් ගන්නා බව කියා සිටියේය. ජනාධිපතිවරයා සාකච්ඡාව හමාර කළේ හැමෝටම උදේ කෑමට ආරාධනය කරමිනි. ඒ අනුව ජනාධිපතිවරයාද ඔවුන් සමග එක්ව කතාබහ කරමින් උදේ කෑම ගත්තේය. 

 

මහින්ද බලන්න දි.මු. තෑගි භෝගත් අරන් එයි

හිටපු ජනපති මහින්ද අවුරුද්දට සිටියේ තංගල්ල නිවසේය. හිටපු ජනාධිපතිවරයා බලන්නට ඒකබාද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරු අලුත් අවුරුද්ද ලබන්නටත් පෙර තෑගි භෝග රැගෙන කාල්ටන් නිවසට ආවෝය. මේ අතර අලුත් අවුරුද්ද දිනයේ තවත් අමුත්තෙක් මහින්ද බලන්නට ආවේය. ඔහු කාලයක් තිස්සේම මහින්ද බලන්නට අලුත් අවුරුදු දිනයේ තංගල්ල නිවසට එන කෙනෙකි. ඒ හිටපු අගමැති දි.මු. ජයරත්න සහ ඔහුගේ බිරිඳ අනුලා යාපා ජයරත්නය. දි.මු. සිය බිරිඳ සමග ආවේ කැවිලි පෙවිලි ඇතුළු තෑගි බෝග පොඳි බැඳගෙනය. වත්මන් ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමැති ධුරය දරන අනුරාධ ජයරත්න ද දි.මු. සමග මහින්ද බලන්නට පැමිණ සිටියේය. අනුරාධ දුටු අයකු ඇසුවේ මෙහේ ආව කියල ඇමැතිතුමාට ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ නේද? කියාය. “එහෙම වෙන්නෙ කොහොමද මම අවුරුදු අටක් තිස්සේ මහින්ද මහත්තයා බලන්න අප්පච්චිත් එක්ක අවුරුද්දට එනවා. අපේ අප්පච්චිට මහින්ද මහත්තයා කරපු උදව් අපට අමතක නැහැ. මම යුතුකම් අමතක කරන කෙනෙක් නෙවෙයි” යැයි අනුරාධ උත්තර දුන්නේය.


මේ අතර දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හා හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් අලුත් අවුරුද්දට මහින්ද බලන්න ගොස් අමුතු ආකාරයේ අවුරුදු උත්සවයක් 

පැවැත්වූහ. මේ පිරිස නිවසට එද්දී මගටම ගොස් පිළිගනු ලැබුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි. මේ අවුරුදු උත්සවයේ අලියාට ඇස තැබීම වෙනුවට පැවැත්වුණේ රත්තරන් අශ්වයාට ඇස තැබීමය. සැඟවුණු අමුත්තා සෙවීම වෙනුවට තිබුණේ මහ බැංකු හොරා සෙවීමේ තරගයකි. ලැම්බෝගිනි සෙවීමේ තරගයක්ද පැවැත්වුන අතර ලැම්බෝගිනි සෙල්ලම් කාර් සොයන්නට මන්ත්‍රීවරු තංගල්ලේ සෙල්ලම් බඩු කඩ පීරන්නට වූහ. මේ උත්සවයේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමුණේ මහින්දගේ අතිනි. තෑගි ලෙස පිරිනැමුණේ හෙලිකොප්ටර් සහ ලැම්බෝගිනි කාර්ය.


ඩලස් අලහප්පෙරුම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාය. ඔහුගේ මෑණියන් අභාවප්‍රාප්ත වූයේ අලුත් අවුරුද්දට දින දෙක තුනකට පෙරය. ඩලස්ගේ පියා මිය ගියේ මීට අවුරුදු දෙක තුනකට ඉහතදීය. එවෙලේ ඔහු කළේ පියාගේ අවසන් කටයුතු පැය 24න් අවසන් කිරීමය. මෙවරද කිසිවකුටත් කරදර නොකර සිය මවගේ අවසන් කටයුතුද චාම් අන්දමින් පැය 24ක් තුළ සිදු කිරීමට ඔහුට අවශ්‍යව තිබිණි. එහෙත් දේහය කොළඹ සිට මාතරට ගෙනයාමට ප්‍රමාද වූ නිසා එම උත්සාහය මග හැරී ගියේය. එහෙ

ත් එය පැය 30ක් තුළ අවසන් කරන්නට ඔහු කටයුතු කළේය. සිය මවගේ අවමඟුල් උළෙල සුදු කොඩියක් පමණක් දමා චාම් අන්දමින් කෙරෙන බැවින් ඒ ගැන මාධ්‍ය හරහා ප්‍රචාරය නොකරන්නැයි ඩලස් මාධ්‍යවලින්ද ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව සිය මවගේ අවසන් කටයුතු මාතර රදම්පලදී සිදුවූයේ ඉතා චාම් අන්දමිනි. මාධ්‍යවලින් ප්‍රචාරය නොවුණද මළ ගෙදර ගැන දැනගත් ආණ්ඩුවේ, විපක්ෂයේ කියා භේදයක් නැතිව මැති ඇමැතිවරු සියලු දෙනාම පාහේ රදම්පල නිවසට පැමිණ ශෝකය පළ කළහ. එපමණක් නොව ඔහුගේ හිතවත්හුද විශාල පිරිසක් මළ ගෙදරට පැමිණ සිටියහ. 


ජාතික හෙළ උරුමයේ බුද්ධ ශාසන, සංස්කෘතික අනු මණ්ඩලය රැස්වූයේ පක්ෂයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමේ ප්‍රශ්නය නිසා රැස්වීම් කිහිපයකට සහභාගිවූ චම්පික රණවක ඇමැතිවරයා මේ සාකච්ඡාවට පැමිණියේ තරමක් ප්‍රමාද වෙලාය. සාකච්ඡාවට සහභාගි වූ පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කියා සිටියේ “අපි සිංහල අවුරුදු උත්සවයක් සංවිධානය කළා. මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන හිතලා අපි ඒක නතර කළා” කියාය. චම්පික රණවකද කීවේ ඒක හොඳයි අපේ හාමුදුරුවනේ. අවතැන්වූ ජනතාවට අපිට පුළුවන් ආකාරයෙන් උදව් කරන්න ඕන. අපේ අමාත්‍යංශයෙනුත් විශාල වැඩ කොටසක් ඒ වෙනුවෙන් කරනවා කියාය.


මහින්ද අමරවීර ඇමැතිවරයා, අගමැතිවරයා සමග වියට්නාමයේ සංචාරයට ගොස් පැමිණ අලුත් අවුරුද්දට වැඩ භාර ගන්නට අමාත්‍යංශයට ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා දවල්ය. උදේ පාන්දර ජනාධිපතිවරයාද මුණ ගැසී අනතුරුව පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකටද එක්වූ අමරවීර, අමාත්‍යංශයට යනවිට සවස 1.00 පමණ වී තිබිණි. ඔහුට බඩ ගිනි වී කෑම එකක් සොයන්නට සේවකයකු යැව්වද ඒ ප්‍රදේශයේ කඩවල් අවුරුද්ද වෙනුවෙන් වසා තිබුණු නිසා කෑමට ඉතිරිවී තිබුණේ රෝස් පාන් හා පරිප්පු පමණි. අමරවීර ඔහුට කියා තිබුණේ කමක් නෑ රෝස් පාන් හරි ගේන්න කියාය. ඒ අනුව සේවකයා රෝස් පාන් හා පරිප්පු මල්ලක් රැගෙන ආවේය. මහින්ද අමරවීර අමාත්‍යංශයේද අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තේ රෝස් පාන්, පරිප්පු සමග කෑමෙනි. 

 

 

ජවිපෙ

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමිවීමෙන් පසුව කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ රට තුළ විශාල සංවාදයක් මතුවී තිබේ. මේ අතර ජවිපෙ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කළ කාලය තුළ සිදුකළ කසළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳවද සමාජ ජාලවල සංවාද මතුවෙමින් තිබේ. පසුගිය අප්‍රේල් මුල් සතිය දක්වා දේශපාලන කටයුතු කිහිපයක් සඳහා කැනඩාවට ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිටද මේ කසළ ප්‍රතිචක්‍රීයකරණය සඳහා සමාගමක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයෙකු හමුවීමට අවස්ථාව උදාවිය. මන්ත්‍රීවරයා කැනඩාවට ගොස් සිටියේ එතෙර අපි සංවිධානයේ ආරාධනාවකට අනුවය. කසළ ප්‍රතිචක්‍රීයකරණ සමාගම පවත්වාගෙන යන තරුණයා සුදේෂ් නම් වන අතර ටොරොන්ටෝ නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කොට සාදනු ලබන නිෂ්පාදනයක් ටෙක්සාස් නගරයට අපනයනය කරනු ලබයි. ඔහු සමඟ කතාබහ කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාව උදාවූ අතර ලංකාවේ මීතොටමුල්ල කුණු කන්දට ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීමට ගොස් ඔහුට අත්විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීමක් මන්ත්‍රීවරයාට දැන ගන්නට ලැබිණි. “මම කැනඩාවට ආවේ ජොබ් එකක් හොයාගෙන. ඒත් දැන් මම කැනඩාවේ ව්‍යාපාරයක් කරනවා. ටොරොන්ටෝ නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කරලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා.

ඒකෙන් හොඳ ආදායමක් ලබනවා. මගේ යාලුවන්ගේ ඉල්ලීමකට අනුව මීතොටමුල්ල කුණු කන්දටත් මම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළා. මම ඒක කළේ ශ්‍රී ලංකාවට ආදරේ නිසා. නැත්නම් මට ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ මැෂින් හයිකරලා නිෂ්පාදනයක් කරලා ටෙක්සාස්වලට යවන එක පාඩුයි



අදහස් (0)

පුටු පෙරැළියකට ජනපති ඉඟි කරයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site