IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් සභා ඡන්දයට ඇමැති මත ගැටුම්

  • බන්දුල අගමැතිට හැදූ සින්දුව
  • සමගිජන බලවේගය පාරට බසියි

 

 

‍2021 උදාවන්නට තවත් ඇත්තේ හරියටම දින 11ක් පමණි. මේ අවුරුද්දේ මාස 12න් 9ක්ම ගතවූයේ කොරෝනා සමගය. ඒ නිසාම පසුගිය මාස කිහිපයේ මෙන්ම තවමත් රටම කතා කරන්නේ කොරෝනා ගැනය. ආණ්ඩුවට ද දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇත්තේ කොරෝනා වයිරසයෙන් ජනතාව ​බේරා ගැනීම වෙනුවෙනි. කොරෝනාවෙන් ජන ජීවිතයට මෙන්ම රටේ ආර්ථිකයට ද එල්ල වූයේ මරු පහරකි.


සතියේ කැබිනට් රැස්වීම තුන්වැනි සතියටත් ගිය සඳුදා පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසේ සිට ද කැබිනට් රැස්වීමට සහභාගි වූයේ ඔන්ලයින් ඔස්සේය. ඇමැතිවරුන් සිය අමාත්‍යාංශවල කාර්යාලයේ සිට කැබිනට් රැස්වීමට සහභාගි වූ අතර ජනාධිපතිවරයා සම්බන්ධ වන තෙක් ඇමැතිවරු ආගිය තොරතුරු කතා කරමින් සිටියහ. අනතුරුව කතාව අලි ගැන කතාබහකට යොමු විය. වැඩියෙන්ම අලි මැරෙන රට ලංකාව කියලා මාධ්‍යවල ගිය ප්‍රවෘත්තිය දැක්කාදැයි රමේෂ් පතිරණ ඇසුවේ සී.බී. රත්නායකගෙනි. සී.බී. කීවේ අලි ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙන බවය. වාසුදේව විමසා සිටියේ මේ තරම් කුඩා භූමි ප්‍රදේශයක මේ විදියට අලි ඉන්න රටක් ලෝකෙ තිබෙනවා ද යනුවෙනි. ලංකාවේ අලි කොපමණ සිටිනවාදැයි රමේෂ් පතිරණ නැගූ ප්‍රශ්නයට උත්තර දෙමින් සී.බී. කීවේ 2011 සංගණනයට අනුව අලි 7200 ක් පමණ සිටින බවය.


මහින්දානන්ද කතාව වෙනතකට යොමු කළේ බන්දුල ගුණවර්ධන ඇවිස්සීමේ අදහසිනි. “අපේ වෙළෙඳ ඇමැතිතුමා හිටියට වැඩක් නෑ. බඩුමිල නම් හොඳටම වැඩියිනේ” යැයි මහින්දානන්ද කියද්දී බන්දුල ද කීවේ ඊට නොදෙවැනි කතාවකි. කොහෙද මේ කෘෂිකර්මෙත් එක්ක බැහැනේ. බන්දුල කියද්දී හැමෝටම හිනාය. වෙනත් අමාත්‍යාංශයක් යටතේ තිබුණු වාණිජ දෙපාර්තමේන්තුව බන්දුලගේ අමාත්‍යාංශය යටතට ගැසට් කළේ මෑතක දීය. විමල් වීරවංශ කීවේ වානිජ දෙපාර්තමේන්තුව ගැසට් කළාට පසුව බන්දුලගේ මූණේ සිරියාව වැඩිවී ඇති බවය. ඔබතුමා යටතේ තියෙන ආර්ථික මධ්‍යස්ථානවලින් කොළඹ ටික මට දෙන්න. මම ඒක බලාගන්නම් යැයි බන්දුල කීවේ විමල්ටය. කොළඹ ආර්ථික මධ්‍යස්ථාන හැර වෙන ඕනෑ දෙයක් දෙන්නම් විමල් උත්තර දුන්නේය. මේ කතාබහ යන අතරේ අගමැතිවරයා ද ඔන් ලයින් ඔස්සේ සම්බන්ධ විය.
“දැයේ විරුවා ඔබයි කියලා මම අගමැතිතුමාට සින්දුවක් හදල දුන්නා” යැයි බන්දුල කියද්දී අගමැතිවරයා කීවේ ඒක රේඩියෝ එකේ යන්නෙ නැති නිසා අහන්න විදියක් නැති බවය. සී.බී ද කතාබහට එක් වූයේ බන්දුලට විහිළුවක් ද කරමිනි. “සර් ඒවා ලියනවා විතරයි. රේඩියෝවේ යන්නෙ නෑ.” සී.බී. කීවේය. විමල් ද සී.බී. ගේ කතාවට එක්ව බන්දුලට විහිළුවක් කළේය. “ඔය සින්දුව හදල දුන්නෙත් අර වාණිජ දෙපාර්තමේන්තුව ගැසට් කරගන්න. ආර්ථික මධ්‍යස්ථාන ටික ගන්න තව සින්දුවක් හදල දෙන්න” යැයි විමල් කීවේ හැමෝම හිනස්සමිනි.


අනතුරුව ජනාධිපතිවරයා සම්බන්ධව වූ බැවින් කැබිනට් රැස්වීම ආරම්භ විය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දියුණු කිරීමට අදාළ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ විමල් වීරවංශ ඇමැතිවරයා විසිනි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එයාර්පෝට් එකේ ඩියුටි ෆ්‍රී ෂොප් එකක් දෙන්නම් යැයි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා යෝජනා කළේය. එය ලොකු දෙයක් යැයි විමල් කියද්දී සී.බී. ද ඉල්ලීමක් කළේ වනජීවී එකටත් එයාර් පෝට් එකේ ඉඩක් දෙන්නැයි කියමිනි. එයාර්පෝට්වල සත්තු දාන්න බැහැනේ යැයි විමල් කීවේ සී.බී.ට විහිළුවක් කරමිනි. නැහැ මම සත්තු දාන්න ඉල්ලුවෙ නෑ මම ඉල්ලුවෙ සත්තු බලන්න එන අයට ටිකට් විකුණන කවුන්ටරයක් දාන්න යැයි සී.බී. කීවේය.


වසර ගණනාවක් තිස්සේ කල්යමින් තිබුණ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අදාළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා විසිනි. මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම නොයෙකුත් වාද විවාද ආණ්ඩුව තුළ ඇතිවිය. ජනක බණ්ඩාර ඇමැතිවරයා නිලධාරීන්ගේ සාකච්ඡාවක දී ද කියා තිබුණේ ආණ්ඩුකාරවරුත් නිලධාරිනුත් පළාත් සභාවල ඉද්දි ඡන්දය විතරක් පවත්වන්නෙ නැතිව තිබෙන බවය. පළාත් සභාවලට ආණ්ඩුවෙන් මුදලුත් වෙන් කරන්නේ නම් ඡන්දය නොතියන්නේ ඇයිද යන්න ගැටලුවක් බව ද ඔහු කීවේය. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීමට ජනක එම සංදේශය ඉදිරිපත් කර තිබූ අතර පැරැණි ක්‍රමය යටතේම ඡන්දය තබන්නැයි යෝජනා කර තිබුණි. ජනකගේ යෝජනාවට මුලින්ම විරුද්ධ වූයේ බන්දුල ගුණවර්ධනය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තියෙන වේලාවෙ පළාත් සභාවලට විරුද්ධව රටේ ලොකු විරෝධයක් තියෙනවා. එහෙම තියෙද්දි හදිසියෙ පළාත් සභා ඡන්දය තිබ්​බොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් යැයි බන්දුල කීවේ දීර්ඝ පැහැදිලි කිරීමකට මුල පුරමිනි. වාසුදේව කීවේ ඊට තරමක් වෙනස් කතාවකි. මහජනතාවගේ නියෝජිතයන් නැති පළාත් සභා තියෙනවා. මේක ලොකු අර්බුදයක් යැයි ඔහු කීවේය. බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයකු ද වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කතාවට මැදිහත් වූයේ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු යැයි කියමිනි. ‘‘පසුගිය ආණ්ඩුව කාලෙ පළාත් සභා ඡන්දය තියන්න කියල අපි ලොකු සටනක් ගෙනගියා. අපිට ජනාධිපතිතුමා පත්කරන්න ආණ්ඩුව හදන්න මහන්සිවුණු පිරිසක් අද එළියට වෙලා ඉන්නවා. නිලධාරින් වැඩ කරගෙන ගියත් සමහර වැඩ ජනතා හිතකාමී විදියට වෙන්නෙ නෑ. ඒ නිසා ඉක්මනින්ම පළාත් සභා ඡන්දය තියන්න’’ප්‍රසන්න කීවේය.


ප්‍රසන්නගේ අදහස් අනුමත කරමින් කතා කළේ වෛද්‍ය රමේෂ් පතිරණය. ‘‘දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ රටේ කිසියම් ගැටලුවකට විසඳුමක් විදියටයි. නිශ්චිත විසඳුමක් දෙනකම් ඒ ආයතන පවත්වාගෙන යන එක හොඳයි. ව්‍යවස්ථාව වෙනස් කළාට පස්සෙ ඒ ගැන බලාගමු. හැබැයි ඒ වන තෙක් ඡන්දය කල්දාන්න බැහැ. අපි ඉක්මනින් ඡන්දය තියලා ඊළඟ වතාවෙ සංශෝධනවලට යමු’’ යැයි රමේෂ් කීවේය. එහෙත් දිනේෂ් ගුණවර්ධන සිටියේ රමේෂ්ගෙ අදහසට විරුද්ධ මතයකය. ‘‘මේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරන බව ඔබතුමා ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් කිව්වා. මහින්ද රාජපක්ෂ රජයේ අවසන් කාලයේ දී පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අපිට පුළුවන් වුණා. හැබැයි හිටපු අගමැතිතුමා පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන එක හිතාමතා පරක්කු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කමිටුවකුත් පත්කරල තියෙද්දී අපි පරණ ක්‍රමයට ඡන්දෙට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලයි මම කියන්නෙ’’ යැයි දිනේෂ් කීවේ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි තබා ඇති විශ්වාසයත් මෙමගින් පළුදු විය හැකි බව ද සඳහන් කරමිනි.


වාසුදේව කීවේ පළාත් සභා ප්‍රශ්නයයි, ඡන්ද ක්‍රමයයි මේ දෙක එකට පටලවා ගත්තොත් ගැටලුවක් ඇති වන බවය. ‘‘අපි ඡන්ද ක්‍රමය ගැන ගැටලුව පැත්තකින් තියමු. පළාත් සභා තියන එකෙත් කිසියම් ගැටලුවක් වෙයිද කියන එකයි මට තියෙන ප්‍රශ්නය’’ වාසු කියද්දි දිනේෂ් වාසුගේ ප්‍රශ්නයට උත්තර දුන්නේය.


‘‘ඇමැතිතුමා මේ පත්‍රිකා​ෙව තියෙන්නෙ ඡන්ද ක්‍රමය ගැනයි. මෙතන හිරවිල්ල තියෙන්නෙ ඡන්ද ක්‍රමය ගැනයි. ඒක නිසා මේක හදිස්සි කරන්න ගියොත් අවුලක් ඇති වෙන එකයි මම කියෙන්නෙ’’ යැයි දිනේෂ් පැහැදිලි කළේය. ප්‍රසන්න රණතුංග දිගින් දිගටම අදහස් දක්වමින් කීවේ පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න කියාය. ක්‍රමයක් හඳුන්වා දෙනකම් පරණ ක්‍රමයට ඡන්දය තියමු. 2015 දී පැරදුණාට පස්සෙ මේක ඇදගෙන ගියෙ ඔය පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න හැබැයි එතෙක් පළාත් සභා ඡන්ද ඉක්මනින් තියන්න’’ ප්‍රසන්න කීවේය.


දිනේෂ් කතා කළේ ප්‍රසන්නගේ ප්‍රශ්නයට ද උත්තරයක් දෙමිනි. ‘‘අපි හදපු පළාත් පාලන මැතිවරණ ක්‍රමයට නෙවෙයි රනිල්ලා පළාත් පාලන ඡන්දය තිබ්බෙ. රනිල්ලා මේක නාඩගමක් කළා. මම කියන්නෙ අපි මේ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගන්න ඕනෑ කියලයි.’’ දිනේෂ් කියද්දි මේ වෙලාවෙ ඡන්දය තියන එක සුදුසු නැති බව විමල් වීරවංශ කීවේය. ‘‘කොරෝනා තත්ත්වය යටතේ ඡන්දයක් තියන එකට සාමාජය තුළ මේ වෙලාවෙ හොඳ ප්‍රතිචාරයක් නැහැ. අපි ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි.’’ විමල් කීවේ කොවිඩ් ප්‍රශ්නය ද මතු කරමිනි. පළාත් සභා ක්‍රමයට දිගින් දිගටම විරුද්ධව සිටි සරත් වීරසේකර ද කීවේ මේ වෙලාවේ පළාත් සභා ඡන්දයට නොයා යුතුය යනුවෙනි.


සරත් වීරසේකර ඒ ගැන දිගු විස්තරයක් ද කළේය. “ඔබතුමාගෙ සංකල්පය ‘එක රටක් - එක නීතියක්’ කියන එකයි. හැබැයි පළාත් විෂයන් සම්බන්ධයෙන් පළාත් නවයට නීති නවයක් හදන්නත් පුළුවන්. ඒ නිසා අපි පළාත් සභා අවශ්‍ය ද කියන එක ගැනත් දෙපාරක් හිතන්න ඕන. කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපන විෂයන්වලට පළාත් සභා ඇමැතිවරුන් ඉන්නවා. ඔක්කොම ඇමැතිවරුන් 10ක් විතර රටේම හිටියා. නමුත් මොකද වුණේ? වසර තුනක් පළාත් සභා තිබුණෙ නැහැ කියල රට ආපස්සට ගියාද? නැහැ. මේ දහතුන්වැනි සංශෝධනය අපි මත බලෙන් පටවපු එකක්. මම නම් කියන්නෙ අපට පළාත් සභා අවශ්‍ය නැහැයි කියලයි’’ සරත් වීරසේකර කීවේ පළාත් සභා ක්‍රමය ගැන ඔහුට තියෙන විරෝධය ද සඳහන් කරමිනි. මේ කතාබහ තවදුරටත් ඇදී යාම වැළැක්වීමට මැදිහත් වූයේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාය. ඔහු කීවේ මේක පක්ෂ නායක මට්ටමින් තීරණය කළ යුතු දෙයක් බවය. අපි මේක මෙතන කතා කරල වැඩක් නැහැ. පක්ෂනායක රැස්වීමට දාලා මන්ත්‍රී කණ්ඩායමේ ද අනුමැතිය අරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි වැඩිය සුදුසු යැයි නාමල් යෝජනා කළේය. ජනාධිපතිවරයා සිටියේ ද නාමල් අදහසට සමාන අදහසකය. මෙය පක්ෂ නායකයන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡා කර තීන්දුවක් ගතයුතු බව ජනාධිපතිවරයා කීවේ කැබිනට් පත්‍රිකාව ගැන සාකච්ඡාව පසුවට කල් තබමිනි.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ මාතර ගියේය. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පියාගේ මළගෙදරට සහභාගි වීමටය. අගමැතිවරයා මළගෙදරට යද්දී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද එහි පැමිණ සිටියේය. දේහයට අවසන් ගෞරව දක්වා රාජිත සමග ද කතා කර අගමැතිවරයා පිටව ගියේය.


කෙහෙළිය ඕකිඩ් පැළයකුත් අරන් අගමැති හමුවෙයි


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වන සංවත්සරය ගිය සතියේ යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී දෙමුහුන් ඕකිඩ් මලක් ද නම් කෙරිණි. ඩෙන්ඩ්‍රෝබියම් රේඩියෝ සිලෝන් ලෙස නම් කෙරුණු ඕකිඩ් මලක් ද සහිත පැළයක් ගෙන අගමැතිවරයාට නිල වශයෙන් පිළිගන්වන්නට කෙහෙළිය මහින්දගේ විජේරාම නිල නි​ෙවසට ගිය බද‌ාද‌ා උදේම ගියේය. ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ද ඊට එක්වූහ. ඕකිඩ් පැළය අගමැතිවරයාට නිල වශයෙන් පිළිගැන්වීමෙන් අනතුරුව ගුවන්විදුලියෙ අතීතය ගැන මහින්ද පිරිස සමග කතාබහ කළේය. අනූව දශකයේ එෆ්.එම්. නාළිකා ඒමට පෙර තිබුණ ගුවන් විදුලියෙ එද‌ා ගැයුණු ගී තමාට තවමත් මතක යැයි මහින්ද කීවේ අතීත සිදුවීම් ද සිහිපත් කරමිනි.


බැසිල් ‘වැඩ සමග යළි ගමට’


ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අලුත් වැඩසටහනක් සමග මේ දිනවල රටපුරා යමින් සිටී. එය නම් කර ඇත්තේ ‘වැඩ සමග යළි ගමට’ යනුවෙනි.


පළාත් මට්ටමින් පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමුවැන්න ගිය සතියේ ආරම්භ වූයේ දකුණු පළාතෙනි. මාතර රුහුණු විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති වැඩ සමග යළි ගමට වැඩසටහනට කතානායක මහින්දයාපා අබේවර්ධන ද සහභාගි වූයේ ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන බැවිනි. ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, වීරසුමන වීරසිංහ, නිපුණ රණවක, ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු ද ආණ්ඩුකාර විලී ගමගේ හා රාජ්‍ය නිලධාරීහු ද ඊට සහභාගි වී සිටියහ. බැසිල් වැඩසටහන ආරම්භ කරමින් කීවේ ආපස්සට ගිය රට යළි ගොඩ නැගීමට සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බවය.


පාසල් ඇරීම ගැන ජී.එල්., පවිත්‍රා සාකච්ඡාවක


දැනට පාසල් විවෘත කර ඇති ප්‍රදේශවල ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමටත් උපකාර පන්තිවලට අවසර දීමට සහ පෙර පාසල් යළි විවෘත කිරීමටත් රජය තීරණය කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡාවක් ගිය බ්‍රහස්පතින්ද‌ා පැවැත්වූයේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ මූලිකත්වයෙනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ද සහභාගි වූ මේ හමුවේ දී කතාබහට ලක්වූවේ පාසල් ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමේ දී සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු අන්දම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර මේ සති අන්තයේ දී මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාට ලබා දීමට නියමිතය. ඒ අනුව පාසල් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ජී.එල්. මේ සතියේ දී ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.


සජිත් ගමින් ගමට


කොරෝනා දෙවැනි රැල්ල නිසා සමගි ජන බලවේගය ගමට ගෙන යාමේ වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට සිදුවිය. එහෙත් පසුගිය සතියේ දී නැවත වරක් එම වැඩසටහන් ආරම්භ කළේය.
විපක්ෂ නායක සජිත් මාතර දිස්ත්‍රික්කයෙන් ‘ගමින් ගමට - දොරින් දොරට රට වටා’ වැඩසටහන ආරම්භ කළේ ගමේ පාක්ෂිකයන් හමුවෙමිනි.


මේ සඳහා පසුගිය මැතිවරණයේ දී පොදුජන පෙරමුණට සහාය ලබාදුන් පුද්ගලයින් රැසක් ද පැමිණ සිටියහ. ඒ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමටය. මෙසේ පැමිණ සිටි අය අතර කුඩා තේවතු හිමියෝ ද වූහ. කඩා වැටෙමින් තිබෙන කුඩා තේවතු කර්මාන්තය ගැන ඔවුහු විපක්ෂ නායකවරයාට කරුණු දැක්වූහ.
“දැන් නම් ඉතිං ගම්වල පොහොට්ටුවට ඡන්දය දුන්න අය හොයාගන්නවත් නෑ” බුද්ධික පතිරණ කීය.
“බොරු කරන්න, රවට්ටන්න ටික කාලයක් පුළුවන් වෙයි. ඒත් ගොඩක්දුර බොරුවෙන් යන්න බෑ. බොරුවෙන් ආපු මේ ආණ්ඩුවටත් ගොඩක් දුර යන්න බෑ” සජිත් පැහැදිලි කළේය.


“අද ආණ්ඩුවේ සමහර ඇමැතිවරු එයාලට සලකන්නේ නෑ කියලා නාහෙන් අඬනවා” බුද්ධික කීවේය.
“එයාලා අඬන්න ඕන එයාලට සලකන්නේ නැති එකට නෙවේ. හරිනම් අඬන්න ඕන ජනතාවට සලකන්නේ නැති නිසා” සජිත් බුද්ධිකට කීවේය.


එදිනම ජනතාවාදී කම්කරු පෙරමුණේ නායක, සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකව සිටි නාත් ගමගේ මහතා හමුවීමට ඒ මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය. පසුදා සජිත්, සනත් ජයසූරිය මහතාගේ පියාගේ මළගමට සහභාගී වීමට ද අමතක නොකළේය.


සජබ විරෝධය පාරට


ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය ආරම්භ කර ඇති විරෝධතා මේ වන විට කොළඹින් පිට දිස්ත‍්‍රික්කවල ද ක්‍රියාත්මක කරමින් තිබේ. මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන විරෝධතාවක් පසුගිය සතියේ දී කඩවත නගරයේ දී පැවැත්විණි. විපක්ෂ නායකවරයා සමග ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, කාවින්ද ජයවර්ධන, රාජිත සේනාරත්න, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජේ.සී. අලවතුවල, පාඨලී චම්පික රණවක, තිස්ස අත්තානයක, තුෂාර ඉඳුනිල්, හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත‍්‍රීවරු එක්වූයේ නිරෝධායන නීති අනුගමනය කරමිනි.


“බන්ධනාගාර රැඳවියන් ඉල්ලා සිටියේ සාධාරණ ඉල්ලීම්. පී.සී.ආර්. ඉල්ලපු රැඳවියන්ට වෙඩි උණ්ඩ දීපු ආණ්ඩුවක් තමයි මේ” විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


අලු‍ත් පත්වීම්


සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යද්දී සිවිල් සමාජය හා නීති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වැඩි අවධානයක් යොමු කර තිබුණේය. රට වටා සිටින සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක් කරගැනීම සඳහා අලු‍ත් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි වගකීම විපක්ෂ නායකවරයා පවරා ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන චමීර පෙරේරාටය. ඔහුට විපක්ෂ නායකවරයාගේ සිවිල් සංවිධාන සම්බන්ධීකරණ ලේකම් ධුරයක් ද ලබාදුන්නේය.
‘‘සාමාන්‍ය ජනතාව, සිවිල් සංවිධාන දැන් මේ ආණ්ඩුවට විරුද්ධව එළියට බහිනවා. මේ අයට අපි ශක්තිය ලබාදිය යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුව සිවිල් සංවිධානවලට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම සිවිල් සංවිධාන ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න’’ විපක්ෂ නායකවරයා උපදෙස් දුන්නේය.


මේ අතර නීති ක්ෂේත‍්‍රයේ කටයුතු සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු කිරීමට විපක්ෂ නායකවරයාගේ නීති කටයුතු පිළිබඳ පුද්ගලික ලේකම්වරයා ලෙස නීතිඥ ගුණරත්න වන්නිනායක පත් කළේය.
පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂයෝ මේ වන විට සමගි ජන බලවේගය සමග එක්වෙමින් සිටිති. මහනුවර දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ජනාර්ත් රාජරත්නම් හා අබ්දුල් මුතාලිෆ් විපක්ෂ නායකවරයා හමුවී සමගි ජන බලවේගයට සහාය දැක්වූහ.


පසුගිය දිනවල සජිත් රට වටා විහාරස්ථාන වෙත ගොස් ඒවායේ මහ සඟරුවන බැහැදුටුවේය. පසුගිය දිනවල සජිත් කොළඹ විශේෂ විහාරස්ථාන දෙකකට ගියේය.


කොළඹ ධර්මායතනය වෙත ගිය විපක්ෂ නායකවරයා ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවේය.
“හාමුදුරුවනේ, සුචරිතය මුල් කරගෙන මම සමාජ සංස්කෘතික පුනර්ජීවනයකට කටයුතු කරනවා. ඒ සඳහා ආශිර්වාදය ලබාදෙන්න” විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.


“ඔබගේ පියා එක්ක මම ළඟින්ම වැඩ කළා. එතුමා ජනතාවාදී නායකයෙක්. මමත් එතුමා වගේම ජාතිවාදය පිටුදකිනවා” ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.


“දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක් තුළින් රටේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය උපදෙස් මම ලබාගන්නවා” විපක්ෂ නායකවරයා තමන්ගේ දේශපාලන වැඩසටහන ගැන ද සිහිපත් කළේය.
ඉන්පසුව ඔහු ගියේ ඇලන් මැතිනියාරාමයටය. ඒ උඩුවේ ධම්මාලෝක හිමියන් මුණගැසීමටය.
“මේ රට ඉදිරියට ගෙන යාමට අවංක සහ ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් බිහිවීමට තවමත් හිස් තැනක් තිබෙනවා. සාම්ප‍්‍රදායික විපක්ෂයක් බවට පත් නොවී නූතනවාදී විපක්ෂයක් ලෙස කටයුතු කිරීම වැදගත්” ධම්මාලෝක හිමියන් කීවේ විපක්ෂ නායකවරයාට පිරිත් සජ්ඣායනා කිරීමෙන් පසුවය.


නත්තල් කලින්ම


විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කරන නත්තල් සමරු වැඩසටහන විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.


“අපි මෙවර නත්තල සමරන්නේ මුළු ලෝකයම මුව ආවරණ දමාගෙන ඉන්න අවස්ථාවක. මෑත ඉතිහාසයේ මුහුණ දුන්න බරපතළම ලෝක වියසනය අතරේ තමයි නත්තල සමරන්නේ. මහ මැදුරට වගේම දුගී පැලටත් නත්තලේ සතුට ලැබිය යුතුයි” විපක්ෂ නායකවරයා කීය.


කොරෝනාවෙන් මියයන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ ආදාහනය නොකර භූමිදානය සඳහා අවසර ලබාදෙන්නැයි යන ඉල්ලීම මුස්ලිම් ප්‍රජාවේ යම් පිරිසක් වෙතින් මතුව තිබේ. එහෙත් බෞද්ධයන් කියන්නේ එසේ නම් සිංහල ඇතුළු අන් ජාතීන්ට ද මෘතදේහ භූමදාන කිරීමේ අයිතිය ලැබිය යුතු බවය. සමගි ජන බලවේගයේ කබීර් හෂීම් සහ ඉමිටියාස් බාකීර් මාකාර් යන මන්ත්‍රීවරු ද මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමේ අවශ්‍යතාව ගැන ඉකුත්දා කතා කළහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් මේ ගැන විමසූ විට රංජිත් පැවසුවේ මෙබඳු පිළිතුරකි.


“මේ ගැන අපේ ප්‍රතිපත්තිය කියන්න කලින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපිට කියන්න එපායැ... අද සිංහල බෞද්ධයාට පාංශු කූලය දෙන්න බැරි තත්ත්වයට පත්වෙලා. මුස්ලිම් අයට සිරුරු භූමදානය කරන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ අර්බුදය හැදුවේ ආණ්ඩුවයි. අද එයාල ඒක විසඳගන්න කොන්ද පණ නැතිව ඉන්නවා. අපිට බලය තිබුණා නම් විසඳන හැටි දන්නවා” මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


එජාප නියෝජ්‍ය නායකට හමු වූ අංගම්පොර සටන්කරුවෝ


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පසුගිය සතියේ දී විශේෂිත පිරිසක් හමුවීමේ අවස්ථාව උද‌ාවිය. ඒ විශේෂිත පිරිස වූයේ අංගම්පොර සටන් කලාවේ යෙදී සිටින පිරිසකි. පසුගිය සතියේ බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශවල පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට ගිය රුවන් විජයවර්ධන මහතා පස්සර, මාඋස්සාපොල, අම්පිටිය රජමහා විහාරයට ගිය අවස්ථාවේ දී එහි අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරමින් සිටි සිසුන් පිරිසක් හමුවිය. වසර 200 කට ආසන්න කාලයක් තිස්සේ විහාරස්ථාන භූමියේ මෙම සටන් කලාව උගන්වන බව මෙහිදී විජයවර්ධන මහතාට අසන්නට ලැබුණි. එම විහාරස්ථානයේ දී දේවතුරේ නන්දසාර හිමියන් විසින් විජයවර්ධන මහතා ප්‍රමුඛ පිරිසට ගමේ ක්‍රමයට සකස් කරන ලද කෑම වේලක් පිරිනැමීය.
බණ්ඩාරවෙල පක්ෂ ක්‍රියාකාරීන් හමු වූ රුවන් විජයවර්ධන මහතා එහි පිහිටි විහාරස්ථාන හා කෝවිල්වලට ද ගියේය. පාලිත රංගෙබණ්ඩාර, සමන් රත්නප්‍රිය, උපාලි සමරවීර, ශාන්තිනී කෝංගහගේ, සංදිත් සමරසිංහ, දුමින්ද ආටිගල යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


පසුවද‌ා කිංසි පාරේ පිහිටි කාර්යාලයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිරිසක් හමුවූ විජයවර්ධන මහතා පක්ෂයේ ඉදිරිය ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය. නව වසරේ ගතයුතු තීන්දු, තීරණ කෙරෙහි ද මෙහිදී සාකච්ඡා විය.


පසුගිය බ්‍රහස්පතින්ද‌ා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නාගරික මන්ත්‍රීවරු සිරිකොත මූලස්ථානයට පැමිණ රුවන් විජයවර්ධන මහතා හමුවූහ.
එහිදී නාගරික මන්ත්‍රීවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව හා ඉදිරි පළාත් සභා ඡන්දයට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

 

-ගජබා-



අදහස් (0)

පළාත් සභා ඡන්දයට ඇමැති මත ගැටුම්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 128 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site