IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති මෛත්‍රීගේ ​​අලුත් ගමන

ඉකුත් සති අන්තයේ සිදුවූ ආණ්ඩු පෙරළියේ උණුසුම තවමත් පහව ගොස් නැත. එය දැන්ම පහව යන බවක් පෙනෙන්නට ද නැත. ඒ තරමටම එම සිද්ධිය දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් කරමින් තිබේ. එක පැත්තකින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම පුපුරා හැරිය දේශපාලන බෝම්බයකි.  


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි දේශපාලන තීන්දු නොගන්නා බව ඔහුට පසුගිය කාලය පුරා තිබූ බරපතළ චෝදනාවකි. මහබැංකු බැඳුම්කර කොල්ලය ඇතුළු සිදුවීම්වලදී ජනාධිපතිවරයා යම් යම් දේශපාලන ප්‍රකාශ සිදුකළ ද මෙතරම් දැඩි තීන්දු ගනීවි යැයි ශ්‍රීලනිපය තබා එක්සත් ජාතික පක්ෂයවත් නොසිතුවේය. අඩුම තරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාවත් ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගනු ඇතැයි නිකමටවත් නොසිතන්නට ඇත.   


දේශපාලනයේ සදාකාලික මිතුරන්ද සදාකාලික සතුරන්ද නැති බව ප්‍රකට කියමනකි. එම කියමන සැබෑවක් බව මෑත කාලයේදී ඔප්පු කර පෙන්නූ නායකයා ජනපති මෛත්‍රීය. ඔහු බරපතළ විරසකයක සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර දැමුවේ එම කියමන ඇස් පනාපිටම තහවුරු කරමිනි.  


ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර විරසකය යහපාලන ආණ්ඩුව පිහිටුවූ දා සිටම දිනෙන් දින මෝරමින් පැවතුණි. බැඳුම්කර කොල්ලයත්, එජාපය ඇතැම් ඇමැතිවරුන් ලවා ජනාධිපතිවරයා විවේචනය කිරීමත් හමුවේ මෛත්‍රීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. ගිය සති අන්තයේ රනිල් ගෙදර යවා මහින්ද අගමැති පුටුවට ගෙන ආවේ අළුයට ගිනිමෙන් පැවැති ආණ්ඩුවේ අර්බුදය පුපුරුවා හරිමිනි.  


මෛත්‍රී-මහින්ද එකතුවට වරින් වර යම් යම් උත්සාහයන් දැරුවද එය අවස්ථා ගණනාවකදීම අසාර්ථක විය. එහෙත් පසුගිය සති කිහිපය පුරා දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා එකට එකතු වූයේ ආණ්ඩු පෙරළියකට ද මුල පුරමිනි. ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමනට එක්වීම දෙදෙනාගේ එකතුවීම ඉක්මන් කිරීමට බලපෑ බව ගතවූ සති කීපයේ තිරය පිටුපස සිදුවූ සිද්ධිදාමය විමසා බලන්නකුට හොඳින්ම පැහැදිලිවනු ඇත.   


මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙනතෙක්ම එය දැන සිටියේ දෙදෙනකු පමණි. එක්කෙනෙක් ජනපති මෛත්‍රීය. අනෙක් කෙනා හිටපු ජනපති මහින්දය. මේ දෙදෙනා අතර හමුවීම්වලට පසුබිම සකස් කළේ එස්. බී. දිසානායක ඇතුළු ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායමේ පිරිසකි. පණිවිඩ එහා මෙහා ගියේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා හරහාය. ඔවුන්ද දිවුරුම් දෙනතෙක් සිද්ධිය දැන සිටියේ නැත.  


ඉකුත් සතියේ කුමක් හෝ සිදුවීමක් විය හැකි බවට ජනපති මෛත්‍රීත්, හිටපු ජනපති මහින්දත් ඉඟි පළකර තිබිණි. ඉකුත් අඟහරුවාදා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ට සිකුරාදා දිනයේ දවස පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නැයි මහින්ද දන්වා තිබිණි.   


ඒ අතර ජනපති මෛත්‍රීද මහින්දට පණිවිඩයක් එවමින් දන්වා තිබුණේ සිකුරාදා, හැන්දෑවේ වැඩ දාගන්න එපා යනුවෙනි. මොනවද මේ සතියෙ තියෙන වැඩ ජනපති මෛත්‍රී විමසා තිබුණේ මහින්දගෙනි. මොනවද ඉතින් ඇවිදින එකමනේ වැඩේ. මහින්දගේ පිළිතුර විය. කමක් නෑ සිකුරාදා වැඩ දාගන්න එපා ජනපති මෛත්‍රී මහින්දට කීවේය.


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුර​ෙය් දිවුරුම් දීමට පෙර ජනපති මෛත්‍රී ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 23 දෙනාම ජනපති නිල නිවසට හදිසියේ කැඳවීය. එහෙත් ඒ කිසිවකුත් කැඳවා තිබූ කාරණය කුමක්දැයි දැන සිටියේද නැත. ජනාධිපතිවරයා පිරිස කැඳවූ කාරණය කියුවේ සියලු දෙනාම පුදුමයට පත් කරමිනි.  


“ඔබතුමාලට එන්න කිව්වෙ වැදගත් කාරණයක් කියන්න. අපට තව දුරටත් මේ ආණ්ඩු සමඟ ගමනක් නැහැ. රනිල් වික්‍රමසිංහ එක්ක තව දුරටත් මේ ගමන යන්නත් බැහැ. ඒ නිසා වෙනත් ගමනක් යන්න මම කල්පනා කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියල මම හිතනවා. ඔබතුමාලගෙ අදහසත් කියන්නද” යැයි ජනාධිපතිවරයා වැඩි කලබලයක් නොමැතිවම කීවේය.  


එහිදී සියලු දෙනාගේම අදහස වූයේ ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කරන බවය. එජාපය පසුගිය වසර තුන හමාර තුළ ගෙන ගිය වැඩපිළිවෙළේ අසාර්ථකත්වය මහබැංකු කොල්ලය හා තමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඝාතනය කුමන්ත්‍රණය ගැනද ජනාධිපතිවරයා කීවේ මේ තත්ත්වය තුළ තව දුරටත් සන්ධානයට ආණ්ඩුව තුළ සිටිය නොහැකි බව සඳහන් කරමිනි.   


ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය ආණ්ඩුවෙන් ඒ මොහොතේම අයින් වෙන බව දන්වා කතානායකවරයා වෙත ලිපිය යැවීම සන්ධාන මහලේකම් මහින්ද අමරවීරට පැවරිණි. ඒ අනුව අමරවීර ලිපිය සකස් කර කතානායකවරයා වෙත යැවීය. ජනාධිපතිවරයා සාකච්ඡාව හමාර කළේ සවස 6.30ට පමණ ජනාධිපති කාර්යාලයට එන ලෙස පිරිසට දන්වමිනි.  


මෛත්‍රී ශ්‍රීලනිපය මැති ඇමැතිවරුන් 23 දෙනා හමුවෙද්දි මහින්දද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විජේරාම මාවතේ නිල නිවසේදී හමුවිය. ඒ හවස 5.30ට පමණය. පක්ෂ නායකයින්ට ඒ පිළිබඳ දැනුම්දීම කර තිබු​ෙණ්ද ඊට පැයකට පමණ කලිනි. ඒ අනුව ජී. එල්., දිනේෂ්, චමල්, ජනක තෙන්නකෝන්, ඩලස්, ලොකුගේ, විමල්, ගම්මන්පිල, බැසිල්, වාසු, මහින්දානන්ද, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිස විජේරාම නිල නිවසට ප.ව. 5.30 පමණ වනවිට පැමිණියහ. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම්දී තිබුණේ එම සාකච්ඡාවෙන් අනතුරුව හවස 6.30ට පමණ ජනපති මෛත්‍රී හමුවෙන්නට යන බවය. එහෙත් ඒ කුමන කාරණයකටද යන්න දැනුම්දී නොතිබිණි.   


අාණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමටද හවස 5.00 පමණ වෙද්දී කොල්ලුපිටිය රාමඩා හෝටලය වෙත පැමිණෙන ලෙස හදිසියේ දැනුම්දීමක් කර තිබිණි. අනතුරුව 16 දෙනාගේ කණ්ඩායමද ජනාධිපතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ප.ව. 6.00ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති මෛත්‍රී හා හිටපු ජනපති මහින්ද අතර සම්බන්ධය ගොඩනඟන්නට මුල්වූ එස්.බී, තිලංග, වසන්ත පෙරේරා, ලක්ෂ්මන් යාපා, ඩිලාන් ඇතුළු කණ්ඩායමද ජනාධිපති කාර්යාලයට යෑමේ නිමිත්ත කුමක්දැයි නොදැන සිටියහ. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ද සමඟ ජනාධිපති කාර්යාලයට ප.ව. 6.30ට පමණ වෙද්දී පැමිණ සිටියේය.   


කිසිවකුත් නොදැන සිටි මෛත්‍රීත්, මහින්දත් පමණක් දැන සිටි කාරණය සිදුවෙන්නට නියමිතව තිබුණේ තවත් මිනිත්තු කිහිපයක් පමණි. හැමෝම හිතුවේ ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයා සහ පාර්ශ්ව දෙකේ මන්ත්‍රීවරුනුත් අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි කියාය. එහෙත් අවසානයේ සිදුවූයේ සියලු දෙනාම මවිතට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති තනතුරේ දිවුරුම් දීමය.  


ජනපති මෛත්‍රී හා මහින්ද අතර එකතුවක් සිදුවෙනු ඇතැයි බොහෝ දෙනකු සිතා සිටියද මෙතරම් ඉක්මනට එය සිදුවෙනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළහ. ශ්‍රීලනිපයේ මැති ඇමැතීන්ට මෙන්ම ඒකාබද්ධයේ පක්ෂ නායකයින්ටද එය අදහාගත නොහැකි සිදුවීමක් බවට පත්වූයේ ඒ ගැන කිසිවකුත් නොදැන සිටි බැවිනි. අගමැති රනිල් ඉවත් කර මහින්ද අගමැති ධුරයේ දිවුරුම් දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන තිබුණේද ගාල්ලේ උත්සවයකට ගොස් සිටි අතරේය. මහින්ද දිවුරුම් දීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාට සුබ පතන්නට වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ බරෑරුම් මෙන්ම නිර්භීත තීරණයක් මෛත්‍රි ගැනීම ගැන අගය කරමිනි.


ජනපති මෛත්‍රීගේ තීන්දුවත් සමඟ දේශපාලන කරළිය ගිනියම් විය. තමා ගත් තීරණය ගැන දැනුම් දෙන්නට ජනාධිපතිවරයා 23 දෙනාගේ කණ්ඩායම ඉරිදා සවස 6.30ට ජනාධිපති කාර්යාලයේදී හමුවූයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාද අසලින් තබා ගෙනය. ජනාධිපතිවරයා සිය තීන්දුවට බලපෑ අතීත වර්තමාන කාරණා ගැන මන්ත්‍රී කණ්ඩායමට පැහැදිළි කළේ මෙවන් තීරණයක් නොගත්තේ නම් රටට ජනතාවට සිදුවෙන්නට තිබූ මහා විනාශයක් ගැනද කියමිනි.  


අනතුරුව මෛත්‍රී, මහින්ද දෙදෙනාම 23 දෙනාගේ කණ්ඩායමද සමඟ පහත මාලයේ රැස්වීම් කාමරයට පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමට සහභාගිවීමටය. මහින්ද අගමැතිධුරයට පත් කිරීමත් නායකයින් දෙදෙනාගේ එකතුවීමත් නිසා මන්ත්‍රී කණ්ඩායම සිටියේ සතුටු සිනා සාගරයක් මැදය. සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 7.15ට පමණ රැස්වූ අතර මුලසුන ගත්තේ මෛත්‍රීය. මෛත්‍රීගේ දකුණු පසින් අගමැති මහින්දය. වම් පසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලය. ජනපති මෛත්‍රීට සහ නව අගමැති මහින්දට සුබ පතමින් සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ සහාය පළ කරමින් යෝජනාවක් ඉදිරිපත් කළේ සන්ධාන මහලේකම් මහින්ද අමරවීරය. ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක අමරවීරගේ යෝජනාව ස්ථිර කළේය. අනතුරුව ජනාධිපතිවරයා ගත් නිර්භීත සහ අවදානම් සහගත පියවර අගය කරමින් මෛත්‍රීට ස්තුතිය පළකර, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද ඇතුළු පක්ෂනායකයෝ රැසක් කෙටියෙන් අදහස් දැක්වූහ.   


ගෙවුණු වසර තුනේ යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය ගැන මෛත්‍රී කතා කළේ මහින්ද අගමැති කිරීමට හේතුද දක්වමිනි. ‘මැතිවරණය ජයග්‍රහණය කරල ශ්‍රීලනිප එජාප ආණ්ඩුවක් හැදුවෙ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න. හැබැයි යූඑන්පිය හැසිරුණේ ඒ අරමුණුවලට පටහැනිවයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ අරමුණුවලට පයින් ගැහුවා. විද්‍යාත්මක පදනමක් මත කැබිනට් මණ්ඩලය පත් කරන්න කතා කළා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයා උසස් අධ්‍යාපනයයි මහාමාර්ගයි එකට දාලා ගෙනාව. ඒකෙන්ම විද්‍යාත්මක පදනම අවසන් වුණා. මේ අය රාජ්‍ය සම්පත් විකුණන්න ගත්තා. මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ හෙළිවුණා. මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති විදියට පත් කරන්න තීන්දු කරල රහසෙම ඒක කළා. මම ඒක කළේ පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන. බහුතරය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලට ඕනෑ දෙයක් කරන්න කියන්න යැයි ජනාධිපතිවරයා කීවේය.  


ඒ සමඟම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ තිබූ අතීත සම්බන්ධතා ගැනද පැහැදිලි කරන්නට විය. අපි එකට හිටපු අය. යම් යම් ප්‍රශ්න මට තිබුණා. නමුත් රට ගැන ජනතාව ගැන හිතලා මම මේ තීන්දුව ගත්තෙ. මෙතැනදි මම අලුතින් දෙයක් කරල නැහැ. පුටින් කරපු දේමයි මාත් කළෙ. දෙපැත්ත මාරුකළා. යූඑන්පියත් එක්ක පසුගිය අවුරුදු තුන හමාරෙ ආණ්ඩු කරල දැඩි පීඩනයකින් අවුරුද්දක් යද්දිම මට එපා වුණා. මේක හරියට නොගැළපෙන විවාහයක් වගෙයි. මෛත්‍රී කීවේ දිගු විස්තරයක්ද ඉදිරිපත් කරමිනි.  


අනතුරුව කතා කළේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාය. මම මෙතුමා ඉන්න පුටුවෙ හිටියනම් මේ තීන්දුව මටත් ගන්න බැහැ. එතුමා ගත්තෙ ඒ තරම් අසීරු තීන්දුවක්. මම එදා හිටපු පුටුවේ අද එතුමා ඉන්නවා. එතුමා හිටපු පුටුවෙ මම අද ඉන්නවා. මහින්ද කීවේ මෛත්‍රී ගත් පියවර අගය කරමිනි. අපට ජනාධිපතිතුමත් එක්කත් කතා කරල ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් බවය. මේ ප්‍රශ්නයත් සමඟ ජාත්‍යන්තරය අනවශ්‍ය ලෙස කලබලවී දඟලන බැවින් විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කිරීමට විමල් වීරවංශ යෝජනා කළේය. ඒ අනුව මෛත්‍රී ඒ සඳහා කමිටුවක් පත් කළේය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනපති නිලනිවසේදී රැස්වූයේ අලුත් තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. එදින සවස 4.00ට රැස්වීම කැඳවා තිබුණද එය රාත්‍රි 7.00ට කල්දමනු ලැබුවේ ඇමැති මණ්ඩලයේ කිහිප දෙනකු අලුතින් දිවුරුම් දීමට සිටි බැවිනි. දිවුරුම් දීමද තරමක් ප්‍රමාදවූ නිසා මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපතිවරයා පැමිණියේ රාත්‍රී 8.30ට පමණය. දිවුරුම් දීමේ උත්සවයට ගොස් සිටි පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් එනවිට ප්‍රමාද වූ නිසා මධ්‍යම කාරක සභාවේ වාර්තාව කියවූයේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාය. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවත් විධායක සභාවත් ලබන 8 වැනිදා කැඳවන්නට එහිදී තීන්දු විය. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් ඉවත්කර මහින්ද අගමැති කිරීමේ තීන්දුව ගැන මධ්‍යම කාරක සභිකයින් දැනුවත් කළේ රැස්වීම ඉක්මනින් අවසන් කරන බව පවසමිනි. ඊට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් දුරකථන ඇමතුමක් ඒමට නියමිතව තිබූ බැවිනි. මම අවුරුදු තුන හමාරෙම හිටියේ දැඩි පීඩනයකින්. මේ පියවර හැර වෙනත් පියවරක් මට තිබුණෙ නෑ. ගන්න තිබුණු හොඳම පියවර විදියට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකමට පත් කළා යැයි ජනාධිපතිවරයා කීවේය.  


15 දෙනාගේ කණ්ඩායමේ ​ෙජා්න් සෙනෙවිරත්න, සුසිල්, එස්.බී., අනුර යාපා, ඩිලාන්, තිලංග, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුමේධා, චන්දිම ඇතුළු පිරිසක්ද මධ්‍යම කාරක සභාවට මෙවර පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ගත් තීන්දුවට ස්තුතිය පළ කරමින් තිලංග සුමතිපාල යෝජනාවක් ඉදිරිපත් කළ අතර සරත් ඒකනායක, චන්දිම වීරක්කොඩි ඇතුළු කිහිප දෙනෙක්ම නැගිට එය ස්ථිර කළහ.  


කතාබහ යන අතරේ ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේ හැමෝම හිනස්සමිනි.  

 


“හැමෝම කිව්වෙ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියලයි. හැබැයි මම යූඑන්පිය ආණ්ඩුවෙන් ඉවත් කළා” ජනාධිපතිවරයා කීවේය. ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන්ගේ කැපවීම ගැනද ජනාධිපතිවරයා අගය කළේය. ඒකාබද්ධ විපක්ෂයෙ අය ඇමැතිකම් නොගෙන කොන්දේසි විරහිතව සහාය දෙන්න ලෑස්තියි. අපිට පාලන බලය පිහිටුවන්න බහුතරය පැහැදිලිව තියෙනවා. හැමෝම සහාය දෙනව නම් මම තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවන්නත් ලෑස්තියි. ජනාධිපතිවරයා කීවේය.  


මේ සාකච්ඡාව හමාර වී එළියට එද්දී එස්.බී. රිෂාද් බදියුදීන්ට දුරකථනයෙන් කථා කළේය. “රිෂාද් යූඑන්පියට මෙහෙන් යන්න කවුරුවත් නැහැ. ඔයාල අපිත් එක්ක ඇවිත් මේ වැඩ ටික ඉස්සරහට ගෙනියන්න” එස්.බී. කීවේය.  


සන්ධානයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ගිය සතිය පුරාම වෙහෙසුණේ ආණ්ඩුවේ බහුතරය හදා ගැනීම වෙනුවෙනි. 15 කණ්ඩායමේ එස්.බී., ලක්ෂ්මන් යාපා, ඩිලාන්, ලක්ෂ්මන්, වසන්ත පෙරේරා, තිලංග, පුංචි නිලමේ වගේම ශ්‍රීලනිපයෙ ලසන්ත අලගියවන්නද ඒකාබද්ධ විපක්ෂයෙ බැසිල් ඇතුළු කණ්ඩායමක්ද ගිය සතිය පුරාම එම මෙහෙයුමේ යෙදී සිටියහ. මෙම මෙහෙයුම සඳහා කොළඹ නගරයේ හෝටල් දෙකක කාමර දෙකක්ද වෙන්කර ගෙන තිබිණි. මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ මන්ත්‍රීවරුන් ඒ හෝටල්වල නැවතී සිටිමිනි. එස්.බී., ඩිලාන්, ලක්ෂ්මන් වසන්ත එක තැනක මෙහෙයුමේ යෙදී සිටි අතර ලක්ෂ්මන් යාපා, පුංචි නිලමේ, අලගියවන්න ඇතුළු පිරිසක් තවත් තැනක සිට මෙහෙයුම ගෙන ගියහ. ඒ දෙකටම වඩා වෙනස් මෙහෙයුමක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබිණි. මේ පිරිස රාවුෆ් හකීම්ගේ, මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයත් ආණ්ඩුවට ගැනීමේ උත්සාහයක නිරතව සිටියේ වරින් වර හමුවී සාකච්ඡා කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස රාවුෆ් හකීම් ඇමැතිවරයා ගිය සතියේදී ජනපති මෛත්‍රීත් අගමැති මහින්දත් හමුවී සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා සාර්ථකවී ඇති බවද වාර්තා විය.  


මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ දැඩි විරසකයක සිටි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා එජාපයේ ආණ්ඩුවකට සහාය දෙන්නට යන බවට ආරංචි පැතිර යමින් තිබිණි. ඒත් සමඟම සන්ධානයේ නායකයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝද පසුගිය සතියේ දින කිහිපයක් නිවසට ගොස් ඔහු හමුවී සාකච්ඡා කළහ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාද ගිය බ්‍රහස්පතින්දා උදේ දුමින්දගේ නිවසට ගොස් පැය 2ක් තිස්සේ සාකච්ඡා කර තිබිණි. අවසානයේ දුමින්ද බ්‍රහස්පතින්දා හැන්දෑවේ ඔහු කලින් සිටි වාරිමාර්ග ඇමැති ධුරයේම දිවුරුම් දුන්නේය.  


මේ අතර මහින්ද අගමැති ලෙස පත් කිරීමට පෙර ජනපති මෛත්‍රී රාජිතට හා චම්පික රණවකට දුරකථනයෙන් කතා කර තිබිණි. මහින්ද දිවුරුම් දෙන බවක් ජනාධිපතිවරයා නොකීවද රනිල් නැති වෙනත් ගමනක් තමා යන බව ඔවුනට කියා තිබිණි. ඒ අනුව ඉකුත් සතියේ සිකුරාදා චම්පිකටත් රාජිතටත් දුරකථනයෙන් කතා කළ ජනාධිපතිවරයා ඇවිත් තමා හමුවන ලෙසට දැනුම් දීමක්ද කර තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනා ජනපති හමුවූ බවක් වාර්තා නොවීය. චම්පිකත් රාජිතත් මේ වනවිට මෛත්‍රීට හා මහින්දට එරෙහි එජාප සටනේ පෙරමුණ ගෙන සිටින බව පෙනේ.  



අදහස් (0)

ජනපති මෛත්‍රීගේ ​​අලුත් ගමන

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site